
බෙලිහුල්ඔය සංචාරක හෝටල් කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයන් හා බෙලිහුල්ඔය සෆාරි ජීප් හිමිකරුවන් ගේ බලපෑම මත යෝජනාවක් ලෙස බෙලිහුල්ඔය, ගලගම, නැග්රැක්, නන්පේරියල් වත්ත හරහා හෝර්ටන් තැන්න දක්වා පිවිසීමට අලුතින් මාර්ගයක් ඉදි කිරීමට සූදානම් වේ. මෙම යෝජනාව පසුගිය දා පරිසර අමාත්‍යවරයා සමඟ කල්තොට දී පැවති රැස්වීමේ දී ඉදිරිපත් කරනු ලැබුවේය. මෙම යෝජනාව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට මේ වන විට සූදානම් වේ.
පසුගිය රජය පැවති සමයේ දී බෙලිහුල්ඔය ඉඩම් ජාවාරමේ නිරත ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු ගේ අවශ්‍යතාව මත නන්පේරියල් වත්ත හරහා හෝර්ටන් තැන්න දක්වා පිවිසීමට කිලෝමීටර 10 ක් දිග මාර්ගයක් ඉදි කිරීමට සූදානම් විය. ඒ අනුව නැග්රැක් දක්වා වාහනයකින් පිවිසිය හැකි පරිදි මාර්ගය සකස් කර එතැන් සිට පා ගමනින් හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය දක්වා පිවිසීමට හැකි වන පරිදි මෙම මාර්ගය ඉදි කිරීමට යෝජනා විය. වත්මන් රජය යටතේ සිදු කිරීමට උත්සාහ දරන්නේ ද ජාවාරම්කරුවන් කිහිපදෙනෙකු ගේ අවශ්‍යතාව මත සකස් කිරීමට සූදානම් වූ එම මාර්ගය ම ය. ඒ අනුව පෙනී යන්නේ ජාවාරම්කරුවන් ගේ අවශ්‍යතා වෙනුවෙන් වත්මන් ආණ්ඩුවේ මන්ත්‍රිවරු ද පෙනී සිටින බව ය.
ආරක්ෂිත වනාන්තර හතරක් ඔස්සේ මාර්ගය සකස් කිරීම
මෙම සැලැසුමට අනුව බෙලිහුල්ඔය, ගලගම ගම්මානයේ සිට නැග්රැක් ගම්මානය ඔස්සේ නම්පේරියල් වත්ත දක්වා ආරක්ෂිත වනාන්තර හා තේ වතු හරහා කිලෝමීටර 6 ක් පමණ දිගින් යුත් මාර්ගය සකස් කරන අතර නම්පේරියල් වත්තේ පිහිටි වතු බංගලාවේ සිට හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය තුළ කිලෝමීටර 4 ක් පමණ වනාන්තරය ඔස්සේ මාර්ගය සකස් කිරීමට සූදානම් වේ. ගලගම ගම්මානයෙන් පසු ව වන සංරක්ෂණ ආඥා පනත යටතේ පාලනය වන රත්තනගොල්ල වනාන්තරය, වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ ප්‍රකාශිත පීක් විල්ඩනස් (ශ්‍රී පාද අඩවිය) අභය භූමිය සහ සමනල අඩවිය ස්වභාව රක්ෂිතය හරහා හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය දක්වා මාර්ගය සකස් කිරීමට නියමිත ව ඇත. එම සම්පූර්ණ වනාන්තර පද්ධතිය ඉහළ කඳුකර වනාන්තර වලින් සමන්විත වන අතර ඉතා ම සංවේදී, දුර්ලභ හා ආවේණික ජීවී විශේෂ රාශියක් ජීවත්වන ප්‍රදේශයකි. මෙම මාර්ග සකස් කිරීමත් සමඟ සුවිශේෂී වනාන්තර පද්ධතියක් ඛණ්ඩනය වීම හා ස්වාභාවික වාසස්ථානවලට බාහිරින් ඇති වන බලපෑම් වර්ධනය වී සංවේ දී හා ආවේණික ජීවී විශේෂවල පැවැත්මට අහිතකර බලපෑම් ඇති වීම සිදු වනු ඇත.
වනජීවී සංරක්ෂණ පනත් උල්ලංඝනය කිරීම
වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව ප්‍රකාශිත හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය හා සමනල අඩවිය ස්වභාව රක්ෂිතය යන ජාතික රක්ෂිත දෙකක් ඔස්සේ මෙම මාර්ගය ඉදි කිරීමට ඉඹුල්පේ ප්‍රාදේශීය සභාව උත්සාහ කරයි. නමුත් ජාතික උද්‍යානයක් හෝ ස්වභාව රක්ෂිතයක් ඇතුළත පහසුකම් හා සේවා පාලනය සහ කළමනාකරණය සිදු කළ යුතු වන්නේ පනතේ 2අ වගන්තියට අනුව වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා ගේ පාලනයට යටත් ව ය. මෙම පනත යටතේ ප්‍රකාශිත රක්ෂිතයක් තුළ සියලු සැලැසුම් 2අ(1), (2) හා (3) වගන්තිවලට අනුව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් විසින් පත් කරන කළමනාකරණ සැලැසුම් කමිටුවක් විසින් සකස් කර, අදාළ විෂය භාර අමාත්‍යංශයේ ලේකම්වරයා ගේ අනුමැතියට යටත් ව ක්‍රියාත්මක විය යුතු ය. එවන් නීතිමය තත්ත්වයන් පවතිද්දී වෙනත් අයගේ අභිමතය පරිදි ව්‍යාපාරිකයන් ගේ උවමනාවන් වෙනුවෙන් වනජීවී රක්ෂිත භාවිත කළ නොහැකි ය.
එපමණක් නොව වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 6(1) වගන්තියට අනුව ජාතික උද්‍යානයක් තුළ හෝ ස්වභාව රක්ෂිතයක් තුළ මාර්ග සකස් කිරීම හෝ සකස් කළ මාර්ග භාවිත කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි. එවන් වරදකට මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු වන පුද්ගලයකුට රුපියල් 20,000 ත් ලක්ෂයත් අතර දඩයකට හෝ වසර 2 ත් 5 ත් අතර බණ්ධනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම ලක් කළ හැකි ය.
මීට අමතර ව ජාතික උද්‍යානයක හෝ ස්වභාව රක්ෂිතයක මායිමේ සිට සැතපුමක් ඇතුළත සීමාවේ මාර්ග ඉදි කිරීම ඇතුළු යම් සංවර්ධන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් ජාතික පාරිසරික පනතට අනුව පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් සකස් කර වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා ගේ පූර්ව ලිඛිත අනුමැතිය ලබා ගත යුතු ය. මෙවන් නීතිමය තත්ත්වයන් රැසක් යටතේ මෙම රක්ෂිත වනාන්තර පාලනය වන්නේ මේවායෙහි පවතින පාරිසරික, ජෛව විද්‍යාත්මක, දේශගුණික, භූ විද්‍යාත්මක, පුරා විද්‍යාත්මක හා ජල විද්‍යාත්මක වටිනාකම් හේතුවෙනි.
ස්වාභාවික ලෝක උරුම වැනසීම
මේ ආකාරයෙන් හෝර්ටන් තැන්න වනාන්තර හා තෘණ බිම් පද්ධතියේ පවතින අධික වටිනාකම් හේතුවෙන් වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව 1969 දෙසැම්බර් 05 වන දින අංක 14883 දරන ගැසට් නිවේදනය ම`ඟින් හෝර්ටන් තැන්න ස්වභාව රක්ෂිතයක් ලෙස පළමු ව ප්‍රකාශයට පත් කර තිබේ. පසුව 1988 මාර්තු 16 වන දින අංක 497/10 දරන ගැසට් නිවේදනය මඟින් හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයක් ලෙස මෙම පනතේ 2(1) වගන්තියට අනුව ප්‍රකාශයට පත් කෙරින. එසේ ප්‍රකාශයට පත් කළ මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර 3159.8 කි. මෙම වනෝද්‍යානය නුවරඑළිය දිස්ත්‍රික්කයේ මීටර 1800 සිට 2395 දක්වා වූ උච්චත්ව පරාසය තුළ ව්‍යාප්ත ව ඇත.
හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය තුළ ලංකාවේ උසින් දෙවන හා තෙවන ස්ථාන හිමි කඳුවැටි පිහිටා තිබේ. හෝර්ටන් තැන්නේ බටහිර මායිමේ උසින් දෙවන කන්ද වන කිරිගල්පොත්ත පිහිටා ඇත. මෙහි උස මීටර් 2395 කි. උතුරු මායිමේ උසින් තෙවන ස්ථානය හිමි තොටපල කන්ද පිහිටා තිබේ. එහි උස මීටර් 2357 කි. දකුණු මායිම වන්නේ බලංගොඩ සානුව යි. මීටර් 277 කින් යුත් කුඩා ලෝකාන්තය හා මීටර් 884 කින් යුත් මහ ලෝකාන්තය වනෝද්‍යානයේ දකුණු මායිම ලෙස පිහිටා තිබේ.
අද වන විට හෝර්ටන් තැන්නේ පාරිසරික, ජෛව විද්‍යාත්මක, භූ විද්‍යාත්මක, ජල විද්‍යාත්මක හා පුරා පාරිසරික වටිනාකම අන්තර්ජාතික වශයෙන් ද අවධානයට ලක් වී ඇත. එබැවින් 2010 ජූලි 30 වන දින හෝර්ටන් තැන්න හා ශ්‍රිපාද අඩවිය (සමනල අඩවිය) ඇතුළත් සමස්ත මධ්‍ය කඳුකරය ලංකාවේ දෙවන ස්වාභාවික ලෝක උරුම ප්‍රදේශය ලෙස එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ සංවිධානය (UNESCO - United Nations Educational, Scientific and Cultural Organization) මඟින් ප්‍රකාශයට පත් කර තිබේ. මෙම ලෝක උරුම ප්‍රදේශ සමස්ත ලෝකවාසීන් වෙනුවෙන් ආරක්ෂා කිරීමට, ලෝකයේ ස්වාභාවික හා සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමේ සම්මුතිය (Convention concerning the protection of the world cultural and naturel heritage - 1972) ප්‍රංශයේ පැරිස් නුවර දී 1972 නොවැම්බර් 16 වන දින ඇති කර ගැනුනි. ශ්‍රී ලංකාව මෙම සම්මුතිය අපරානුමත කළේ 1980 ජුනි 09 වන දින ය. මෙම ජාත්‍යන්තර සම්මුතීන් ආරක්ෂා කරන බවට එකඟ වූ රටක් ලෙස අප මෙම ලෝක උරුම ප්‍රදේශ ආරක්ෂා කිරීම වෙනුවට මාර්ග සකස් කර හානිකර බලපෑමට ලක් කිරීමෙන් ජාත්‍යන්තර සම්මූතීන් බිඳ දමන රටක් වශයෙන් අනාගතයේ දී ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ කීර්තියට ලක් වීමට මෙම වැරදි තීන්දු තීරණ හේතු වනු ඇත.
හෝර්ටන් තැන්නේ පාරිසරික වැදගත්කම
ඉතා වැදගත් දියබෙත්ම කලාපයක් වන හෝර්ටන් තැන්නෙන් ලංකාවේ දිග ම ගංඟාව වන මහවැලි ගඟ ආරම්භ වේ. මීට අමතර ව කැලණි හා වලවේ ගංඟාවල ජල ද්‍රොණියක් ලෙස ද ක්‍රියා කරයි. තොටපල කන්දේ උතුරු බෑවුමෙන් ගලා යන ජල ධාරා දඹගස්තලාව ඔය ඔස්සේ මහවැලි ගඟට එක් වේ. එහි දකුණු බෑවුමෙන් ගලා බසිනා ජල ධාරා බෙලිහුල්ඔය ඔස්සේ වලවේ ගඟට එක් වේ. බෙලිහුල් ඔයේ ආරම්භක දියදහරාවන් එක් වී තැනෙන බේකර්ස් ඇල්ල හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ ඉතා ම ප්‍රසිද්ධ මීටර 20 ක් පමණ උස දිය ඇල්ලකි. මෙය හෝර්ටන් තැන්නේ අලි-ඇතුන් හා ගෝනුන් දඩයම් කළ ඉංග්‍රිසි ජාතික දඩයක්කරුවකු වන සැමුවෙල් බේකර් නමින් නම් කර ඇත. කිරිගල්පොත්තේ උතුරු බෑවුමෙන් ගලායන ජල ධාරා අග්‍රා ඔය ඔස්සේ මහවැලි ගඟටත්, නිරිත දිග බෑවුමෙන් ගලායන ජල ධාරා බගවන්තලාව ඔය ඔස්සේ කැලණි ගඟටත් ගලා බසී. මේ හේතුවෙන් හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය ඉතා වටිනා ජල පෝෂක ප්‍රදේශයක් බව පැහැදිලි වේ.
කඳුකර තෙත් කලාපයේ පිහිටි හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයට නිරිත දිග මෝසමෙන් වැඩි වර්ෂාපතනයක් ලැබේ. මෙහි මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 2150 ක් පමණ වේ. හෝර්ටන් තැන්නේ පරිසර උෂ්ණත්වය විශාල පරාසයක උච්ඡාවචනය වේ. සමහර කාලවල දී දහවල් කාලයේ පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 27 ක් පමණ වන අතර, ජනවාරි හා පෙබරවාරි මාසවල දී රාත්‍රී කාලයේ පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 2 ක් දක්වා පහත බසී. මේ කාලයට මල් තුහින දැක ගත හැකි ය. මෙහි මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 15 ක් පමණ වේ. වසරේ බොහෝ කාලයක් මේ වනාන්තර මීදුමින් වැසී පවතී. මේ නිසා මේවා වලාකුළු වනාන්තර ලෙස සැලකේ. මෙහි පරිසර ආර්ද්‍රතාව 98% ක් පමණ වේ. පොදුවේ ගත් කල හෝර්ටන් තැන්නේ වියළි කාලගුණයක් පවතින්නේ ජනවාරි සිට මාර්තු දක්වා මාසවල පමණි. ඒ කාලයට දහවල උෂ්ණත්වය ඉහළ යන අතර, රාත්‍රී කාලයට උෂ්ණත්වය ඉතා පහළ බසී. මේ කාලයට වර්ෂාපතනය අඩු ය. පරිසර ආර්ද්‍රතාවය ද අඩු මට්ටමක පවතී. මේ නිසා හෝර්ටන් තැන්නේ වාර්තා වන බොහෝ ජීවී විශේෂ ශීත දේශගුණයට හොඳින් අනුවර්තනය වූ විශේෂ වෙති.
සජීව චාමිකර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd