රිසානාගේ මරණ දඬුවමත් සමගම විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් සිදුකළ හාස්‍යජනක නීති සංශෝධනය තෙක් ආපසු සිතයොමු කොට සාකච්ඡා කළයුතුය.   


විදේශ සේවය සඳහා කාන්තාවන් එවීම නවතා දැමුවහොත් රටට ගලා එන විදේශ විනිමය සැලකියයුතු ​ මට්ටමකින් පහළ වැටෙනු ඇත. විදේශගතවෙන කාන්තාවන්ගේ වයස මට්ටම ඉහළ දැමීම ඊට විකල්පයක් ලෙස ඔවුන් තෝරාගන්නට ඇත. වෙස් මාරු කළද වගකිවයුත්තන් නටන්නේ එකම සන්නියමය.   


කටක් ඇර කිසිම පිරිමියෙකුට ගැහැනියක විදේශයේ වහල් සේවය සඳහා එවිය නොහැක. (ගෘහ සේවය සැබෑ ලෙසම අර්ථ ගැන්වූවහොත් ‘වහල් සේවයම’ වෙයි) තමා ගෙවන වැටුප වෙනුවෙන් කම්කරු නීති නොතකා, මානුෂික හැඟීමෙන් තොරව, උපරීමයෙන් සේවය ලබාගැනීමට මැදපෙරදිග හාම්පුත්තු සැදී පැහැදී සිටිති.   


මැදපෙරදිග රැකියා සඳහා අවම වශයෙන් වයස අවුරුදු විසිදෙකක් සපුරා තිබීම මේ දක්වාම අනිවාර්ය කොට තිබූ වග අමාත්‍යවරයාට එදා අමතකවෙන්නට ඇත.   
අමන ඒජන්සිකරුවන්ගේ මැජික් බලයෙන් අයැදුම්කාරියගේ වයස අඩු වැඩි කළ හැක. වෛද්‍ය පරීක්ෂණ වලදී අනේක විධ වූ රෝග තත්ත්ව වසන් කළ හැක. පරිගණකයේ ආධාරයෙන් හාම්පුතුන් සඳහා යැවෙන ඡායාරූපය ප්ලාස්ටික් ශල්‍යකර්මයක් කළාක් මෙන් තරුණ පෙනුමට ගෙන ආහැක.   


ශ්‍රී ලාංකික සේවිකාවක් ලබාගැනීමට රුපියල් තුන්ලක්ෂයකට නොඅඩු මිලක් වැය කරන අරාබි ජාතිකයන් ඒජන්සිකරුවන් හා ආරවුල් ඇතිකරගැනීම එහි එක් ප්‍රතිඵලයකි. එපමණක් නොවේ, තමන් ඉහළ මිලක් ගෙවා ලබාගන්නා සේවිකාවගෙන් උපරීම සේවය ලබාගැනීමට ඔවුහු උත්සාහ දරති.   


වයස අඩු කොට ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර ලබාගෙන මෙහි පැමිණෙන ශ්‍රී ලාංකික කතුන් මුහුණ දෙන ගැටලුවක් වෙන්නේ නිවසක සිදුකළ යුතු කාර්ය භාරය දුටු පසුවය. නිවසේ පිරිසිදුකම ඉහළ මට්ටමකින් පැවැතිය යුතුය. තට්ටු ගණනක් ඇති නිවසේ තරප්පු පේළිදිගේ නිරන්තරයෙන් ඉහළ පහළ යායුතුය.   
අඩු වයසින් පැමිණි කෙනෙකුට අලුත උපන් දරුවකු හෝ රෝගියෙකු බලාගැනීම අසීරු වෙනු ඇත. එහෙත් කළ හැකි දෙයක් නොමැත. ඒජන්සිකරුවාගෙන් ඇය විකිණී හමාරය.   
මේ රටවල මෙය සාමාන්‍ය තත්ත්වයක් වග බලධාරීන් නොදන්නවා විය හැක. නමුත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට නම් බොහෝ ශ්‍රමිකයන්ගෙන් නොයෙක් මාදිලියේ පැමිණිලි ලැබෙන වග අපි දනිමු. අපේ ශ්‍රමිකයන් මුහුණ දෙන ගැටලු පිළිබඳව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විදේශ සේවා කටයුතු අමාත්‍යාංශය දැනුවත් කොට ඊට පිළියම් යෙදිය යුතු වුවත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් එවැනි ජනතා සේවයක් නොවෙන වගට ශ්‍රමිකයෝ මැසිවිලි නගති.   


යම් හෙයකින් කරදරයකට පත්ව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ගිය ශ්‍රමිකයෙකු බැලීමට යාම පවා තහනම්ය. ඒ කවර වූ පදනමක් නිසාදැයි නොදනිමු. තානාපති කාර්යාලයේ රැඳවියන් සැලකියයුතු සංඛ්‍යාවක් සිටින අතර ඔවුන් වෙනුවෙන් යම් මුල්‍යමය ආයෝජනයක්ද කළ යුතුව ඇත.   


සේවය කළ නිවසින් පලාගොස් කබලෙන් ලිපට වැටී, අවසන රෝගාතුරව (තානාපති කාර්යාලය ප්‍රකාශ කොට තිබුණේ ඇය රෝගී තත්ත්වයෙන් පැමිණි බවය.) තානාපති කාර්යාලය වෙත පැමිණ රැඳවියන් අතර සිටියදී මියගිය කාන්තාවක් පිළිබඳ පුවතක් මීට ප්‍රථම කාලඡේදයකදී අසන්නට ලැබිණි.   


මෙවැනි කණගාටුදායක සිද්ධි තවදුරටත් ඇතිවෙන්නට ඉඩ තබනවාට වඩා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා සාකච්ඡා කොට නිසි විකල්පයක් යොදන්නේනම් එය ශ්‍රමිකයාගේත් ඔවුන්ගේ පවුලේත් සුභසිද්දියට රුකුලක් වෙනු ඇත.   


විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ශ්‍රමිකයාගේ රැකවරණය පිළිබඳව සහතික වෙන වග විස්තර පත්‍රිකාවේ සඳහන් කළත් ඒවා ලියකියවිලි වලට පමණක් සීමානොවී ප්‍රායෝගිකව ක්‍රියාත්මක වියයුතුය.   


සේවය කිරීමට සිදුවෙන නිවසෙන් තමන් අත්විඳින හිරිහැර (ලිංගික හිරිහැරද ඇතුලුව) විඳ දරාගැනීමට අපොහොසත් වෙන කාන්තාවන් නිවසෙන් පැනගොස් නන්නත්තාර වෙති. (හැඳුනුම්පත, ගුවන් ගමන් බලපත්‍රය නොමැතිවීම විශාල අවදානමකි) ඒජන්සිකරුවන්ගෙන් ගුටිබැට කෑමට සිදුවෙන නිසා ඒජන්සි වෙත යෑමට අකමැති වග ඒ බොහෝ දෙනා පවසති.   


ශ්‍රමිකයෙකු සේවය සඳහා ගෙන්වීම කොන්දේසි අනුව සිදුවෙයි. දෙවසරක සේවය වෙනුවෙන් සේවා කොන්දේසි ගිවිසුම අනුව අත්සන් කළ යුතුය. (ඒ සඳහා රුපියල් හාරදහස් පන්සියයක් පමණ තානාපති කාර්යාලයට ගෙවිය යුතුය.) තානාපති කාර්යාලයේ නිලධාරීන් ඉදිරියේ සේව්‍යයාත්, සාක්ෂිකරුවෙකුත් අත්සන් කළ යුතුය. දින දෙකක නිත්‍යානුකූලව සිදුකෙරෙන කටයුත්ත ඒජන්සිකරුවන් හා තැරැව්කරුවන් මුදල් බලයෙන් පැය කීපයකින් කරවාගන්නේ සාක්ෂිකරුවන් පවා නොමැතිවය. එබැවින් සහනයක් නොවන සේවා ගිවිසුම ‘හමස් පෙට්ටියට’ දමනු විනා කුමක් කරමුද?   


රජයේ වගකිවයුතු නිලධාරීන් මේ රටවලට පැමිණියද ඔවුන් කෙදිනකවත් ජනතාව අතරට ගොස් ශ්‍රමිකයන් මුහුණදෙන ගැටලු පිළිබඳව විමසන්නේ නැත. තැන තැන පැවැත්වෙන ප්‍රියසම්භාෂණ, සංදර්ශන ඔස්සේ පිළිතුරු නොමැති ශ්‍රමිකයන්ගේ ගැටලු යටපත් වෙනවා පමණි. (අපි ජනාධිපතිතුමාට ආරාධනා කරමු. මේ රටට පැමිණ වෙස්වලාගෙන හෝ දින කීපයක් ජනතාව අතර ගැවසෙන ලෙස. මේ කරුණු වල සත්‍ය අසත්‍යතාව ඉන් වටහාගත හැක.)   


රැකියා සඳහා කාන්තාවන්ගේ වයස මට්ටම වෙනස්කොට එවීම ‘පරණ සිංදුවම අලුත් තාලයකට ගායනා කරනු හා සමානය.’ මැදපෙරදිග ගෘහසේවය සඳහා කාන්තාවන් එවීම නතරකොට සිංගප්පූරුව, සයිප්‍රසය, හොංකොං වැනි රටවලට (සාමකාමී සිතිවිලි ඇති පුරවැසියන් සිටින) යොමු කිරීම මීට වඩා සාර්ථක විකල්පයක් නොවන්නේද?   


පවතින අවදානම වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැන්වත් ‘කොන්ද පණ ඇතිව’ තීරණයක් ගතයුතුව ඇත. නොඑසේනම් පැලැස්තර දමා රැකගන්නට උත්සාහ දරන විශාල ජල ප්‍රවාහයක් මෙන් ජනතාවගේ සිත් තුළ පවත්නා පීඩනය මතු දිනක පුපුරා යෑමට ඉඩ ඇත.   

 


ධම්මිකා පී. වීරගේ   
කුවේට්.