“සුනිල් ආරියරත්නයන් කියලා තියෙනවා අපේ රටේ සංගීතයෙන් ශ්‍රේණිගත කරන්න බැරි ගායක ගායිකාවන් හත් දෙනෙක් ඉන්නවා,  ඒ w.d අමරදේව,රුක්මණී දේවී, ලතා වල්පොල,මොහිඳින් බෙග් වගේ අය අතුරින් නන්දා මාලනියත් එක් අයෙක් කියලා.”මටත් මේ කාරණය හොඳින් පසක් වුනේ පසු කාලෙක”. දැනට අනූඑක් වන වියේ පසුවන මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් සිය අතීත ගුවන්විදුලි සංගීතයේ ආරම්භයේ ඇසුණු ඇගේ මිහිරි හඬේ මතක පොත වසර ගණනාවක් ආපසු පෙරලන්නට ආරම්භ කළේ වියපත් වූත් බොහෝම දුක්බර හඬකිනි.

 

“ඒ කාලෙ ඒ කියන්නෙ එක්දාස් නවසිය පනස් නමයේදී විතර ගුවන් විදුලි සංගීත අංශයේ මම වැඩ කරන කාලේ භාව ගීත වැඩසටහනක් කළා.  ඒකෙ ගීත ලිව්වේ මම, ඒක නිෂ්පාදනය කළේ ගුණපාල පෙරේරා කියල කෙනෙක්. මේකෙ සුපර් වයිසර් විදිහට වැඩ කලේ ඩන්ස්ටන් ද සිල්වා. ඒ ගීත වලට මට අයිතිය තිබුණත් ඒ  එක ගීතයක්වත් තැටි වලට හෝ පටිවලට ගියේ නැහැ. කොහොම හරි ඉතින් ළමා මණ්ඩපයේ  සංගීත මංජරී  වැඩසටහනේ ගීත ගායනයේදි ,ඔන්න දිනක් හරිම මිහිරි හඬක් ඇහුනා. මිහිරි කිව්වට ඉතින් මිහිරි විතරක් නෙමෙයි බොහෝම  තාල දාලා කියන විශිෂ්ට ගණයේ හඬක්.කට්ටියම අහන්න ගත්තා මට මතකයි කාගේද ඒ හඬ කියලා.

“නන්දා මාලනී” කියලා කෙනෙක්ගෙලු.

 

ළමා මණ්ඩපයට අලුතින් ආපු කෙනෙක්ලු.එතන හිටියා මගේ මතකයෙ හැටියට ඩන්ස්ටන් සිල්වා, අමරදේවයන්, අශෝක කොළඹගේ ඩී එම් කොළඹගේ,මඩවල එස් රත්නායක වගේ අය. . එයාව තවත් ගීත නාටකවලට ගන්න කිව්වා. ඊට පස්සේ Mr.ගුරුගේ ශ්‍රී චන්ද්‍රරත්න මානව සිංහයන්ගේ ගීත නාටක කිහිපයකටම නන්දා මාලිනීගේ කටහඬ එකතුකරගත්තා.  අමරදේව තමයි නන්දා මාලනියව සංගීතයට ඇදලා දැම්මෙ.මේ විදිහට ගීත නාටක රැසක් ගායනා කරපු ගායිකාවක් ඇය. ඇය ළමා මණ්ඩපයට එන විට හරිම තරුණ  ගැහැණු දරුවෙක්.ලලිත කලා ආයතනයෙන්, (හේවුඩ්)  සංගීතය හදාරලා ගීත මංජරී වැඩසටහනට ගුවන් විදුලියට කොහොම හරි ඉතින් මානවසිංහයන්ගේ ගීත නාටක වලට කෙළවරක් නැතුව ගීත ගයපු කෙනෙක් තමයි නන්දා. මට මතකයි එයාගේ පළවෙනි ගීතය “ බුදු සාදු. …බුදු සා… දු ,මම සමන්වැලාක් වෙන්නම්”බොහොම ලස්සනට තාල් ඇතුව ගයපු ගීතයක්. මේ ගීතය ලිව්වේ අශෝක කොළඹගේ. ඔගස්ටන් සිල්වා කිව්වා ඇය මේ ගීතය බොහොම ලස්සනට ඇදලා තාල් ඇතුව ගයනවා කියලා. මතක් කරලා බලන්න ඇය මේ ගීතයේ කොච්චර ලස්සනට තාල අනුව ගයනවද කියලා.

 

දයාබරව සිහිගන්වන අතීත මතක අතරේ ඔහු නන්දා මාලනියගේ හඬට ගයමින් සුසුම් හෙළුවා. 

 

තේවිස් ගුරුගේ මහත්මයා යටතේ මානවසිංහයන්ගේ ගීත නාටක හුගක් තිබුණා. ඒ හැම එකකටම වගේ නන්දා ගැයූව. නන්දා කියන්නේ භාත්කණ්ඩයේ විශ්වවිද්‍යාලයෙන්. සංගීත විශාරද උපාධිය හැදෑරූ කෙනෙක්.අයන්න කියන්න ලොවටම ඇහෙන්න කියමින් සිංහ දරුවන්ට හෝඩිය උගන්වපු කෙනෙක්. එයාගේ ගීත එකතු කරලා “නන්දා මාලනීගේ ගීත” කියලා පුංචි පොතක් ලියලා තියෙනවා මට මතකයි. හැබැයි ඒවා දැන් හොයාගන්න තියෙනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. කුඩා දරුවන්ට “අකුරු මිහිර” කියලා සුනිල් ආරියරත්නයන් ගොඩාක් පර්යේෂණ කරලා පොතක් ලිව්වා ඒ පොතේ තියෙන සියලූම ස්වර ප්‍රස්ථාර සකස් කලේ නන්දා. පුංචි දරුවන්ට කතා කියලා දෙන්නත් නන්ද හරිම දක්ෂයි කවුරුවත් නොදන්නවා උනාට නන්දා මාලනී කියන්නේ හොඳ කතිකාවක්. දේශන පවත්වන විට කතා කරමින් ගීත ගයන්නත් ඇය හරිම දක්ෂයි. මම මේ කියන්නේ නන්දා ගැන මගේ හිතේ තදටම මතක හිටපු දේවල්. කොහොම හරි ඉතින් ළමා මණ්ඩපයෙන් ආපු නන්දා ඇයගේ හඬ හින්දම බොහොම දක්ෂ විදිහට තමන්ගෙම ගමනක් ගියා. බාත්කණ්ඩයේ විශ්ව විද්‍යාලයෙන් උපාධිය හදාරල ආපු නන්දා   කිසිම බයක් සැකක් නැතිව දේශපාලන මතිමතාන්තරවලට බිය නොවී තම මතය අනුව රට ජාතිය වෙනුවෙනුත් ගීත ගායනා කරපු කාන්තාවක්. සුනිල් ආරියරත්නයන්ගේ පදවලට ගීතවත් වූ යාත්‍රා සහ පවන කියන සංගීත ප්‍රසංග ඒ කාලේ හුඟක් ජනප්‍රිය වුණා.

 

දක්ෂ ගායිකාවක් ලෙස කුඩා කල පටන් ඈ ආ ගමන් මග සිහිපත් කළ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් ඇය තම පවුලේ හිතවතියක්ව සිය මතක පොතට එක් කළ සුහදකම් ආවර්ජනය කළේය.

 

නන්දා ස්වාධීන ගායිකාවක් වෙලා මට මතකයි අපේ ගෙවල් කිට්ටුවට පදිංචියට ආවා. ඒ පැත්තෙ හිටපු මගේ නංගිගේ එහෙම හොඳ හිතවතියක් උනා. ඒ ගෙදරින් තවත් ගෙදරකට නන්දා පදිංචියට ගියා. ඒත් මේ කිට්ටුවම තමයි. නන්දාගේ පරණ ගෙදර කලාගාරයක් වුණා. ගීත නිර්මාණය පැත්තට මම වඩාත් යොමු නොවුණත් නන්දටත් මං ගීත දහයකට නොඅඩු ගණනක් ලියල දීලා තියෙනවා මගේ මතකයේ හැටියට. මගේ බිරිඳගෙත් හොඳ හිතවතියක් ඇය.”

“නන්දා කියන්නේ හරිම හොඳ ගැහැනියක් ඒ වගේම ඉතාම හොඳ මවක්. හරිම නිහතමානී දක්ෂ කාන්තාවක්. ඇය ගැන කියන්න වචන නැහැ.”  සුනන්ද මහේන්ද්‍රයන්ගේ බිරිඳ  සීතා මහේන්ද්‍ර ඇය ගැන සිහිපත් කළාය.

 

“පුංචි නන්දගෙ හඬ ඇහිලා ඒ කාලෙ සුනිල් ශාන්තයන් මේ  හඬ මට හමුවුණා නම් මගේ ගීත හැම එකක්ම ඇයට මම දෙනවා කියලා කිව්වා මට මතකයි”. සුනන්ද මහේන්ද්‍රයන් නැවතත් සිහිපත් කළා.

“රෝහණ බැද්දගේ කිව්වේ ඇය කටහඬේ රැජිණක් කියලයි.  අමරදේවයන් කිව්වේ ඇයට දිව්‍යමය හඬක් තියෙනවා කියලයි. කොහොම හරි ඉතින් ගීත ගායන ලොවේ ගායක ගායිකාවන්ට දෙන ශ්‍රේණිගත කිරීම් වලදී ශ්‍රේණිගත කරන්න බැරි තරම් ලයාන්විත උසස් හඬක් ඇයට ඇති බව කිව්වේ මෙන්න මෙහෙමයි. නන්දා මාලනීට දුන්නු ලකුණු වලට අමරදේව කිව්වේ ඩිවයින්((Divine) මාක්ස්  කියලා.ඇයට ප්‍රථම පංතිය දෙවන පංතිය කියලා බෙදන්න බැහැැ කිව්වා.  ඊටත් වඩා උසස් හඬක් ඇයට තියෙන නිසා.  දිව්‍යමය හඬක් ඇති ඇයට දිව්‍යමය ලකුණු දුන්නා කියලා කිව්වා.” සුනන්ද මහේන්ද්‍රයන් උද්ධාමයෙන් කියා සිටියා.

 

දිව්‍යමය හඬකින් ලොව නලවා..සංසාර සාගරයේ ජීවිතයේ යාත්‍රාව නිවනින්ම සැනසේවා!!!

 

D.N.අභයවර්ධන.