පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාගේ ඝාතනය පිළිබඳව ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණය දුන් නඩු තීන්දුව පිළිබඳව මේ දිනවල මාධ්‍ය විවිධාකාරයේ සංවාද පවත්වන බව පෙනේ.
විශේෂයෙන්ම එම තීන්දුව ප්‍රකාශයට පත්වීමෙන් පසු අධිකරණය දුන් තීන්දුව සාධාරණ යැයි ප්‍රකාශ කරන පිරිස් මෙන්ම එම විත්තිකරුවන්ට මරණ දඬුවම හිමිවී ඇත්තේ ඔවුන් අරගලයට සම්බන්ධ වීම නිසා යැයි ද ප්‍රකාශ කරන පිරිස් ද සිටින බව පෙනේ. අරගලයෙන් පසු නිහඬ වී සිටි අරගලයට සම්බන්ධ පිරිස් නඩු තීන්දුව පිළිබඳව ආවේගශීලීව විවිධ මත ප්‍රකාශ කරන ආකාරය ද දැකගන්නට තිබුණි.
ත්‍රිපුද්ගල මහාධිකරණය දී ඇත්තේ බෙදුණු නඩු තීන්දුවකි. විනිසුරුවරුන් දෙදෙනකු විත්තිකරුවන් දොළොස් දෙනකුට මරණ දඬුවම දීමට ද, සිවු දෙනකුට අත්හිටවූ සිරදඬුවම් දීමට ද, ඉතිරි සියලු දෙනා නිදොස් කොට නිදහස් කිරීමට ද තීරණය කර ඇත. එක් විනිසුරුවරයකු තීරණය කර ඇත්තේ විත්තිකරුවන් සියලු දෙනා නිදහස් කිරීම බව මාධ්‍යවල සඳහන් විය. මෙවැනි බෙදුණු නඩු තීන්දුවක් දීම හේතුවෙන් ඉදිරියේ දී විත්තිකරුවන්ට වාසි සහගත තත්වයක් ඇතිවීමට ඉඩ තිබෙන බවට ද ඇතැම්හු මත පළ කරති. එසේ වුව ද ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ බෙදුණු නඩු තීන්දු අමුතු දෙයක් නොවන බව ඉතිහාසය පිරික්සන විට පැහැදිලි වේ.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ දී ත්‍රිපුද්ගල විනිශ්චය මඩුල්ල දුන්නේ බෙදුණු තීන්දුවකි. එසේ වුව ද ඒ සම්බන්ධයෙන් පැවැති අභියාචන විභාගයේ දී ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිශ්චය මඩුල්ල මහාධිකරණ තීන්දුව ඒකමතිකව අනුමත කරමින් අභියාචනය ප්‍රතික්ෂේප කළේය. බෙදුණු නඩු තීන්දුවක් ලැබීම විත්තිකරුවන්ට වාසියක් වේ යැයි දැක්වෙන මත ඊළඟ අධිකරණ තීන්දු කෙරෙහි බලපෑමක් ඇති නොකරන බව ඉන් පැහැදිලි වේ.
අරගලයට සම්බන්ධ හෝ අරගලයේ දී ඊට ආධාර වන අයුරින් යම් යම් කටයුතුවලට සම්බන්ධ වූ සැලකිය යුතු පිරිසක් මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ප්‍රකාශ කළේ විත්තිකරුවන් අදාළ මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධ වී ඇත්තේ 2022 මැයි 09 වැනිදා කොළඹ ඇතිවූ ප්‍රචණ්ඩකාරී තත්වය හේතුවෙන් මිනිසුන් ප්‍රකෝපකාරී තත්වයකට පත්වූ නිසා බවය. එනිසා දඬුවම් හිමිවිය යුත්තේ එවැනි තත්වයක් ඇති කිරීම සඳහා මුල්වූ පුද්ගලයන්ට බවය. ප්‍රකෝපකාරී තත්වයක් ඇතිකළ පුද්ගලයන් නිදැල්ලේ සිටියදී අතුකෝරළ ඝාතනයට සම්බන්ධ වූ පිරිස්වලට මරණ දණ්ඩනය හිමිව ඇති බව ද ඔවුහු පෙන්වා දෙති. තවත් පිරිසක් ප්‍රකාශ කරන්නේ මෙම සිදුවීම රට පුරා ජනතාව තමන්ට විඳීමට සිදුවූ පීඩනයට එරෙහිව ක්‍රියාත්මක කළ අරගලයේ එක කොටසක් බවය. විවිධ හේතු මත ජනතාව දැඩි පීඩනයකට ලක්ව ඇති අවස්ථාවක එවැනි සිදුවීම් ඇතිවීම නොවැළැක්විය හැකි බවත්, එයට වැරැදිකරුවන් විය යුත්තේ මෙම විත්තිකරුවන් නොවන බවත්ය. එබැවින් එවැනි සිදුවීම්වලට සහභාගි වූ පිරිස්වලට දඬුවම් පැමිණවීම වැරැදි බවත් එම අදහස දරන අයගේ මතය වී ඇති බව පෙනේ.
මෙම ප්‍රකාශවලට වඩා වෙනස් මතයක් රජයේ ප්‍රබල ඇමැතිවරයකුගෙන් ප්‍රකාශ විය. අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාශ කර තිබුණේ මනුෂ්‍ය ඝාතනවලට සම්බන්ධ වූ පුද්ගලයන්ට උසාවිය දඬුවම් පමුණුවා ඇති බවත්, එවැනි තීරණයක් දීම පිළිබඳව එකඟවන බවත්ය. කෙසේ වුව ද, උසාවිය සිය තීන්දු ගැනීමේ දී මහජන වරම පිළිබඳව ද සලකා බැලිය යුතුව තිබූ බව එක් අමාත්‍යවරයකු ප්‍රකාශ කර ඇතැයි ඇතැම් සමාජ මාධ්‍යවල සඳහන්ව තිබුණි. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා ප්‍රකාශ කර තිබුණේ සමහර විත්තිකරුවන් නිදහස් කිරීම පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව ඉහළ අධිකරණයට අභියාචනයක් කිරීමට ඉඩ ඇති බවයි.
රජය නඩු තීන්දුව පිළිබඳව හෝ ඒ සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියා පිළිවෙත හෝ පිළිබඳව කිසිදු නිල ප්‍රකාශයක් කර නැත. එවැනි තත්වයක් තුළ රටේ සාමාන්‍ය පිළිවෙත අනුව අනෙකුත් නඩු තීන්දු පිළිබඳව අනුගමනය කරන ක්‍රියා පිළිවෙතම නීතිපති දෙපාර්තමේන්තුව අනාගතයේදීත් අනුගමනය කරනු ඇතැයි සිතිය හැකිය. එසේ වුව ද නඩු තීන්දුව දිය යුත්තේ ජනවරම ද අවබෝධ කරගෙන යැයි රජයේ ප්‍රධාන ඇමැතිවරයකු ප්‍රකාශ කර ඇත්තේ නම් එය හැඳින්විය හැක්කේ ඉතා බරපතළ තත්වයක් ලෙසය. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ බලය ස්වාධීනව ක්‍රියාත්මක වේ. මහාධිකරණය සිය තීන්දුව දෙන්නේ රටේ ව්‍යවස්ථාවට සහ නීතියට අනුව මිස මහජනතාවගේ කැමැත්ත හෝ අකැමැත්ත පිළිබඳව සැලකිලිමත් වීමකින් නොවේ. ජනවරම පිළිබඳව සලකා බලා නඩු තීන්දු දිය හැක්කේ කැලෑ අධිකරණවලට මිස රටේ ස්වාධීන අධිකරණ පද්ධතියට නොවේ.
අමරකීර්ති ඝාතනය පිළිබඳ නඩු තීන්දුව සම්බන්ධයෙන් විවිධාකාරයේ මත හා සංවාද පැවැතිය හැකිය. එසේ වුව ද එම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කර ඇත්තේ පොලිසිය නිසි පරිදි පරීක්ෂණ පවත්වා සැකකරුවන් හඳුනාගෙන ඒ පිළිබඳව සාක්ෂි උසාවියට ඉදිරිපත් කිරීමෙනි. විභාගය පවත්වන ලද්දේ එක් විනිශ්චයකරුවකු විසින් නොව විනිශ්චයකරුවන් තිදෙනකු විසිනි. ඉන් බහුතරයක තීරණය වී ඇත්තේ විත්තිකරුවන් දොළොස් දෙනකු මනුෂ්‍ය ඝාතනයට වැරැදිකරුවන් බවත්, ඔවුන් එල්ලා මැරිය යුතු බවත්ය. ඒ පිළිබඳව විනිශ්චය කළ යුත්තේ නැවත වරක් බිය ගැන්වීම සඳහා සමාජ මාධ්‍ය ඉදිරියේ විවිධ රංගන ඉදිරිපත් කරන පිරිස් නොව රටේ නීති පද්ධතියට අනුකූලව අධිකරණ මගිනි. ඒ සඳහා වූ අවස්ථා අපේ අධිකරණ පද්ධතිය තුළ එම පිරිස්වලට විවෘත වී තිබේ.
මහ පාරේ ගමන් කළ පුද්ගලයන් සාහසික ලෙස ඝාතනය කිරීම පිළිබඳව සමාජය හෝ සමාජ පැවැත්ම සම්බන්ධව විවිධ මතවාද ඉදිරිපත් කළ හැකි වේ. කොළඹ ගෝල්ෆේස් අරගලයට පහරදීම නිසා නිට්ටඹුවේ මිනිසුන් ආවේගශීලී වූයේ යන මතය මදකට පිළිගත්තේ වුව ද එය මහමග ගමන් කරන පුද්ගලයකු කෲර ලෙස ඝාතනය කිරීමට හේතුවක් කරගත හැකි ද යන ප්‍රශ්නය පැන නගී. අරගලයේ ප්‍රචණ්ඩත්වය එදින ආරම්භ වූවා යැයි කීම සම්පූර්ණ අසත්‍යයකි. 2022 මාර්තු 31 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවෙසට පහරදීම, ඒ අවට නිවාසවලට හානි කිරීම, වාහන ගිනි තැබීම සහ පොලිස් හා ආරක්ෂක නිලධාරීන්ට පහරදීම සිදුවූයේ කිසිදු කුපිත කිරීමක් නිසා නොවේ. ඊට දින කිහිපයකට පසු රටේ විවිධ ප්‍රදේශවල රජයට හිතවත් නායකයන්ගේ නිවාසවලට ගොස් තර්ජනය කිරීම ද ආරම්භ විය.
අමරකීර්ති අතුකෝරළ මහතාත් ආරක්ෂක පොලිස් නිලධාරියාත් දිවි බේරා ගැනීම සඳහා දිව යන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන ප්‍රචාරය වී තිබුණි. ඔවුන් වෙළෙඳසලක තුන්වැනි මහලේ සැඟවී සිටියදී එම වෙළෙඳසලේම පුද්ගලයකු විසින් කරනු ලැබූ දැනුම්දීමක් අනුව තුන්වැනි මහලට ගොස් දෙදෙනා නිරුවත් කර පහර දෙමින් පඩිපෙළ දිගේ දෙපයින් අල්ලා ඇදගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන ද ප්‍රකාශයට පත් වී තිබුණි. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් හෙළිවී තිබුණේ එසේ ඇදගෙන යෑම තුළ හිස බිම වැදීම ද මරණයට හේතුවක් වී ඇති බවය. පහළට ඇදගෙන ගොස් දැමීමෙන් පසු පැය දෙකක පමණ කාලයක් එම සිරුරු වෙත සමීපවීමට කිසිදු අයකුට ඉඩ දී නැත. ඒ අතරම ප්‍රචාරය කෙරුණේ එම දෙදෙනා වෙඩි තබාගෙන දිවි හානි කරගෙන ඇති බවයි.
වාචික සාක්ෂි පමණක් නොව ශ්‍රව්‍ය දෘෂ්‍ය තාක්ෂණ සාක්ෂි පවා පැහැදිලිව පවතිද්දී මෙවැනි කෲර ඝාතන සාධාරණය කිරීම ශිෂ්ට සම්පන්න සමාජයකට ගැලපෙන දෙයක් නොවන බව පෙන්වා දිය යුතුව ඇත. මෙවැනි කෲර මෙන්ම වෛරී සිදුවීම් පිළිබඳ වීඩියෝ දැනටත් සමාජ මාධ්‍යවල ප්‍රදර්ශනය වේ. අරගලකරුවන් ඔවුන්ගේ සාහසික ක්‍රියා නිසා තුවාල ලැබූ හෝ රෝගී බවට පත්වූ හෝ පිරිස් රෝහල්ගත කරන අවස්ථාවේ දී එය වැළැක්වීමටත්, රෝහල්ගත කිරීමට සූදානම් වූ පිරිසට පහරදීමට සූදානම් වන ආකාරයත් පිළිබඳ වීඩියෝවක් ප්‍රදර්ශනය වේ. වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය ඉතා නිර්භීත අයුරින් එම පිරිස් වැළැක්වීමට කටයුතු කරන ආකාරය ඇගැයීමට ලක් කළ යුතුව ඇත. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවෙස ගිනි ගනිද්දී, ගින්න නිවා දැමීමට පැමිණි ගිනි නිවන හමුදාවට එම පරිශ්‍රයට ඇතුළුවීමට අරගලකරුවෝ ඉඩ නොදුන්හ. එය රනිල් වික්‍රමසිංහ මහතාම තම නිවෙසට ගිනි තබා ගැනීමක් ලෙස එම අවස්ථාවේ දී ප්‍රචාරය කර තිබුණි.
අරගලය අවසන් වීමෙන් පසු එය මෙහෙය වූ සමහර නායකයන් අතුරුදන් වූ බවක් පෙනෙන්නට තිබුණි. සමාජ මාධ්‍ය ජාලවල ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය නැත්තටම නැතිවී ගොස් තිබුණි. දැන් නැවත වරක් වීරයන් වී නඩු තීන්දුව පිළිබඳව විවිධ අදහස් දක්වමින් තරුණ පිරිස්වලට ඒ වෙනුවෙන් අරගලයක් ආරම්භ කිරීම සඳහා ඔවුන් සමග පෙළගැසෙන ලෙස ද ඔවුහු ඉල්ලා සිටිති. ඒ පිළිබඳව තීරණයක් ගැනීමට පෙර ඒවාට සම්බන්ධ වීමට කැමැති පිරිස් පැහැදිලිවම දැනගත යුතුව ඇති කරුණු කිහිපයක් තිබේ. මෙම වීරත්වය ප්‍රකාශ කරන කවරකු හෝ චෝදනාවලට ලක්වී අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයන් වෙනුවෙන් අඩුම තරමේ දුරකතන ඇමතුමක් දීමකින් හෝ ඔවුන් පිළිබඳව හෝ ඔවුන්ගේ පවුල් පිළිබඳව කිසියම් හෝ සම්බන්ධයක් පවත්වාගෙන තිබේද?, එම විත්තිකරුවන් හතළිස් එක් දෙනාගේ නඩු කටයුතු වෙනුවෙන් කුඩාම හෝ මූල්‍ය ආධාරයක් කර තිබේද?, එම විත්තිකරුවන් හතළිස් එක්දෙනා වෙනුවෙන් නීතිඥ සංගම් හෝ එවකට අත්පොළසන් දුන් නීතිඥයන් ගාස්තු අය කිරීමකින් තොරව ඔවුන් වෙනුවෙන් පෙනී සිට තිබේද? එම පුද්ගලයන් අත්අඩංගුවේ සිටියදී අද විවිධ ප්‍රකාශ කරන පුද්ගලයන්ගෙන් කවරකු හෝ එම පුද්ගලයන් බැලීමට රිමාන්ඩ් සිර මැදිරියට ගොස් තිබේද?, එම විත්තිකරුවන්ගේ පවුල්වල දුක සැප සොයා බැලීමට කවරකු හෝ ඉදිරිපත් වී තිබේද? මෙම කරුණුවල සැබෑ තත්වය එම මාධ්‍ය සංදර්ශනවලට පෙර ඔවුන් ඉදිරිපත් කරන්නේ නම්, ඔවුන් සැම වෙලාවේම ප්‍රකාශ කරන පාරදෘෂ්‍යභාවය රැකෙන අතර අරගලයට සැබෑ අරුතක් තිබුණේ යැයි තරුණ පිරිස්වලට අවබෝධ වනු ඇත.
(***)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd