
‘‘ඉතාලි ගොස් මුල් සිඳගත් අපේ ඇත්තන්ගේ විත්ති’’ ලිපියට නීතිමය පිළිතුරක්.
සැප්තැම්බර් මස 24 වැනිදා ඉරිදා ලංකාදීප පුවත්පතේ සයුරෙන් එතෙර පිටුවේ පළවී තිබුණු ‘‘ඉතාලි ගොස් මුල් සිඳගත් අපේ ඇත්තන්ගෙ විත්ති’’ ලිපියේ සඳහන් ඇතැම් කරුණු පිළිබඳව නීතිමය පැහැදිලි කිරීමක් කළ යුතුව ඇත.
ඉතාලි දණ්ඩ නීති සංග‍්‍රහයට අමතරව සංක‍්‍රමණිකයන් සඳහා වෙන ආගමන විගමන නීතිරීති මාලාව ද සැකසී ඇත්තේ රටේ ආරක්ෂාව සහ මහජන යහපැවැත්ම සහතික කිරීම සඳහාය. කිසියම් රටක් විදේශික ආගන්තුකයන් සඳහා නීතිරීති සැකසීමේදී ජාත්‍යන්තර ප‍්‍රඥප්තීන් සහ කාලීන ජාත්‍යන්තර හා දේශීය අවශ්‍යතාවන් පිළිබඳව සලකා බලයි. අනවසර සංක‍්‍රමණය මැඩලීමේ පියවරක් ලෙස එතෙක් පැවති ලිහිල් ඉතාලි ආගමන විගමන නීති සංග‍්‍රහය පළමු වරට සංශෝධනය වූයේ 1981 වසරේ අගෝස්තු මාසයේදීය. (ඊට පෙර ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් කීපයක පුරවැසියන්ට ඉතාලියට සංක‍්‍රමණය වීම සඳහා වීසා බලපත් අවශ්‍ය නොවීය.)
අසූව දශකයේ ආරම්භයත් සමගම එවකට දියුණුවෙමින් පැවතුණු රටවල පුරවැසියෝ සෞභාග්‍ය සොයා බුරුතු පිටින් යුරෝපයට අනවසරයෙන් සංක‍්‍රමණය වීම මෙයට හේතු විය. ආගමන විගමන නීති තද වීමේදී අනවසර සංක‍්‍රමණිකයා විසින් ඉතාලියට ඇතුළුවීම සඳහා යොදාගත් විවිධ උප්පරවැට්ටි හෙළිදරව් වීමත් සමගම, ඒවා වැළක්වීම සඳහා ඉතාලි ආගමන විගමන නීතිරීති ද නැවත නැවත සංශෝධනයට යොමු කෙරුණි. මෙම නීතිරීති මුළු ඉතාලියටම පොදු නීතිරීති මිස එක්තරා ප‍්‍රදේශයකට කලාපයකට පමණක් බලපාන නීතිරීති නොවේ. ඒ අනුව ටොරීනෝ නගරයට ද කටානියා නගරයට ද බලපාන්නේ ඉතාලියේ වලංගු එකම ආගමන විගමන හා සංක‍්‍රමණිකයන් සඳහා වන නීති මාලාවක් මිස, ලියුම්කරු සඳහන් කර ඇති පරිදි විශේෂ නීතියක් එක් නගරයකට පමණක් බලපාන්නේ නැත.
ඉතාලියේ විදේශිකයන් සඳහා වන නීති සංග‍්‍රහයේ පැහැදිලිව සඳහන්ව ඇති ඇතැම් නීතියක් ක‍්‍රියාත්මක නොවෙන තරම් ය. ඉතාලියේ රැඳීසිටීමේ බලපත වලංගු කාලයෙන් හරි අඩකට වැඩි කාලයක් අඛණ්ඩව ඉතාලි භූමියෙන් බැහැරව සිටීම රැඳී සිටීමේ බලපත අවලංගු වූවා සේ සැලකෙන නීතියක් ඇත. ඒ අතරම වරකට යුරෝ දස දහසක ඉක්මවන මුදල් ප‍්‍රමාණයක් ඉතාලියෙන් පිටතට ගෙන යා නොහැකි බව ද ඉතාලි ආගමන විගමන නීති සංග‍්‍රහයේ සඳහන්ය. මෙම නීති අවශ්‍ය මොහොතේ ක‍්‍රියාත්මක කිරීමේ බලතල බලධාරියා සතුව ඇතුව ද, මේ නීති ක‍්‍රියාත්මක කෙරෙන්නේ කලාතුරකින් ය.
කෙටි කාලීනව හෝ දීර්ඝ කාලීනව හෝ නැවතීම සඳහා විදේශික පුරවැසියකු ආගන්තුක රටකට ඇතුළුවීමේදී එම කාලය තුළ විදේශිකයාගේ නවාතැන හා නඩත්තු මුදල පිළිබඳව විමසා සහතික කරවාගැනීම ජාත්‍යන්තරව අනුගමනය කරනු ලබන ක‍්‍රමවේදයකි. විදේශිකයකු ලෙස ශ‍්‍රී ලංකාවට ඇතුළුවීමේදී පිරවිය යුතු පෝරමයේ ද, විදේශිකයා රටේ රැඳී සිටින කාලය තුළ නවාතැන් ගන්නා ස්ථානය නිවැරදිව සටහන් කිරීම අනිවාර්යය වේ. නීත්‍යානුකූලව විදේශික පුරවැසියකු ආගන්තුක රටකට ඇතුළුවූ පසුව එම විදේශිකයා පිළිබඳව කිසියම් වගකීමකට ආගන්තුක රට බැඳී සිටී. කිසියම් ආපදාවකදී විපතට පත් විදේශිකයන් පිළිබඳ දත්ත ජාත්‍යන්තරයට සැපයීමට ද මෙය අත්‍යවශ්‍ය වෙනු ඇත.
විදේශික ආගන්තුකයකුට නවාතැන් දීමේදී සත්කාරකයා විසින් පැය හතළිස් අටක් තුළ ඒ බව ආසන්නම පොලිස් ස්ථානය වෙත රපෝර්තු කිරීම, ත‍්‍රස්ත මර්දන වැඩපිළිවෙල යටතේ ඉතාලියේ විදේශිකයන්ට බලපාන නීති සංග‍්‍රහයට ඇතුළත් කර ඇත. වෘත්තීය හේතූන් මත හෝ වෙනත් හේතූන් මත හෝ ඉතාලියේ රැඳීසිටීමේ බලපත අලුතින් ලබාගැනීමේදී හා කල් ඉකුත්වූ බලපත අලුත් කරගැනීමේදී ද විදේශිකයා කුලී නිවසක වෙසෙන්නේ නම් නිවාස කුලී කොන්ත‍්‍රාත්තුව මගින් තම වාසස්ථානය සහතික කළ යුතුවෙන්නේ උක්ත නීතිය යටතේය. එම නීතිය කටානියා පොලිස් බලප‍්‍රදේශයට පමණක් සීමාවූ නීතියක් ලෙස ලියුම්කරු දක්වා තිබීම වැරදිය.
ඉතාලියේ නිවාස කුලියට ගන්නා ඇතැම් විදේශිකයෝ තමන් කුලියට ගත් නිවස කාමර ලෙස හෝ වෙනත් ආකාරයෙන් තෙවැන්නකුට අතයට කුලියට දී ගෙහිමියාට ගෙවනු ලබන කුලියට වඩා වැඩි ආදායමක් ලබාගැනීමේ වංචාව මැඩලීම පිණිස, ගෙහිමියාගේ ලිඛිත අවසරයකින් තොරව වෙනත් අයෙකුට අතයට කුලියට දීම ඉතාලියේ කුලී පදිංචිකරුට තහනම්ය. මෙම නීතිය සැකසීමේදී ත‍්‍රස්ත මර්දන වැඩපිළිවෙල ද සෞඛ්‍යමය හේතූන් ද සැලකිල්ලට ගෙන ඇති බව ද අමතක නොකළ යුතුය.
ඉතාලියේ රැඳීසිටීමේ බලපත‍්‍ර ගාස්තු පිළිබඳව ලියුම්කරු විසින් සඳහන් කර ඇත්තේ අතිශෝක්තියෙන් බව නොකියාම බැරිය. 2017 ජුනි මස නවවැනි දින සිට ක‍්‍රියාත්මක වෙන නව සංශෝධනයට අනුව, වසර දෙකකට වලංගු ඉතාලියේ රැඳීසිටීමේ බලපතක් වෙනුවෙන් සේවාගාස්තු බදු මුදල් ආදී සියල්ල එකතුව ගෙවිය යුතුවෙන්නේ යුරෝ 126.40 ක මුදලක් වන අතර, දීර්ඝ කාලීන රැඳීසිටීමේ බලපතක් වෙනුවෙන් ගෙවීමට සිදුවෙන්නේ යුරෝ එකසිය හැත්තෑ හයක (176) මුදලක් පමණි. ඉතාලියේ රැඳීසිටීමේ බලපත යනු වීසා බලපත‍්‍රයකි.
උද්ධමනය හා විවිධ ආර්ථික ප‍්‍රශ්න හමුවේ ඉතාලිය අසීරු අවස්ථාවකට පත්ව ඇති බව සැබෑය. කලාප අනුව තත්ත්වය වෙනස් වෙමින් වුවද විරැකියාවේ ප‍්‍රතිශතය ද මෙහි ඉහළ යමින් ඇත. පුහුණු ශ‍්‍රමය ලෙස නොව නුපුහුණු ශ‍්‍රමය ලෙස සලකා විදේශිකයන් නියැලෙන බොහෝ රැකියාවල වැටුප් තත්ත්වය ඉතාලි ජාතිකයන්ගේ වැටුප් හා සසඳා බලන කළ වෙනසක් ඇති බව ද පිළිගත යුතුය. ඒ අතරම ඉහළ යන ජීවන වියදමට සාපේක්ෂව ම නොවූවද, සියළුම වෘත්තීන්හි වැටුප ද යම් තරමකින් හෝ ඉහළ ගොස් ඇති බව සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි. යුරෝපයේ බොහෝ රටවල ශ‍්‍රමිකයන්ට අහිමි දහතුන්වැනි මාසයේ වැටුප වරප‍්‍රසාදය ඉතාලියේ ශ‍්‍රමිකයන්ට හිමිව තිබීම වාසනාවකි.
ලියුම්කරු කියන පරිදි කෙනෙකුන් අසීමිත මුදල් ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකාවේ අඹුදරුවන් වෙත යවද්දී තවත් කෙනෙකුන්ට මෙහිදී එදාවේල පිරිමසා ගැනීමට පවා අසීරු තත්ත්වයක් ඇත්නම් එය ගැඹුරින් විමසා බැලිය යුත්තකි. ගියෝ ද ආපසු ආවෝ මිස ‘‘ඉතාලියේ මේ කෙරුවාවෙන් ගොඩ ඒමට නොහැකිය’’ යි කියා නොඑන්ඩම ශ‍්‍රී ලංකාවට ගියෝ පිළිබඳව නම් මෙතෙක් අසා නැත. තත්ත්වය එසේ නම් එයට හේතුවක් ද තිබිය යුතුය.
සෞභාග්‍ය සොයා යන ගමනේදී එය හමුනොවේ නම් ඊළඟට කළ යුත්ත තීරණය කිරීමට විශේෂඥ දැනුමක් අවශ්‍ය නැත. එහෙත් මව්බිම අඹුදරුවන් නඩත්තුවට තබා, මෙහිදී තමන්ගේ වේල පිරිමසා ගැනීමටවත් ආදායමක් නැතිව ද පිටරට රැඳීසිටීම මෝස්තරයක් කරගත්තෝ ද වෙති. දරුවෝ කෙසේ වෙතත් අඹුවෝ මෙවැනි අයට කියාදී ඇති පාඩම් පිළිබඳ කතා ද මෙහි හිඟ නැත.
දෙපැත්තේ මගුලෙන් ගෙදර බල්ලා බඩගින්නේ යන පැරණි කියමන ලියුම්කරු තම ලිපියෙන් උලුප්පා දැක්වීමට උත්සාහ දරන කාරණය සම්බන්ධව යසට ගැලපෙන බව අවසන් වශයෙන් කිව යුතුමය.
යටියන
ක්ලැරන්ස් කොස්තා
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd