හංවැල්ල, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශවල ජනතාව නරුම ලෙස භීතියට හා පීඩාවට පත් කරමින් කප්පම් ගැනුම් සහ ඝාතනයන් සිදු කළ කුප්‍රකට අපරාධකරුවෙකු වන කන්නංගරගේ ලලිත් කන්නංගර හෙවත් ”‍බස් ලලියා”‍ මේ වන විට පසුවන්නේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාරයේය. ඒ දින 90 ක රැඳවුම් නියෝග යටතේ කෙරෙන දීර්ඝ ප්‍රශ්න කිරීම් සඳහාය.

බස් ලලියා කප්පම් හා ඝාතන පමණක් නොව කුඩු ජාවාරම සඳහා ද සෘජු දායකත්වයක් දැක්වූ අපරාධකරුවෙකු බව මේ වන විට හෙළිව තිබේ. විශේෂයෙන්ම ඔහුගේ ප්‍රධාන ගෝලයන් සියල්ලන්ම පාහේ කුඩු ජාවාරම්කරුවන් වන අතර, ඔවුන් සඳහා ගිනි අවි ලබාදීම, ජාවාරමට එරෙහි වන්නන් ඝාතනය කිරීම සහ ඝාතනයට තැත් කිරීම සඳහා බස් ලලිත් විසින් ආධාර අනුබල ලබා දී ඇති බව නීතියේ රැහැනට හසුවීමත් සමග අනාවරණය වී ඇත.

බස් ලලිත් මේ වන විට හෙළි කර ඇති තොරතුරු අනුව කප්පම්වලින් පමණක් මසකට රුපියල් කෝටි ගණනක මුදලක් උපයා තිබේ. ඊට අමතරව දේපළ පැහැර ගැනීම්, වෙනත් පුද්ගලයන්ගේ කොන්ත්‍රාත් මත සිදු කරන පුද්ගල ඝාතන, දේපළ විනාශ කිරීම් සහ ගිනි තැබීම් ආදියෙන් ද තවත් විශාල මුදලක් මාස්පතා උපයාගෙන ඇත. එසේම මත්කුඩු ජාවාරමට ආධාර අනුබල ලබාදීම හරහා ද තවත් අතිවිශාල මුදල් කන්දරාවක් මාස්පතා ඔහු වෙත ගලා ඒමට සැලැස්ම සකස් කරගෙන තිබුණි.

 

අසරණව සිටි බස් කොන්දොස්තර පාතාලයේ අළුගෝසුවා වූ හැටි

 

ඇඹිලිපිටිය කිරලවැල්කටුව ප්‍රදේශයේ උපන් ලලිත් කන්නංගර, හල්මිල්ලකැටිය මධ්‍ය මහා විද්‍යාලයෙන් 9 ශේණිය දක්වාත් හොරණ නාලන්දා පිරිවෙනෙන් 10 වසර දක්වාත් අධ්‍යාපනය හදාරා ඇත. අනතුරුව බියගම ආයෝජන කලාපයේ ඇඟලු‍ම් කම්හලක සේවයට එක් වූ ඔහු, එහි සේවය කරන අතරතුර හඳුනාගත් දිඹුලාගල පදිංචිකාරිනියක වන ඉනෝකා නැමැත්තිය සමග 2008 වසරේදී විවාහ වී දියණියන් දෙදෙනෙකුගේ පියෙකු බවට පත් විය.

පසුව රනාල ප්‍රදේශයේ පදිංචියට යන ඔහු, බිස්කට් සමාගමකට අයත් ලොරියක සේවයට එක් වුවද පසුව ඉන් ඉවත් විය. රැකියාවක් නොමැතිව අනාථව සිටි ලලිත්ට පිහිට වෙමින් ඔහුව සිය බස් රථයේ කොන්දොස්තරවරයෙකු ලෙස සේවයට එක්කර ගන්නේ වජිර නිශාන්ත නැමැති බස් ව්‍යාපාරිකයා විසිනි. මුලින් කොන්දොස්තරවරයෙකු ලෙස සේවයට එක් වූ ලලිත්ට රියදුරු බලපත්‍රයක් පවා ලබාදීමට මැදිහත් වූ එම ව්‍යාපාරිකයා, අනතුරුව ඔහුව සිය හංවැල්ල-පිටකොටුව බස් රථයේ රියදුරු ලෙස කටයුතු කිරීමට ද අවස්ථාව සලසා දුන්නේය. එලෙස එම ව්‍යාපාරිකයා යටතේ 2009 වසරේ සිට වසර 10 කට අධික කාලයක් සේවය කිරීමෙන් පසුව 2020 ජනවාරි මාසයේදී ඔහු ඩුබායි රාජ්‍යය වෙත ගොස් එරට බෝට්ටු සමාගමක බෝට්ටු අලු‍ත්වැඩියා කරන්නෙකු ලෙස සේවයට එක් විය.

කෙසේ වෙතත්, ලොව පුරා ශීඝ්‍රයෙන් පැතිර ගිය කොවිඞ් වසංගතය හේතුවෙන් ලලිත් සේවය කළ ඩුබායිහි බෝට්ටු කර්මාන්තශාලාව තාවකාලිකව වසා දැමීමට සිදු විය. මෙරටට පැමිණෙන ලලිත් කන්නංගරට ඩුබායිහිදී ඩිරාම්වලින් ලද ආදායම අහිමි වීම නිසා මෙරට තුළ සුඛෝපභෝගී ලෙස ජීවත් වීමට පහසුවෙන් මුදල් උපයන මාර්ගයක අවශ්‍යතාව මතුවිය. ඒ සඳහා ඔහු තෝරාගත් මාර්ගය වූයේ කප්පම් ලබාගැනීමයි. ඒ සඳහා ගෝලබාලයන් කිහිපදෙනෙකු ද සොයාගන්නා ඔහු, ප්‍රදේශයේ පුද්ගලයන් භීතියට පත් කරමින් කප්පම් ලබාගැනීම ආරම්භ කළේය.

විමර්ශනවලදී හෙළිව ඇති පරිදි ඔහුගේ ලේඛනගත පළමු අපරාධය වන්නේ 2013 සැප්තැම්බර් 16 වන දින හංවැල්ලේදී පුද්ගලයෙකුට පිහියෙන් ඇණ තුවාල සිදුකිරීමේ සිද්ධියකි. එම සිදුවීම සමථ මණ්ඩලයට යොමු කිරීමෙන් පසුව 2013 නොවැම්බර් 11 වන දින සමථ වී තිබුණි. අනතුරුව කප්පම් සිද්ධියකට 2021 ජූනි 29 වන දින ජල්තර ලංකා ටයිල් ආයතනය අසලදී පාලිත පෙරේරා නැමැත්තෙකු කඩුවලින් කපා බරපතල තුවාල සිදු කරමින් ඔහු යළිත් සිය අපරාධ දිවියට නව ආරම්භයක් ලබා ගත්තේය.

 

කන්න දුන් අත සපා කෑ අමානුෂික කුරිරුකම

 

බස් ලලිත් යනු සිය දෙමාපියන්ගෙන් වුවද කප්පම් ගැනීමට දෙවරක් නොසිතන්නෙකු බවට හංවැල්ල ප්‍රදේශයේ ජනතාව තුළ මතයක් පවතී. එය එසේ වී ඇත්තේ රැකියාවක් නොමැතිව අනාථව සිටි ලලිත්ට තම බසයේ කොන්දොස්තර රැකියාව ලබාදී, අනතුරුව රියදුරු බලපත්‍රය ද ලබා ගැනීමට සහාය වී, ඔහුව බසයේ රියදුරු බවට පත් කර තම නිවසේම නැවතීමට පවා අවස්ථාව සලසා දී තිබූ වජිර නිශාන්ත නැමැති ගුණගරුක ව්‍යාපාරිකයාට ඔහු කළ අඩම්තේට්ටම් නිසාය.

ලලිත් ප්‍රථමයෙන්ම කළේ තමන්ට සරණ වූ වජිර නිශාන්තගේ ව්‍යාපාරික ස්ථානයට 2021 සැප්තැම්බර් 07 වන දින අයුතු ලෙස ඇතුළු වී, එහි ගාල් කර තිබූ ලොරි රථයක් ගිනි තබා විනාශ කර කප්පම් ඉල්ලා සිටීමයි. එම තර්ජනයෙන් නොනැවතුණු ඔහු 2021 සැප්තැම්බර් 20 වන දින, තමන් අස්සක් මුල්ලක් නෑර හොඳින් දන්නා වජිර නිශාන්තගේ වග-නෙළුවත්තුඩුවේ පිහිටි නිවසට කඩා පැන, ගිනි අවියකින් වෙඩි තබා නිවැසියන් බිය ගන්වා නැවතත් කප්පම් ඉල්ලා සිටියේය.

මුදල් නිසා මිනිසෙකුට මෙතරම් පහත් අමනුෂ්‍යයෙකු විය හැකිද සහ ලබ්බට තිබූ අත පුහුලට නොතබන්නේද යන භීතිය හංවැල්ලේ ජනතාවට ඇති වන්නේ සිය පෙර හාම්පුතාගෙන් මෙලෙස අමානුෂික ලෙස කප්පම් ඉල්ලීමත් සමගය. එම කුරිරුකම උපරිමයට පැමිණියේ 2024 සැප්තැම්බර් 30 වන දිනදීය. එනම් තමන්ට බස් සේවකයෙකු වන්නට මග පාදා ජීවිතය රැක දුන්, නෙළුවත්තුඩුවේ පදිංචිව සිටි එම ව්‍යාපාරික වජිර නිශාන්ත නැමැත්තාවම වෙඩි තබා ඝාතනය කිරීමෙනි. තමන්ට කන්න දුන් අත සපා කෑ මෙම සිදුවීම මුළු ප්‍රදේශයම කම්පනයට පත් කළේය.

 

ලේ වැකි අපරාධ සහ කප්පම් තර්ජන රැල්ල

 

සිය කප්පම් ගැනීමේ ක්‍රියාවලිය තර්ජනවලින් ඔබ්බට ගෙනගොස් ඝාතන දක්වා වර්ධනය කරගත් බස් ලලියා විසින් සිදු කරන ලද තවත් බරපතල අපරාධ රැසක් පිළිබඳ තොරතුරු විමර්ශනවලදී හෙළි වී තිබේ:

2022 ඔක්තෝබර් 16: හංවැල්ල පොලිස් බලප්‍රදේශයේ පිහිටි නිවසකට රාත්‍රී කාලයේ අයුතු ලෙස ඇතුළු වී නිවැසියන්ට කප්පම් ඉල්ලා අමානුෂිකව පහරදීම.

2022 දෙසැම්බර් 18: සහිදු ලෙබ්බේ මොහොමඞ් මොහොම්මදු නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම.

2023 දෙසැම්බර් 25: නිරිපොළ, හංවැල්ල පදිංචිකරුවෙකු වන රොෂාන් ඉන්දික (මන්නා රොෂාන්) සහ මූණමලේ ජනපදයේ පදිංචි සිතුම් නිමේෂ් යන දෙදෙනා ඝාතනය කිරීම.

2024 මාර්තු 04: පල්ලියවත්ත, නිරිපොළ පදිංචිව සිටි දොන් මධුරංග නැමැත්තා ඝාතනය කිරීම.

2025 ජූලි 06: කොස්ගමදී ත්‍රීරෝද රථයකින් ගමන් ගත් පුද්ගලයන් තිදෙනෙකුට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු ලවා වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම (මෙම ඝාතන තැත බස් ලලිත් විසින් මෙහෙයවා තිබුණි).

2025 ඕගොස්තු 12: ගැහැණුවල, ආටිගල, මීගොඩ පදිංචිව සිටි දොන් ශාන්ත හෙවත් ”‍බනා මන්ත්‍රී”‍ නැමැත්තාව නිවස ඉදිරිපිට යතුරුපැදියේ යමින් සිටියදී වෙඩි තබා ඝාතනය කිරීම.

ඊට අමතරව ලලිත් කන්නංගර විසින් සිදු කරන ලද තවත් කප්පම් ඉල්ලීමේ සිද්ධි රැසක් වාර්තා වී ඇත:

1. මීගොඩ පොලිස් වසමේ ප්‍රියජනක හාඞ්වෙයාර් වෙළඳසැල් හිමිකරු මරණ බවට තර්ජනය කර කප්පම් ඉල්ලීම.

2. ගොඩගම සර්විස් ආයතනයේ අනුර නැමැත්තාට මරණීය තර්ජන එල්ල කර කප්පම් ඉල්ලීම.

3. මීගොඩ කුෂාන් එන්ටප්‍රයිසස් ආයතනයේ හිමිකරුට මරණීය තර්ජනය කර කප්පම් ඉල්ලීම.

4. ගොඩගම සමන්ත හාඞ්වෙයාර් හිමිකරුට මරණීය තර්ජනය කර කප්පම් ඉල්ලීම.

5. පාදුක්ක ලී මෝල හිමිකරු වන නිශාන්ත නැමැත්තාට මරණීය තර්ජනය කර කප්පම් ඉල්ලීම.

6. මීගොඩ කුවින්ස් ස්ටාර් හිමිකරු ජනක නැමැත්තාට මරණීය තර්ජනය කර කප්පම් ඉල්ලීම.

7. මීගොඩ උඩගෙවත්ත ප්ලාස්ටික් ආයතනයේ ජනක නැමැත්තාට මරණීය තර්ජනය කර කප්පම් ඉල්ලීම.

8. මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ පොල්තෙල් වෙළඳසැලක හිමිකරු වන නලින්ද නැමැත්තාට මරණීය තර්ජනය කර කප්පම් ඉල්ලීම.

9. ජල්තර, රනාල පදිංචි සුදේශ් ලක්ෂාන් නැමැත්තාට මරණීය තර්ජනය කර කප්පම් ඉල්ලා සිටීම.

10. කොස්ගම වයින් ස්ටෝර්ස් හිමිකරු වන පාදුක්ක, තුන්නානේ චන්ද්‍රසිරි නැමැත්තාට තර්ජනය කර කප්පම් ඉල්ලීම (මෙම සිද්ධියට ගොඩමුණ සහ ධම්මික නැමැති දෙදෙනා ද සම්බන්ධ බවට තොරතුරු හෙළි වී තිබේ).

මේ මොහු සම්බන්ධයෙන් වාර්තා වී ඇති තොරතුරුවලින් කොටසක් පමණි. මොහුගේ තර්ජන හමුවේ ජීවිත හානි සිදු කරතැයි වූ බිය නිසා හංවැල්ල, මීපේ, පාදුක්ක ආදී ප්‍රදේශවල මොහුට කප්පම් ගෙවමින් සිටි පිරිස අතිවිශාලය.

 

ජාවාරම් ජාලය සහ ඩුබායි රාජ්‍යයට පැන යාම

 

ලලිත් කන්නංගරගේ ප්‍රධාන ගෝලයා වන්නේ කොස්ගම, කඩුගොඩ පදිංචිකරුවෙකු වන ”‍ගොඩුමනේ හෙවත් ගොඩයා”‍ නැමැත්තා බව පරීක්ෂණ මගින් හෙළි වී තිබේ. ඔහු විසින් සිදු කළ මිනී මැරීමට තැත් කිරීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සෙසු අපරාධ සඳහා අනුබල දීම සහ අවි සැපයීම සිදු කර ඇත්තේ ලලිත් විසිනි. එසේම ”‍කඩුගොඩ සුදු මල්ලි”‍ නැමැත්තා සමග එකතුව කොස්ගම, හංවැල්ල හා මීගොඩ ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කර ඇති බව ද පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත.

සිය අපරාධ දිවිය ඇරඹීමෙන් පසුව ලලිත් කන්නංගරට පොලිසියට හසුවීම වළක්වා ඔහුව ඩුබායි වෙත පැන යාම සඳහා උපකාර කර ඇත්තේ හංවැල්ලේ ගල්වළක් පවත්වාගෙන යන ”‍නීල්”‍ නැමැත්තෙකි. ඔහු විසින් ලලිත්ව ඩුබායි වෙත පැන යන තෙක් හංවැල්ල දිද්දෙනිය වත්තේ නිවසක් තුළ සඟවාගෙන සිට ඇති බව ද විමර්ශන මගින් අනාවරණය කරගෙන තිබේ.

ලලිත් කන්නංගර ඩුබායි වෙත පැන යාමෙන් පසුව ඔහුගේ සියලු‍ අපරාධ සහ ව්‍යාපාර කටයුතු භාර දී ඇත්තේ ”‍බටයා”‍ නැමැත්තා වෙතය. කප්පම් ගැනීම සඳහා පුද්ගලයන්ට දුරකථන ඇමතුම් ලබාදීම, එසේ ලබාදෙන කප්පම් මුදල් ලබාගැනීම, කප්පම් ලබා නොදෙන්නන් සම්බන්ධයෙන් ලලිත්ව දැනුවත් කර ඔවුන්ට දඬුවම් ලබාදීම සඳහා ඝාතකයන් යොමු කිරීම ආදී සියලු‍ අපරාධ සඳහා මොහු දායක වී ඇති බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.

 

අත්අඩංගුවට ගැනීම සහ ජනතාවගේ ප්‍රීති උත්සව

 

බස් ලලියා පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ඩුබායිහිදී අත්අඩංගුවට පත් වන්නේ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලත් තොරතුරක් මත එරටින් කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙනි. ඝාතන හා කප්පම් ගැනීම් රැසක වරෙන්තුකරුවෙකු වූ ලලිත් කන්නංගර වෙනුවෙන් රතු වරෙන්තු ද නිකුත් කර තිබුණු අතර, ඒ සියලු‍ සාධක අනුව යමින් ඔහුව මෙරටට පිටුවහල් කරවා ගැනීමට මෙරට පොලීසිය සමත් විය.

ඒ අනුව මධ්‍යම විමර්ශන කාර්යාංශය, රාජ්‍ය බුද්ධි සේවය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඔහුව භාරයට ගෙන පසුගිය 25 වන දින මෙරටට රැගෙන එනු ලැබීය. ඔහු මෙරටට රැගෙන ආ පුවතින් කුල්මත් වූ හංවැල්ල, මීපේ හා පාදුක්ක ප්‍රදේශවල ජනතාව ඔහුගේ භීෂණයෙන් මිදීමට හැකිවීම ගැන සිතා රතිඤ්ඤා දල්වමින් සිය සතුට සමරනු ලැබූහ.

එලෙස රැගෙන ආ බස් ලලියා මුලින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගොස් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසුව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාරදුන් අතර, ඔවුන් විසින් පැය 72 ක රැඳවුම් නියෝග ලබාගන්නා ලදී. අනතුරුව පසුගිය 28 වන දින අධිකරණයට කළ කරුණු දැක්වීම අනුව බස් ලලිත්ගෙන් තවදුරටත් දින 90 ක් දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට අවසර හිමි විය.

බස් ලලිත් පිළිබඳ විමර්ශන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් අනුව අපරාධ හා රථවාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු මහතාගේ මෙහෙයවීමෙන් සහ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ ඇතුළු කණ්ඩායමක් විසින් සිදු කරනු ලබයි.

බස් ලලිත්ගෙන් කළ ප්‍රශ්න කිරීම් අනුව මේ වන විට කප්පම් සිද්ධි 17 ක් සම්බන්ධයෙන් තොරතුරු හෙළි කර ඇති අතර, ටී-56 ගිනි අවියක් සඟවා ඇති ස්ථානයක් පිළිබඳව ද හෙළි කර තිබේ. එසේම ඔහුට එල්ල වන ඝාතන චෝදනා පිළිගැනීමට ද ඔහු සූදානමින් සිටින බව පැවසෙයි.

මේ වන විට 36 හැවිරිදි වියේ පසුවන ලලිත් කන්නංගර හෙවත් බස් ලලියා පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ ප්‍රශ්න කිරීම් හමුවේ තවත් තොරතුරු රැසක් අනාවරණය කරමින් සිටින අතර, ඒ අනුව අපරාධවලට සම්බන්ධ සියලු‍ දෙනා ඉදිරි දින කිහිපය තුළ අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය පවසයි. දීර්ඝ කාලයක් තිස්සේ ලලිත් කන්නංගරගේ භීෂණයට හසුව මුදා නොගත් ප්‍රදේශ ලෙස පැවති හංවැල්ල, වග, පාදුක්ක, මීපේ ආදී ප්‍රදේශවල ජනයාට ඉදිරියේදීවත් සැනසීමෙන් හා සාමකාමීව සිය ජීවිත ගත කිරීමේ අවස්ථාව උදා වනු ඇතැයි එම ජනතාව බලාපොරොත්තු දල්වාගෙන සිටිති.

- නිරෝෂන් ප්‍රේමරත්න

- ඡායාරූපය ටී.කේ.ජී. කපිල