IMG-LOGO

රට හැකි ඉක්මනින් යථා තත්ත්වයට ගනිමු

හරියටම වසරකට පෙර මාර්තු මාසයේ මැද මේ සතිය අප ගෙවූ අවසන් සාමාන්‍ය සතිය විය. එහෙත් ඒ බව අපි කිසිවකුත් දැන නොසිටියෙමු. ලොවේ බොහොමයක් රටවල තත්ත්වය ද එසේම විය. එම සතියෙන් පසුව කොරෝනා වසංගතයේ කඩතුරාවෙන් මුළු රටම වැසී ගියේය. වසරක කාලය ඇති කළ වෙනසක අරුමයේ ප්‍රතිඵල අපි දැන් විඳිමින් සිටින්නෙමු. ඒ නව බලාපොරොත්තු රැසක් පොදි බැඳ ගනිමිනි.

කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් සම්පූර්ණයෙන්ම පාහේ අකර්මණ්‍ය වූ පාසල් පද්ධතිය යළි ක්‍රියාත්මක වීමට සියලු‍ සැකැසුම් සිදුවෙමින් තිබේ. ඒ අනුව බස්නාහිර පළාත හැර සෙසු පළාත්වල සියලු‍ පාසල් ලබන 15 වැනිදා සිට යළි ආරම්භ වෙයි. බස්නාහිර පළාතේ ද 5, 11-13 ශ්‍රේණිවල පන්ති ද එදිනම යළි ආරම්භ කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව පසුගිය වසරේ මේ කාලයට වඩා දැන් පවතින්නේ අප කාටත් සතුටු විය හැකි තත්ත්වයක් බව පැහැදිලිය. කොරෝනා වසංගතය හේතුවෙන් ලොව පුරාම පාසල් අධ්‍යාපනයට සිදු වූයේ බරපතළ හානියකි. එම හානිය අවම කරගැනීම සඳහා අප රටේ ද විවිධ ක්‍රියාමාර්ග ගැනීම නිසා පාසල් අධ්‍යාපනය සම්පූර්ණයෙන් කඩාකප්පල් වීම වැළැකී ගියේය. ඒ සමඟ පළමු සහ දෙවැනි කොරෝනා රැලි අතරමගදී අපොස උ.පෙළ විභාගය පවත්වා අවසන් කිරීමට හැකි වූ අතර දෙවැනි රැල්ල තරමක් දුරකට පාලනය කරගැනීමෙන් පසුව අ.පො.ස. සා.පෙළ විභාගය ද පවත්වා අවසන් කරගැනීමට අධ්‍යාපන බලධාරීහු සමත් වූහ. උසස් පෙළ විභාග ප්‍රතිඵල අප්‍රේල් මාසයේදී ද සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ජුනි මාසයේ ද නිකුත් කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව කටයුතු සිදුවුවහොත් තව සති කිහිපයකදී පාසල් අධ්‍යාපනය සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇතැයි අනුමාන කළ හැකිය. විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන කටයුතු ද ඔන්ලයින් සේවා පහසුකම් භාවිතයෙන් සහ වෙනත් ක්‍රමවේද යොදාගනිමින් හැකි තරම් දුරකට කරගෙන යන බව ද ඒ සමඟ සඳහන් කළ යුතුය.

අධ්‍යාපන කටයුතු පමණක් නොව සංස්ථා හා මණ්ඩල ද ඇතුළුව රාජ්‍ය සේවයේ නිවෙස්වල සිට සේවා සැපැයූ කාලය ද මේ සතියෙන් අවසන් කෙරෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ චක්‍රලේඛයක් මගින් දැනුම් දී තිබේ. රාජ්‍ය සේවය ද වසරක් තිස්සේ පවත්වාගනු ලැබුවේ සීමිත නිලධාරි සහ සේවක සංඛ්‍යාවක් සහභාගි කරගැනීමෙනි. කාර්ය මණ්ඩල පිරිස් ආයතනවල සේවයට ගෙන්වා ගනු ලැබුවේ කොටස් වශයෙනි. බොහෝදෙනකු සේවය කළේ නිවෙස්වල සිටිමිනි. රාජ්‍ය සේවයට තවදුරටත් එම පහසුකම නොලැබෙනු ඇත. රජයේ කාර්යාල මගින් සැපැයෙන සේවාවල අඩුපාඩුකම් මගහරවා ගැනීමට මේ තීන්දුව ගනු ලැබූ බව ද සඳහන්ය. එම තීන්දුව මගින් ද පෙන්වා දෙන්නේ වසරකට පසුව රට ක්‍රම ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් සිටින බවය. එසේම පෞද්ගලික අංශයේ සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ද පවතින වර්තමාන තත්ත්වය ද එය තවදුරටත් සහතික කර තිබේ.

පොදු ගමනාගමන සේවා ද ක්‍රමානුකූලව වර්ධනය වෙමින් පවතින බව බැලූ බැල්මට පෙනී යයි. තදබද අවස්ථාවලදී බස් රථවල සෞඛ්‍ය නීති රීති සැලකිල්ලට නොගන්නා බව ද ඒ සමඟ පෙනෙන්නට තිබේ. එය යහපත් ප්‍රවණතාවක් නොවන බව ද පෙන්වා දිය යුතුය. සෑම අවස්ථාවකදීම වසරක් තිස්සේ පුරුදු පුහුණු කරගත් සෞඛ්‍යාරක්ෂක නීති රීති පිළිපැදීමට සියලු‍දෙනාගේම කැපවීමක් අවශ්‍යය. එම පුරුදු අත්හැරීම සියලු‍ දේ සාමාන්‍ය තත්ත්වයට පත්වීම තවදුරටත් ප්‍රමාද කරනු ඇත. එහි අවාසිය ඇත්තේ ද සාමාන්‍ය ජනතාවටමය.

රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා එන්නත්කරණ ක්‍රියාවලිය ද අඛණ්ඩව ක්‍රමානුකූල ලෙස ක්‍රියාත්මක වීම ද අවශ්‍යය. එන්නත රටේ ජනතාව තුළ ඇති බලාපොරොත්තු විශාල ලෙස ඉහළ නංවා ඇති බව ඒ සඳහා මහජනතාව තුළ පවතින දැඩි උනන්දුව පෙන්වා දෙයි. එන්නත අපේ රටේ පමණක් නොව ලොවේ සියලු‍ම රටවල උනන්දුව ඒ ආකාරයටම ඉහළ නංවා තිබෙන බව ද පැහැදිලිය. එහෙත් එන්නත දෙස බලාගෙන සියලු‍ සෞඛ්‍යාරක්ෂක නීති රීති අතහැර දැමීමත් ඒ කෙරෙහි සැලකිල්ලක් නොදැක්වීමත් කොරෝනා වයිරසය තවදුරටත් ව්‍යාප්ත වීමට හේතු වන බව නිතර සිහියේ රඳවා තබාගැනීම අවශ්‍යය. නැතහොත් මේ සියලු‍ උත්සාහයන් ගඟට කැපූ ඉනි මෙන් ප්‍රතිඵල රහිත ව්‍යායාමයක් පමණක් වනු ඇත.

කොරෝනා වසංගතය ලොවටම උගැන්වූ පාඩම් බොහොමයකි. ඒවා අප රටට ද අදාළය. එසේම මුළු ලොවම එකම අරමුණක් කරා යොමුවී එය සාර්ථක කරගත් අවස්ථාවක් වශයෙන් ද කොරෝනා එන්නත සොයා ගැනීම දැක්වෙයි. එය මානව සංහතියේම විශිෂ්ට ජයග්‍රහණයක් වශයෙන් ද සැලකෙයි. අපේ රට කොරෝනා වසංගතයේ අඳුරු කඩතුරාව ටිකෙන් ටික ඉවත් කරගනිමින් සාමාන්‍ය ජීවිතයට හුරුපුරුදු වෙද්දී පසුගිය වසරක කාලය තුළ උගත් පාඩම් අමතක නොකළ යුතු බව ද සිහියේ තබාගත යුතුය. රට දිගින් දිගටම වසාගෙන කටයුතු කළ නොහැක. එහි ආදීනව අපි සියලු‍දෙනා වින්දෙමු. යළිත් එවැනි තත්ත්වයකට රට ගොදුරු නොවීමට නම් අපි අපේ යුතුකම් සහ වගකීම් නිසි ලෙස ඉටුකළ යුතු වෙමු.

(***)



අදහස් (0)

රට හැකි ඉක්මනින් යථා තත්ත්වයට ගනිමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 66 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site