දශක කිහිපයකට පෙර මුළු ලෝකයම චීනය දෙස බැලුවේ කර්මාන්තශාලාවක්  වන් අඩු මුදලට භාණ්ඩ බෙදාහරින රටක් ලෙසයි. එහෙත් වර්තමානය වනවිට ඒ පැරැණි කතාව සම්පූර්ණයෙන්ම මහා පරිවර්තනයක් වී හමාරය. අද චීනය යනු ලෝකයේ නවෝත්පාදන ප්‍රවණතා අනුකරණය කරන රටක් නොව, සමස්ත ලෝකයටම අනාගතයේ තාක්ෂණික පාර පෙන්වන පෙරගමන්කරුවකු බවට පත් වී හමාරය. වීදි අයිනේ කුඩා පෙට්ටි කඩයේ සිට අහස උසට විහිදුණු මහා පරිමාණ කර්මාන්තශාලාව දක්වා සෑම අඟලකම ලියැවී ඇත්තේ  චීන ක්‍රමයේ  අලුත් හුස්මයි. චීනය ලෝකයටම උගන්වන අමුතුම පාඩමක් තිබේ. මෙම ලිපියෙන් කතා කරන්නේ ඒ පාඩම ගැනයි. ඒ පාඩම යනු වෙන කිසිවක් නොව චීනය අලුතෙන් හිතන්නේ කොහොමද ? යන ලෝකයටම උගත හැකි චීන නවෝත්පාදනයේ පාඩමයි.

විසිඑක්වැනි සියවසේ ලෝක දේශපාලන සහ ආර්ථික රටාවේ කාගේත් නෙත ගැටෙන දැවැන්තම පෙරැළිය වන්නේ චීන ජනරජයේ අසිරිමත් නැගී සිටීමයි. මීට දශක කිහිපයකට පෙර සරල කෘෂිකාර්මික හා දරිද්‍රතාවයෙන් පීඩා විඳි රාජ්‍යයක්ව පැවති චීනය වර්තමානය වනවිට නවීන තාක්ෂණයේ ප්‍රමුඛතම මහා බලවතා බවට පත්ව සිටින්නේ ලොව දෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියමිනි. අතීතයේ ප්‍රෞඪත්වයත් , හරිත සුවඳත් රකිමින් නවීන තාක්ෂණයේ ලෝක බලවතා වූ චීන විප්ලවය දෑසින්ම දැකගැනීමට මට පසුගියදා භාග්‍යය උදාවිය.  

එම දුලබ , අමිල අවස්ථාව මට උදාවූවේ මගේ වෘත්තීය අවස්ථාවකිනි. ඒ චීන රජයෙන් ලැබුණු තෑග්ගකි. චීන රජයේ පූර්ණ ප්‍රතිපාදන මත යුනාන් ආර්ථික සහ තාක්ෂණික  හුවමාරු ජාත්‍යන්තර මධ්‍යස්ථානය සංවිධානය කළ වෘත්තීය මාධ්‍ය විශේෂ පුහුණු වැඩමුළුවක් සඳහා සති 2 කට වැඩි කාලයක් චීනයේ යුනාන් සහ ගුවැන්ඩොන් යන ප්‍රාන්ත දෙකේ සංචාරය කිරීමට මට අවස්ථාව හිමිවිය. චීනයේ මාධ්‍ය සාම්ප්‍රදාය එලෙසින්ම රැකගනිමින් කෘත්‍රිම බුද්ධිය (AI) ඇතුළු නවීන තාක්ෂණය උපරිමයෙන් භාවිත කර නවෝත්පාදන සිදුකරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මාධ්‍ය කණ්ඩායමකට චීන රජයෙන් මෙම විශේෂ පුහුණුව ලබාදුන්නේය. මෙම සංචාරය පුරා මගේ සිත් බැඳගත් සුවිශේෂීම කාරණයක් වූවේ චීනයේ සෑම බිම් අඟලකම ප්‍රතිනිර්මාණය වන ඔවුන්ගේ නවෝත්පාදන හැකියාවයි. වෙනත් රටවල් නවීකරණය යනු බටහිරකරණය වනාහි අන්ධ ලෙස අනුකරණය කළද  චීනය ලෝකයටම කෙළින් සිටගෙන පෙන්වා දෙන්නේ තමන්ගේම සංස්කෘතික මුල් ශක්තිමත්ව තබා ගනිමින් නව මානයකින් නවීන ලෝකය ජයගත හැකි ආකාරයයි. චීනය යනු දවසින් දවස අලුත්වන රටක් වගේම දවසින් දවස අලුතෙන් ඉගෙනගන්නා රටකි. අතීතයේදී චීනය ප්‍රසිද්ධ වූයේ වෙනත් රටවල තාක්ෂණය අඩු වියදමකින් ප්‍රතිනිර්මාණය කිරීමටය. එහෙත් දැනට වසර ගණනාවක සිට ඔවුන් තමන්ගේම අනන්‍ය තාක්ෂණය සහ ව්‍යාපාරික ආකෘති ලෝකයට හඳුන්වා දීමට සමත් වී සිටී. චීනයෙන් උගත හැකි පාඩම් බොහෝය.

 

මුදල් පසුම්බි අමතක වූ කිව් ආර් විප්ලවය

චීනයට පය තැබූ අප කණ්ඩායම මුලින්ම ළඟාවූවේ චීනයේ යුනාන් ප්‍රාන්තයේ සදාකාලික වසන්තයේ නගරය වන කුන්මින් නගරයටය. අතීතයේ දකුණු සේද මාවතේ ප්‍රධාන නවාතැන වූ කුන්මින් නගරය ආසියාවේ විශාලතම මල් අපනයන මධ්‍යස්ථානය බවට පත් වී ඇත්තේය. යූනාන් ප්‍රාන්තයේ ප්‍රධාන වෙළෙඳ නගර කේන්ද්‍රස්ථානය වන්නේ කුන්මින් නුවරයි. එළවළු පළතුරු පිරුණු වීදි දිගේ ඇවිද යන මට චීනයේ වීදි අයිනේ පදික වේදිකාවේ එළවළු විකුණන වෙළෙන්දාගේ සිට මහා පරිමාණ වෙළෙඳසල් දක්වා සෑම තැනකම භාවිත වන්නේ කිව් ආර් කේත මගින් තාක්ෂණික ගෙවීම් ක්‍රමයයි.  ඒ සඳහා තමන්ටම අයිති වී චැට් සහ අලි පේ යන යෙදවුම් මගින් ඉතා පහසුවෙන් ඔවුන් මුදල් ගෙවීම් කරන්නේ මුදල් නෝට්ටු භාවිතය සම්පූර්ණයෙන් ඈත් කරමිනි. මුදල් පසුම්බියක් නොදැක්ක ගාණය. එරට පාරේ සිංදු කියන ගායකයාටත් කිව් ආර් කේතයක් ඇත්තේය.

 

ගෙදරටම එන ස්මාර්ට් රොබෝ ටැක්සි

නගරයේ එහා මෙහා යන වාහන අතර එක තැන නැවතී තිබෙන රියැදුරන් නැති රොබෝ වාහන දුටුවෙමි. රොබෝ ටැක්සි රථ සේවා ක්‍රියාත්මක වන නගරයේ තමන් වාහනයක් ඉල්ලුම් කළ විට තමන් ළඟට පැමිණෙන රොබෝ වාහනය තමන් ගමනාන්තය කරා රැගෙන ගොස් බස්සවයි.   

චීනයේ, විශේෂයෙන්ම තාක්ෂණික නගරවල දකින්න ලැබෙන ප්‍රායෝගික සහ ජනප්‍රිය නවෝත්පාදනයක් වන්නේ නගර පුරා බොහෝ පොදු ස්ථානවල මෙන්ම සෑම ආයතනයකම පාහේ කිව් ආර් කේතය මගින් දුරකතන බැටරි ආරෝපණ පහසුකම ලබා ගත හැකි ආකාරයට යන්ත්‍ර සහ කුටි සවි කර ඇත්තේය. කුටියක ඇති කිව් ආර් කේතය ස්කෑන් කළ සැණින් බලශක්ති බැංකුවක් (power bank) පිටතට පැමිණේ. දුරකථනය චාර්ජ් කර අවසන් වූ පසු, එය ලබාගත් ස්ථානයටම බාර දිය යුතු නැත. තමන් යන ගමනාන්තයේ ඇති වෙනත් ඕනෑම එවැනිම කුටියකට එය ඇතුළත් කර ගෙවීම් පියවිය හැකිය. මාර්ගයේ ඇති විදුලි පාපැදි සහ යතුරුපැදිවලටත් ඇත්තේ ඒ ක්‍රමයමය. මෙම සරල එහෙත් දැවැන්ත නවෝත්පාදනය මඟින් ජනතාවගේ එදිනෙදා ජීවිතය බෙහෙවින්ම පහසු කර තිබෙනවා.

 

වැඩ කරන්න හිතෙන පරිසරයක්

චීනයේ ආයතන සංවර්ධනය මෙන්ම සේවකයන්ගේ සුබසාධනය සම්බන්ධයෙන් ද වැඩියෙන් සිතන අතර සෑම ආයතනයකම සේවක සුබසාධනය සහ සේවකයන් ආයතනයේ රඳවා තබාගැනීමේ අරමුණින් හිතකාමී විශේෂ උපක්‍රම භාවිත කර ඇති බව නිරීක්ෂණය විය. සෑම ආයතනයකම යෝගා කාමරයක් , හදිසි අවශ්‍යතා මත ආයතනය පැමිණෙන යම් සේවකයන්ගේ දරුවන් සඳහා වෙනම පහසුකම් සැලසූ කාමර , කාය වර්ධන මධ්‍යස්ථානයක් , මානසික ඒකාග්‍රතාව රඳවා ගැනීම සඳහා වෙන් වූ සංගීත වාදන සහිත විශේෂ කුටි දක්නට ඇත්තේය. එසේම ඊ වවුචර් කාඩ්පත්වල කිව් ආර් කේත මගින් නොමිලයේ ආහාර පාන ලබාගැනීම සඳහා වෙනම පහසුකම් සලසා ඇත්තේය. ආයතනවල සියලු දෙපාර්තමේන්තු පුරාම ඇත්තේ පරිසර හිතකාමී ගස්කොළංවලින් පිරි පරිසරයකි.  මම චීනයේ ගුවැන්ඩොන් ප්‍රාන්තයේ ෂෙන්සෙන් නගරයේ සතියක කාලයක් නැවතී සිටි අතර එහිදී ප්‍රධානතම පුවත්පත් ආයතනයක් වන ෂෙන්සෙන් ඩේලි මීඩියා ගෘප් ආයතනය නැරඹීමට මට අවස්ථාව උදාවිය. ආයතනය පුරා සෑම රාජකාරි මේසයකම ඇත්තේ එම ආයතනයේ නම ගැසූ වතුර බෝතල්ය. මාධ්‍ය ආයතනයක් තමන්ගේම සේවකයන් සහ ආයතනික පරිභෝජනය  සඳහා මෙලෙස සන්නාමකරණය කළ  වතුර බෝතල් නිෂ්පාදනය කිරීම ඉතා රසවත් ප්‍රවේශයකි. මෙහිදී ආයතනික අනන්‍යතාව රැකගැනීම සහ පිරිවැය කළමනාකරණය යන සීමාවලට එහා යමින් උසස් ප්‍රමිතියෙන් යුත් පානීය ජලය ආයතනය ඇතුළදීම කළමනාකරණය කරගැනීමෙන් තම සේවකයන්ගේ සෞඛ්‍යය ආරක්ෂාව සහ සුබසාධනය මෙන්ම ආයතනයට පැමිණෙන අමුත්තන් පිළිබඳවත් ආයතනය දක්වන සැලකිල්ල සහ දෘෂ්ටිය මනාව පෙන්නුම් කරයි.  

මා චීනයෙන් දුටු විශේෂම කරුණ වන්නේ නවෝත්පාදන කළ යුතු වන්නේ මොනවාද ? නොකළ යුත්තේ මොනවාද යන්න සම්බන්ධයෙන් ඔවුන් පර්යේෂණාත්මකව සිදු කරන සැබෑ හැදෑරීම්වල සාර්ථකත්වයයි. මාධ්‍ය ආයතනයක් වතුර නිෂ්පාදනය කිරීමට උත්සාහ දැරීමෙන්ම පෙනෙන්නේ එයයි.

චීනයේ කුන්මින් සහ ෂෙන්සෙන් බොහෝ මංසන්ධිවල නවීන තාක්ෂණ බහුකාර්ය පදික ගුවන් පාලම් ඉදිකර ඇති අතර එම ගුවන් පාලම්වලින් මාර්ගය හරහා මාරුවීමට පදිකයන්ට වෙනම මාර්ගයකුත් , යතුරුපැදි සහ පාපැදි සඳහා වෙනම මාර්ගයක් වශයෙන් කොටස් වෙන් කර ඇත්තේය. ප්‍රධාන මාර්ගය හරහා මාරු වන්නේ වාහන පමණි. ගුවන් පාලම මත පදිකයන්ට යාමට වෙනම මාවතක්ද, පාපැදි සහ චීනයේ ඉතා ජනප්‍රිය විදුලි යතුරුපැදි  සඳහා බෑවුම් සහිත වෙනම මාවතක්ද තිබේ. එමගින් පදිකයන් සහ පාපැදිකරුවන් එකිනෙක ගැටීම වළක්වයි. එසේම මෙම ගුවන් පාලම් බොහොමයක විදුලි සෝපාන, ස්වයංක්‍රීය පඩිපෙළ සහ බෑවුම් මාර්ග පවතින බැවින්, ආබාධිත සහ ළාබාල වැඩිහිටි ඕනෑම කෙනකුට  මෙන්ම බයිසිකලය තල්ලු කරගෙන යන අයටද ඉතා පහසුවෙන් භාවිත කළ හැකි මට්ටමට සකස් කර තිබීම විශේෂත්වයකි. යුනාන් විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ දේශන නොමැති නිදහස් කාලසීමාවක මම මගේ මිතුරකු සමග අප කුන්මින් නැවතී සිටි හෝටලයේ සිට නගරයෙන් දුර බැහැර ස්ථාන කිහිපයකට ටැක්සිවල ගමන් කළ අතර එහිදී මා නෙත ගැටුණේ මා කිසිදා නොදැකපු අපූරු දෙයකි. නගරයේ රථවාහන පාලන වර්ණ සංඥාවල දිස්වන කාලරාමුව (Traffic Light Countdown) එම ටැක්සි සේවාවල වාහනය ඇතුළේ මාර්ග සිතියමේ පෙන්වයි. මේ සම්බන්ධයෙන් මම විශේෂයෙන් සොයා බැලුවෙමි. චීනයේ ටැක්සි රථ භාවිත කරන මාර්ග සිතියම් තාක්ෂණික පද්ධතිවලට (Gps) අදාළ නගර සභාවේ රථවාහන පාලන සජීවී දත්ත ලැබෙන ආකාරයට සම්බන්ධ කර ඇත. ටැක්සි රථවල ඇති මාර්ග සිතියම් තිරය නගරයේ රථවාහන සංඥා පුවරුවල කාලරාමුව සමඟ සජීවීව සම්බන්ධ කර ඇත. වාහනය සංඥා පුවරුව අසලට ළඟා වීමටත් පෙර, තව තත්පර කීපයකින් කොළ එළිය වැටෙනවාද නැතහොත් රතු එළිය වැටෙනවාද යන්න වාහනයේ තිරයේ තත්පර ගණනින් පෙන්වයි. එමගින් හදිසි තිරිංග යෙදීම් හෝ අනවශ්‍ය ලෙස ඉන්ධන නාස්ති කරමින් වාහනය පණගන්වා තැබීම් සිදු නොවන අතර, නගරයක රථවාහන තදබදය පාලනය කිරීමට චීනය උසස්ම තාක්ෂණය සහ 5G ජාල භාවිත කරන ආකාරය දැකීම අතිශය විස්මයජනක අත්දැකීමක් විය. එය දියුණු රටක  රථවාහන නගර සැලසුම් සංවර්ධනයේ ඉහළම ප්‍රගති මට්ටමක් ලෙස මම දකිමි. 

පලසක් වන් දිලෙන චීනයේ මාර්ග සහ අධිවේගී මාර්ග සංවර්ධනය සුවිශේෂීය. චීනයේ නගර සංවර්ධනයේදීත් , ආයතන කළමනාකරණයේදීත් රටේ සංවර්ධනයට දියුණුවට සමගාමීව පරිසරයට ආදරය කරමින් පරිසරය සොබාදහම පණ මෙන් රකිනවා දැකීම ඉතාම ආකර්ශනීයය. ආයතනවල මෙන්ම මගතොටේ සහ සාප්පු සංකීර්ණවල පවා ඇත්තේ නවෝත්පාදනය. අධිවේගී මාර්ග ඉදිකිරීමේදීත් එකී ප්‍රදේශවල පරිසරය ගස්වැල් තම  ජීවිතය මෙන් ආරක්ෂා කර තිබෙනු දුටුවෙමි.

චීනයේ නවෝත්පාදන හැකියාව සම්බන්ධයෙන් මේ මා දුටු  අවස්ථා අතරින් කිහිපයක් පමණි. මෙවැනි නවෝත්පාදන උපක්‍රම බොහෝමයක් ඔවුහු සතු වෙති.

තාක්ෂණය යනු හුදෙක් සුඛෝපභෝගී මෙවලමක් නොව, මිනිසාගේ එදිනෙදා ජීවිතය පහසු කරන සහ පරිසරය සුරකින ප්‍රායෝගික මෙවලමක් බවට පත් කරගත් චීන නවෝත්පාදනයේ පාඩම, සංවර්ධනය වෙමින් පවතින ශ්‍රී ලංකාව වැනි රටවලටද මහගු මඟපෙන්වීමකි.

 

සසංක චලන ගිම්හාන චීන මාධ්‍ය පුහුණු සංචාරයකින් පසු