2022 වසරේ එවකට සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 12 දෙනකුට ගම්පහ මහාධිකරණය පෙරේදා මරණ දඬුවම නියම කළේය. මෙම නියෝගය හුදෙක් එක් නඩු තීන්දුවක් පමණක් නොව, ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය පිළිබඳ පැහැදිලි පණිවුඩයක් ලොවටම දරා සිටින්නකි.

ගම්පහ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ලබා දුන් මෙම තීන්දුව, මීට වසර දෙකකට පෙර මෙරට සමාජ - දේශපාලනික වාතාවරණය වෙනස් කළ ‘අරගලය’ සමයේ සිදු වූ අඳුරුතම සිදුවීමකට තිත තැබීමකි. ආර්ථික පීඩනය හමුවේ, විදේශීය අතපෙවීම් ද මැද පැන නැගුණු ජනතා විරෝධය කෙතරම් සාධාරණ වුව ද, කිසිදු දේශපාලන අරමුණක් වෙනුවෙන් මිනිසකු ඝාතනය කිරීමට බලපත්‍රයක් හිමි නොවන බව අධිකරණය මෙහි දී අවධාරණය කර ඇත.

2022 මැයි 9 වැනිදා කොළඹ පැවැති විරෝධතාවලට එල්ල වූ ප්‍රහාරයත් සමග රට පුරා නොසන්සුන්කාරී තත්වයක් ඇති විය. කෙසේ වෙතත්, මැයි නවය සිදුවීම, එනම් ගෝල්ෆේස් අරගලයට පහර දීම මේ සියලු‍ සිදුවීම්වල මූලාරම්භය ලෙස ගැනීම ඉතිහාසය විකෘති කිරීමකි. ඊට පෙර එනම් අප්‍රේල් අග දී එවක ගෝඨාභය ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ නිවාසවලට පහර දීම් සහ ගිනි තැබීම් තැනින් තැන වාර්තා විය. ඒ අතර, මැයි නවය සහ ඉන්පසු ලැබූ කාලය යනු සියලු‍ ප්‍රචණ්ඩත්වය එහි උපරිම සීමාවට ගිය අවස්ථාවයි.

එම අවස්ථාවේ දී කොළඹ සිට පොළොන්නරුව බලා ගමන් කරමින් සිටි අතුකෝරළ මහතාගේ වාහනය නිට්ටඹුවේ දී ප්‍රචණ්ඩකාරී පිරිසක් විසින් වට කරන ලදී. එහිදී මන්ත්‍රීවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරී ජයන්ත ගුණවර්ධන යන දෙදෙනාම ප්‍රහාරයට ලක්ව ඝාතනයට ලක් වූහ. මෙම සිදුවීමේ ඇති වඩාත්ම කනගාටුදායක කරුණ නම්, ඔවුන්ගේ මළ සිරුරු ඉවත් කිරීමට පෙර පැය 10 කට ආසන්න කාලයක් එම ස්ථානයේම තිබෙන්නට හැරීමයි.

 

‘කැරැල්ලක්’ යන ලේබලය නීතියට ඉහළින් ද?

මැයි 9 වැනිදා සිදු වූ ප්‍රචණ්ඩත්වය, ‘ජනතා නැගිටීමක’ නීත්‍යනුකූල භාවයෙන් වසා දමා එය පවිත්‍ර කිරීමට නිරන්තර, බොහෝ විට ප්‍රකාශ නොකළ උත්සාහයක් තිබුණි. තීන්දුවෙන් පසුව නම් එය පැහැදිලිව ප්‍රකාශ වන ආකාරය ද අපි දකිමු. ඝාතකයන්ට ජනාධිපති සමාව ලබාදිය යුතු බව කියනු ඇසේ. මුල සිටම සමාජගත කරමින් සිටියේ අතුකෝරළ මහතා රාජපක්ෂ පාලනයේ මන්ත්‍රීවරයකු බවත්, ඔහුගේ ඝාතකයන් ‘කෝපයට පත් තරුණයන්’ බවත් ය. එම ඝාතන, මිනීමැරුම් නොව දේශපාලන ප්‍රකාශනයක් බවය. එය කනගාටුදායක වුව ද විප්ලවීය මොහොතක තේරුම් ගත හැකි අතුරු ඵලයක් බවත් පැවැසිණි. ඇතැමුන් තවදුරටත් ඉදිරියට යමින්, ඕනෑම නඩු පැවැරීමක් මහජන ව්‍යාපාරයක් අපරාධකරණයට ලක් කිරීමේ උත්සාහයක් ලෙස අර්ථ දැක්වීය.

එහෙත් සාමකාමී අරගල සහ අමානුෂික ප්‍රචණ්ඩත්වය එකට පටලවා ගැනීම බුද්ධිමය වශයෙන් අලස මෙන්ම සදාචාරාත්මකව විනාශකාරී වේ. ජනතා නැගිටීමක සාධාරණ දුක්ගැනවිලි ආරක්ෂා කිරීම යනු එහි බැනරය යටතේ සිදු කරන ලද සෑම ක්‍රියාවක්ම ආරක්ෂා කිරීම නොවේ. ආණ්ඩුවක් පළවා හැරීම සැමරීම යනු ඒ නාමයෙන් මිනීමරුවන්ට නීතිය ක්‍රියාත්මක නොවිය යුතු යැයි වැළපීම නොවේ.

අධිකරණයේ තර්කය මේ සම්බන්ධයෙන් අභියෝගයට ලක් කළ නොහැකිය. කැරැල්ලකදී පවා, රාජ්‍යයම අභියෝගයට ලක්වන විට පවා, ඉක්මවා යා නොහැකි සීමා තිබේ. තමන්ගේ ජීවිතය ඉල්ලා අයදින මිනිසකු වාහනයකින් ඇද දමා මරා දමා, පසුව ඔබ එවක පැවැති පාලනයකට එරෙහිව ක්‍රියා කළ නිසා ඔබට නීතියෙන් නිදහසක් හිමිවිය යුතු යැයි පැවැසිය නොහැකිය. වින්දිතයාගේ දේශපාලන අනන්‍යතාව අපරාධයේ බරපතළකම අඩු නොකරයි.

විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු සහන් මාපා බණ්ඩාර අන් මතයක් දැරුව ද, රශ්මි සිංගප්පුලි සහ රසන්ත ගොඩවෙල යන විනිසුරු මඩුල්ල එම තර්කය එය පිළිගෙන තිබේ. ශිෂ්ට සම්පන්න සමාජයක මූලික පදනම අධිකරණය විසින් යළිත් තහවුරු කර ඇත. වීදිය කොතරම් ඝෝෂාකාරී වුවත් නීතිය නිහඬ වන්නේ නැත. මෙම තීන්දුවෙන් කියා සිටින්නේ, ‘විරෝධතාවක උණුසුම මැද වුව ද, එය කැරැල්ලක් ලෙස නම් කළ ද, මිනිස් ජීවිතයක ඇති උතුම් බව අමතක කළ නොහැකි බවය. දේශපාලන පසුබිම කුමක් වුවත්, සාහසික අපරාධයක් යනු සැමවිටම අපරාධයකි’  යන්නයි.

 

රාජ්‍ය පිළිබඳ දාර්ශනික තීන්දුවක්

නඩු තීන්දුව මගින් රාජ්‍ය සහ එහි සජීවී බව පිළිබඳ ප්‍රබල දාර්ශනික කාරණාවක් ද පිළිබිඹු කරයි. එනම් 2022 වසරේ සිදු වූ අරගලය රාජ්‍ය විරෝධී කැරැල්ලක් බවත් එම කැරැල්ල සිදුවන අතරතුර දී රාජ්‍ය මොහොතක් හෝ අකර්මණ්‍ය නොවූ බවත් මෙමගින් කියැවේ. මෙම සිදුවීම් දාමය විප්ලවයක් බව පෙන්වා විප්ලවයක දී රාජ්‍ය තිබෙන්නේ ජනතාවට පහළින් යැයි තර්ක කරනු ලැබුණි. ඒ රාජ්‍යයේ ව්‍යවස්ථාව අත්හිටුවා ජනතාව තම බලය අතට ගත් කාලයකි. එම ජනතාවට එකී කාලය තුළ කළ නොහැක්කක් නොමැති යනුවෙන් ප්‍රකාශ විය. එහි උපරිමයට පැමිණියේ අරගලයේ ප්‍රධානීන් විසින් “ජනතාවට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකිය” යනුවෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙනි. එම අදහස මෙම නඩු තීන්දුව මගින් බැහැර කර ති‌බේ.

ඇතැම්විට එය යථාර්ථය වීමට ද අවස්ථාව තිබුණි. ඒ කැරැල්ල මගින් රාජ්‍ය සම්පූර්ණයෙන්ම නතු කර ගත්තේ නම් ය. සියලු‍ රාජ්‍ය ආයතන, පාර්ලිමේන්තුව, ආරක්ෂක හමුදාව ආදී රාජ්‍යයේ සංවේදී මර්මස්ථාන තමන් සතු කර ගැනීමෙනි. එසේ වූයේ නම්, අපගේ රාජ්‍යයේ වර්තමාන ව්‍යවස්ථාව තවදුරටත් ක්‍රියාත්මක වන්නේ නැත. මන්ද එම ව්‍යවස්ථාව ක්‍රියාවේ යොදවන ඒජන්සිය එනම් ආණ්ඩුව සේම රාජ්‍ය ආයතනය ද අකර්මණ්‍ය නිසා ය. එවන් තත්වයකින් පසු නැවත උපදින්නේ අලු‍ත් රාජ්‍යයකි. ඒතාක් පැමිණි රාජ්‍යය ඉන් අවසන් වේ.

එවැනි අලු‍ත් රාජ්‍යයක් 2022 කැරැල්ලෙන් පසු හටගන්නේ නැත. මන්ද විරෝධතාකරුවන් කොතරම් උත්සාහ කළ ද පාර්ලිමේන්තුව යටත් කර ගැනීමට ඔවුන්ට හැකියාව ලැබෙන්නේ නැත. ආරක්ෂක හමුදා රැස් වී පාර්ලිමේන්තුව කැරලිකරුවන්ගෙන් බේරා ගැනේ. මෙය අපගේ රාජ්‍යයේ අඛණ්ඩතාව ආරක්ෂා කර ගැනීම පිළිබඳ සුවීශේෂී කඩඉමකි.

ගෝඨාභය ජනාධිපතිවරයා කැරැල්ල සිදුවන්නට හැර රටින් පළා ගිය ද ඔහු විසින් ගෝල්ෆේස් අරගලය මතු නොව ආණ්ඩු කළමනාකරණයේ දී ද ගත් අතිශය විවාදාපන්න තීන්දු රැසක් මැද එක් අතිශය පැහැදිලි සහ නුවණක්කාර දෙයක් සිදු කර තිබුණි. ඒ තවදුරටත් රාජපක්ෂලාට බලය හෙබවිය නොහැකි තත්වයක් තුළ අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පත් කිරීමයි. ඒ පිටුපස තිබූ මොළය බැසිල් රාජපක්ෂ බවට මෙම ලියුම්කරු සතුව විශ්වසනීය සාධක තිබේ. ඒ කෙසේ වෙතත්, ගෝඨාභය ඉවත් වන විට ම රනිල්ට ද ඉවත් වන ලෙස මෙන්ම ඉවත් කරන ලෙස ද විවිධ ප්‍රබල පාර්ශවවලින් ඉල්ලීම් ආවේ ඉහත කැරැල්ල එහි උපරිමයට රැගෙන යාම සඳහා බව පෙන්වා දිය යුතු ය. එනම් ඒ පාර්ලිමේන්තුව ද අල්ලා ගෙන ව්‍යවස්ථාව අත්හිටුවීමෙනි. වැඩබලන ජනාධිපති ලෙස පත් වූ රනිල් වික්‍රමසිංහ එම පවිටු අරමුණ ඉටු කිරීම අත්හිටුවීමට කටයුතු කළේ මෙරට රාජ්‍යයේ අඛණ්ඩතාව සුරකිමිනි.

ගම්පහ අධිකරණ විනිසුරුවරුන් දෙදෙනකු විසින්, තම තීන්දුව පිළිබඳ චින්තනය මෙහෙයවීමේ දී එම සුවිශේෂ කඩඉම තුළ සිදුවූ අතිශය සංවේදී කාරණය සැලකිල්ලට ගත් බව පෙනේ. එනම් සිදුවූයේ රාජ්‍ය විරෝධී කූමන්ත්‍රණයක් බවත්, එය සාර්ථක නොවූ බවත් රාජ්‍යය රැකුණු බවත් රාජ්‍යය රැකුණේ නම් කැරැල්ල තුළ සිදුවූ සියලු‍ ප්‍රචණ්ඩත්වයට ඉහළින් නීතියේ ආධිපත්‍යය එනම් පැවැති ව්‍යවස්ථාව විමසිලිමත්ව බලා‌ගෙන සිටි බවත් ය.

 

අනාගතය වෙනුවෙන් මෙම තීන්දුවේ වැදගත්කම

මෙම තීන්දුව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගතය වෙනුවෙන් අතිශය වැදගත් වේ. එය සාමකාමී විරෝධය සහ ප්‍රචණ්ඩකාරී අත්තනෝමතිකත්වය අතර ඇති පැහැදිලි සීමාව සලකුණු කරයි.

විරෝධතා දැක්වීමේ අයිතිය:- මෙම තීන්දුව මගින් ජනතාවට රජයට එරෙහිව විරෝධය පෑමට ඇති අයිතිය කිසිසේත් අඩාළ නොවේ. ඒ වෙනුවට, විරෝධතාවල මුවාවෙන් අපරාධකරුවන්ට සැඟවී සිටීමට ඇති අවස්ථාව එය අහුරා දමයි.

නීතිය අතට ගැනීම වැළැක්වීම:- කිසිවකුට නීතිය අතට ගැනීමට හෝ ‘සමූහයක ශක්තිය’ පෙන්වමින් දඬුවම්වලින් මිදීමට නොහැකි බවට මෙය දැඩි අනතුරු ඇඟවීමකි.

අධිකරණයේ ස්වාධීනත්වය:- දේශපාලන රැලි හෝ ජනප්‍රිය මතය අනුව යුක්තිය පසිඳලීම සිදු නොවන බවත්, අධිකරණය ස්වාධීන බවත් මෙයින් යළිත් තහවුරු විය.

1976 වසරෙන් පසු ශ්‍රී ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක නොවන බැවින්, මෙම දඬුවම බොහෝ විට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට පත් විය හැකිය. කෙසේ වෙතත්, මෙම තීන්දුවේ සංකේතීය වටිනාකම ඉතා ඉහළය. 2022 වසරේ ඇති වූ කැළැල්වලින් යම් ඉස්පාසුවක් ලබා සිටින මොහොතක, දියුණු ජාතියක් කරා යන ගමන වැටී ඇත්තේ අරාජිකත්වයේ අළු මතින් නොව, නීතියේ ආධිපත්‍යය මතින් බව මෙම නඩු තීන්දුව නැවත නැවතත් අපට සිහිපත් කරයි.

 

(***)