
කලකට ඉහත මෙරට වාර්තා වූයේ ලංකාවේ බල්ලන්ගේ ජනගහනය කොල්ලන්ගේ ජනගහනය ඉක්මවා ගොස් ඇති බවය. පසුගිය සතියේ බල්ලන් ගැන දැඩි සමාජ කතිකාවතක් ඇති වූයේ උන් පිළිබඳ චක්‍රලේඛයක් නිකුත් වීමත් සමඟමය. අන්තිමට සිදුවූයේ ගැසට් එකද බල්ලටම යෑමය. ඒ කියන්නේ බල්ලන් ගැන නිර්දේශ ඇතුළත් ගැසට් නිවේදනයක්ද නිකුත් වීමෙනි.
තහවුරු වූ වාර්තා අනුව ජල භීතිකා රෝගය මෙරටින් තුරන් කිරීමේ අරමුණින් සුනඛයන් ලියාපදිංචි කිරීම අනිවාර්ය කර ඇත. සුනඛයන් ලියාපදිංචි නොකරන අයට එරෙහිව ලියාපදිංචි ගාස්තුව සමඟ රුපියල් 2000ක දඩයක් නියම කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර හමාරය. එමෙන්ම මීට අදාළ ගැසට් නිවේදනයද නිකුත් කර තිබේ.
එම නව චක්‍රලේඛයට අනුව මෙරට සිටින සෑම සුනඛයකුම වාර්ෂිකව ජල භීතිකා රෝගයට එන්නත් කළ යුතු බවටත් ලියාපදිංචි කළ යුතු බවටත් පළාත් පාලන ආයතන වෙත නියෝග නිකුත් කර ඇත. වයස සති හයකට වැඩි සුනඛයන්ට ජල භීතිකා එන්නත ලබා දිය යුතුය. සුනඛයන් ලියාපදිංචි නොකර සිටින්නන්ට ලියාපදිංචි ගාස්තුවට අමතරව රුපියල් 2000ක දඩ මුදලක් ගෙවීමට සිදුවේ. මින් ඉදිරියට පළාත් පාලන ආයතන බල ප්‍රදේශවල සිටින අයාලයේ යන සුනඛයන් වන්ද්‍යාකරණය කිරීමට ඒ ආයතන පියවර ගත යුතුය. එමෙන්ම අමතරව සුනඛ අභිජනන මධ්‍යස්ථාන පවත්වාගෙන යන පුද්ගලයන් අනිවාර්යයෙන්ම බලපත්‍රයක් ගත යුතු අතර බලපත්‍රයක් නොමැතිව සුනඛ පැටවුන් විකිණීමට අවසර හිමි නොවේ.
මේ කවරාකාරයෙන් පැවසුවත් මිනිසාට වඩාත්ම සමීප හිතවතා, සුරතලා, ආරක්ෂකයා සහ ලෙන්ගතුම මිත්‍රයා සුනඛයා යැයි යමෙක් කිවහොත් එය කිසිවිටෙකත් අතිශයෝක්තියක් නොවේ. මන්ද යත් සුරතලා තරම් මිනිසා සමඟ සම්බන්ධතා පවත්වන අන් කිසිදු සිවුපාවකු නොවන නිසාය.
වත්මන් ශ්‍රී ලංකාවේ සුනඛයාට හිමි තැන වටහා ගැනීම නැතහොත් එකී සත්වයා කෙරෙහි ඇති සමාජ ආකල්පය හඳුනා ගැනීම සැබැවින්ම දුෂ්කරය. විජය කුමාරයා ඇතුළු ආර්යයන් සිරිලකට ගොඩබට මොහොතේ ලංකාව මිනිස් ජනාවාසයක් බව හඳුනාගත්තේ සුනඛයකු දුටු නිසා බවද, ඔවුන් බියෙන් සැකෙන් තොරව රට තුළට පියමැන්නේ එකී සත්වයා පිටුපසින් බවද ඉතිහාසයේ සඳහන් වේ. එයින් අපට ඒත්තු ගන්වන්නේ අතීතයේ සිටම ගෘහස්ථ සත්වයකු වශයෙන් සුනඛයා මිනිසා සමඟ එක්ව ජීවත් වූ බවයි.
ලාංකිකයන් සුනඛයා සුරතලකු ලෙස පමණක් නොව ආරක්ෂකයකු ලෙසද යොදාගන්නා බව සත්‍යයකි.ිබල්ලන්ගෙන් ප්‍රවේසම් වනු’ යනුවෙන් ඇතැම් නිවෙස් ඉදිරිපිට එල්ලා ඇති දැන්වීම් පුවරු දකින විට එකී සත්වයා කෙරෙහි අපේ සිත තුළ ආදරයක් වෙනුවට බියක් ඉපදීම සිදුවේ.ිබල්ලන් සමඟ ලැග්ගොත් මැක්කන් සමඟ නැගිටින්නට වෙයි’ යනුවෙන් ප්‍රචලිත ආප්තෝපදේශය එකී සත්වයා දෙස පිළිකුලෙන් බලන්නට, උගේ ඇසුරෙන් ඈත්ව සිටින්නට අප තුළ පෙළඹවීමක් ඇති කරයි. සමාජගත කියමන් අතරින් සුනඛයන්ට බල්ලන්ට මෙන් සලකන මිනිසුන් සිටින නිසාම තමන්ට නුරුස්සන ක්‍රියාවකදීිබලු වැඩ කරන්න එපා’ යැයි කියන අවස්ථාද, පහත් හැඟීම් සහ අසම්මත චර්යාවල යෙදෙන්නවුන්ට බලු නාමය පටබඳින නිසාද,ිකොල්ලොත් බල්ලෝ වගේ දකින දකින පඳුරට මුත්‍රා කරනවා’ යැයි කියන ඇතැම් වැඩිහිටියන්ගේ කතා අසන කලද බල්ලන්ට ශ්‍රී ලාංකික සමාජය තුළ වැදගත් පිළිගැනීමක් පවතීද යන්න වටහා ගැනීම වඩාත් තහවුරු වන්නේ බල්ලන් ගැන පසුගියදා නිකුත් වූ චක්‍රලේඛය හා ගැසට්ටුව නිරීක්ෂණය කිරීමෙන් පසුවය.
නවතම නීති ප්‍රතිපාදන අනුව පොදු ස්ථානයක සුනඛයකු අතහැර ගියහොත් මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ පවත්වනු ලබන නඩු විභාගයකින් පසුව රුපියල් දස දහසකට නොවැඩි දඩයකට හෝ මාස තුනකට නොවැඩි කාලසීමාවක් සඳහා බන්ධනාගාරගත කිරීමකට හෝ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම යටත් කළ හැකි පරිදි ජල භීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතට ඇතුළත්ය. මාර්ග අනතුරුවලින් සියයට තිහක්ම සිදු වන්නේ සුනඛයන් නිසාය. මෙරට සුනඛ ගහනය ලක්ෂ විසි එකක් පමණ වන බවද ගණන් බලා ඇත.
මෙරට තුළ වසරකට පුද්ගලයන් 25,000ක් පමණ සුනඛයන්ගේ සපාකෑම්වලට ලක්වන බවත්, උන් සපාකෑම නිසා ජල භීතිකා එන්නත් ලබාදීම වෙනුවෙන් වසරකට රුපියල් බිලියනයක පමණ විශාල මුදලක් වැයවන බවත් තහවුරු වී ඇත.
එහෙත් බලු එන්නත්කරණය තුළ වංචා පිරී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය උපුල් රංජිත් කුමාර වරක් හෙළිදරව් කළේ මෙසේය:
”සුනඛයන් එන්නත්කරණය හරහා විශාල වශයෙන් වංචා සිදුවෙනවා. එන්නත්කරණය සිදුකරන පුද්ගලයන්ට ලැබෙන මූල්‍යමය වාසිය හේතුවෙන් ඒ වැඩපිළිවෙළ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ලබා දෙන්න ඒ අය කැමති නැහැ. මේ සම්බන්ධයෙන් තවත් පැහැදිලි කරනවා නම්, සුනඛයන් එන්නත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ එන්නත් කණ්ඩායම් ඉන්නවා. මේ අය සුනඛයකුට එන්නත් ලබාදෙන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුගේ අධීක්ෂණය යටතෙයි. මෙහිදී සුනඛයාට ජල භීතිකා එන්නත ලබාදෙන අතරම වෙනත් රෝග සඳහාත් එන්නත් ලබාදෙනවා. මෙලෙස වෙනත් රෝග සඳහා එන්නත් ලබාදීමේදී නිවැසියන්ගෙන් කිසියම් මුදලක් ලබාගන්නවා. මොවුන් මෙම එන්නත් ලබාගන්නේ ෆාමසියකින්, එහෙමත් නැත්නම් ඖෂධ නියෝජිතයකුගෙන් හෝ සත්ව සායනයකින්.”
එමෙන්ම වෛද්‍ය උපුල් ඒ ගැන වැඩිදුරටත් පැහැදිලි කළේ මෙසේය:
”අපි දිගින් දිගටම කළ ඉල්ලීමකට අනුව 2017 වසර මැද භාගයේදී අපේ දෙපාර්තමේන්තුවට මේ වැඩසටහන පැවරුණා. අපි මාස හතක් තුළ සුනඛ එන්නත්කරණ මිලියන 1.2ක් සහ වන්ද්‍යාකරණ සැත්කම් 70,000ක් කළා. ඒ එක්කම 2,500ක් පමණ ප්‍රජා දැනුවත් කිරීම් කළා. මේ ප්‍රජා දැනුවත් කිරීම් මගින් විශාල වශයෙන් ජල භීතිකා රෝගය පාලනය කරගැනීමට හැකියාව ලැබෙනවා. නමුත් අපිට මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න අවස්ථාව ලැබුණේ මාස හතක් වැනි කාලයක් පමණයි. එවකට සිටි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා කැබිනට් පත්‍රිකාවකින් නැවත මේ වැඩපිළිවෙළ සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරා ගත්තා.”
සුනඛයන්ට වඳ සැත්කම් කිරීමට නව චක්‍රලේඛයේ ඇතුළත්ව ඇත. එහෙත් ඒ ගැන කළ සමීක්ෂණයකින් තහවුරු වූ කරුණු අනාවරණය වී තිබුණේ මෙසේය:
සුනඛයන් වන්ද්‍යාකරණයට ලක්කිරීම හේතුවෙන් සපාකෑම් ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර ඇත. ශරීරයේ හෝ මොළයේ සිදුවන ස්වභාවික ක්‍රියාකාරීත්වය ඇණහිටීම හේතුවෙන් සතුන්ගේ චර්යාවන් දැඩි වී සපාකෑමට පටන්ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පශු වෛද්‍ය අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය පී. එල්. ඒ. හරිශ්චන්ද්‍ර මහතා වරක් සඳහන් කර තිබුණි.
දිනකට සුනඛයන් සපාකෑම හේතුවෙන් පුද්ගලයන් 2,000ක් පමණ රෝහල් වෙත පැමිණෙන බවද හෙතෙම පවසා ඇත. සුනඛයන් සපාකෑමෙන් ජල භීතිකා රෝගය වැළඳී පසුගිය වසරේදී පුද්ගලයන් 31 දෙනෙකු මියගොස් ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ දත්ත තහවුරු කර ඇත. එම වසරේදී වෛද්‍ය පර්යේෂණ ආයතනයට ජල භීතිකාව වැළඳී තිබූ සුනඛ හිස් 548ක්, බලලුන් 53ක් හා ගවයන් 13ක් හඳුනා ගැනීමට හැකි වී තිබුණි.
එහෙත් පසුගිය කාලය තුළ මානව ජල භීතිකාව නතර කිරීමට අදාළව ඉලක්ක පැවතියද, සත්ව ජල භීතිකාව තුරන් කිරීමට අදාළව නිසි වැඩපිළිවෙළක් නොතිබූ බවද තහවුරු වී ඇත. ජල භීතිකා රෝගය තුරන් කිරීමට අදාළව මේ වන විට කෙටුම්පත් කර තිබෙන ජල භීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිතව ඇති අතර, එමගින් ජල භීතිකා ගැටලුව වසර කිහිපයක් තුළ විසඳීමේ හැකියාව පවතින බවද ඇස්තමේන්තු කර ඇත.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇත. ඒ අනුව සුනඛයන් එන්නත් කිරීම, සුනඛ ගහනය පාලනය කිරීම සහ වාණිජ අරමුණු (අලෙවිය ඇතුළු) සඳහා සුනඛයන් අභිජනනය කිරීම නියාමනය කිරීම මෙහි මූලික අරමුණු අතර වේ.
නිකුත් වූ මෙම පනතට අනුව වයස සති හයකට වැඩි සුනඛයකුගේ අයිතිකරු හෝ එවැනි සුනඛයකු සිය භාරයේ තබාගන්නා යම් තැනැත්තකු විසින් එම සුනඛයාට වාර්ෂිකව ජල භීතිකා එන්නත ලබාදිය යුතු අතර, වාර්ෂිකව අදාළ පළාත් පාලන ආයතනයේ ලියාපදිංචි කිරීමද කළ යුතුව ඇත. සුනඛයකු එන්නත් කිරීම පශු වෛද්‍යවරයකු විසින් හෝ පශු වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ සිදුකළ යුතුය.
සුනඛයා එන්නත් කළ බවට සහතිකයක් නිකුත් කිරීමෙන් පසුව, සුනඛයාගේ අයිතිකරු හෝ භාරකරු විසින් ගාස්තුවක් ගෙවා සුනඛයා අදාළ පළාත් පාලන ආයතනයේ ලියාපදිංචි කළ යුතුව ඇත.
සුනඛයා ලියාපදිංචි කිරීමෙන් පසුව පළාත් පාලන ආයතනය මගින් එම සුනඛයා සඳහා ලියාපදිංචි අංකයක් සහ ලියාපදිංචි කිරීමේ සහතිකයක් නිකුත් කරනු ඇත. තවද අයිතිකරුවකු හෝ භාරකරුවකු නොමැති, අයාලයේ යන සුනඛයන්ට අදාළ පළාත් පාලන ආයතනය විසින් ජල භීතිකා එන්නත ලබාදිය යුතු බවද මෙහි සඳහන්ය. එමෙන්ම යම් බලයලත් නිලධාරියකු නියම කරන අවස්ථාවකදී සුනඛයා සම්බන්ධයෙන් නිකුත් කර ඇති වලංගු එන්නත් කිරීමේ සහතිකය සහ අදාළ ලියාපදිංචි කිරීමේ සහතිකය ඉදිරිපත් කළ යුතු වේ.
සුනඛ ගහනය ලංකාවට කෙතරම් හිසරදයක් වී ඇත්දැයි මීට වසර ගණනාවකට පෙර තහවුරු වූයේ ලක්ෂ 30ක් බල්ලන් මරා දැමීමට එවකට රජය තීරණය කිරීමත් සමඟය. ඒ කාලයේ බලු වෑන් එකට බල්ලන් ඇල්ලූ වේලාවේ වාහනයේ දුම නිසා උන් ටික වේලාවකින් එළියට ආවේ මළකුණු ලෙසිනි.
බල්ලන් ලක්ෂ තිහක් මරා දැමීමේ සැලැස්ම එදා හෙළිදරව් වූයේ මෙසේය: ලංකාව පුරා සිටින අයාලයේ යන සුනඛයන් ලෙස සැලකෙන ලක්ෂ තිහකට අධික සංඛ්‍යාවක් ඝාතනය කිරීම කෙරෙහි රජයේ දැඩි අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් එදා ප්‍රකාශ කළේය.
අයාලයේ යන සුනඛ ගහනය පාලනය කිරීම සඳහා පසුගිය කාලය තුළ අනුගමනය කළ ක්‍රමවේදයන් මුළුමනින්ම අසාර්ථක වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය කළ අධ්‍යයනයකදී හෙළි වී තිබුණි. විශේෂයෙන් සුනඛයන්ට වඳ සැත්කම් කිරීම මගින් සුනඛ ගහනය පාලනය කිරීමට ගත් උත්සාහය මුළුමනින්ම අසාර්ථක වී ඇති බවත්, එය වසරකට රුපියල් මිලියන සිය ගණනක් අපතේ යන වැඩපිළිවෙළක් වී ඇති බවත් අදාළ ප්‍රකාශකයා සඳහන් කර තිබුණි.
විමර්ශනයට ලක් වූ කාලය තුළ අයාලයේ යන සුනඛයන් ඝාතනය කිරීම රජය ප්‍රතිපත්තියක් වශයෙන් නතර කරන ලදී. ඒ පිටුපස සුනඛයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ජාත්‍යන්තර සංවිධානයක් විසින් ලබාදුන් ඩොලර් මිලියන ගණනක ව්‍යාපෘතියක් තිබූ අතර, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම භාරදී තිබුණේ හිටපු සෞඛ්‍ය ඇමැති නිමල් සිරිපාල ද සිල්වාගේ බිරිඳටය.
එවකට රජයේ නව තීරණය හේතුවෙන් මෙරට සුනඛ ගහනයෙන් සියයට 99ක් පමණ ඝාතනයට ලක්වීමට ඉඩ ඇති බව මේ සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන නියෝජිතයන් කිහිපදෙනෙකුම ප්‍රකාශ කළහ. ඔවුන්ට අනුව ලංකාවේ සිටින සුනඛයන් විධිමත් ආකාරයෙන් ලියාපදිංචි කිරීමක් නොකෙරෙන අතර, නිවෙස්වල ඇති කරන සුනඛයන්ගේ අතිබහුතරයක් නිරන්තරයෙන් රැඳී සිටින්නේ මහා මාර්ගය ආසන්නයේය. එමෙන්ම සුනඛයන්ට කරපටි පැළඳවීම, බැඳ තැබීම ආදිය සිදුවන්නේ අල්ප වශයෙන් නිසා අයාලයේ යන සුනඛයන්ගේ ගොඩට මේ සියලුම සුනඛයන් ඇතුළත් විය හැකිය.
සුනඛයන්ගේ සපාකෑම්වලට දිනකට පුද්ගලයන් 2,000කට ආසන්න පිරිසක් ලක්වන බවත්, සපාකෑම්වලට ලක්වන පුද්ගලයන්ගේ ප්‍රතිකාර සඳහා පමණක් වසරකට රුපියල් මිලියන 1,000කට අධික මුදලක් වැය කිරීමට සිදුවීම සෞඛ්‍ය අමාත්‍යාංශය මුහුණ දෙන බරපතල තත්ත්වයක් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශකයා ඒ අවස්ථාවේ ප්‍රකාශ කළේය.
මේ අතර නවතම සුනඛ චක්‍රලේඛය හා ගැසට් නිවේදනය ප්‍රකාරව සහතිකය සන්තකයේ නොමැති නම්, බලයලත් නිලධාරියා විසින් නිකුත් කරන දැන්වීමකට අනුව සුනඛයාට ජල භීතිකා එන්නත ලබාදී පළාත් පාලන ආයතනයේ ලියාපදිංචි කිරීමට දින 14ක් හිමිවේ. එම කාලය තුළ අදාළ එන්නත් කිරීමේ සහතිකය සහ ලියාපදිංචි කිරීමේ සහතිකය ලබාගෙන නැත්නම්, අදාළ කාලය තවත් දින 14කින් දීර්ඝ කෙරේ.
එම කාලය තුළදී ද සුනඛයා ලියාපදිංචි කිරීමට අපොහොසත් වන්නේ නම්, පළාත් පාලන ආයතනයට ගෙවිය යුතු ලියාපදිංචි කිරීමේ ගාස්තුවට අමතරව රුපියල් 2000ක දඩ මුදලක් නියම කෙරෙනු ඇත. එමෙන්ම සෑම පළාත් පාලන ආයතනයක් විසින්ම සුනඛ ගහනය සම්බන්ධයෙන් වාර්තාවක් තබා ගැනීම සඳහා සුනඛයන්ගේ රෙජිස්ටරයක් පවත්වාගෙන යා යුතු බව පැහැදිලිව දක්වා ඇත.
සෑම පළාත් පාලන ආයතනයක්ම සුනඛ ගහනය පාලනය කිරීම සඳහා සිය බල ප්‍රදේශය තුළ සිටින අයාලයේ යන සියලු සුනඛයන් වන්ද්‍යාකරණය කිරීමට හෝ පුංසකකරණය කරවීමට පියවර ගත යුතුය. එය සිදු කළ යුත්තේ ද පශු වෛද්‍යවරයකු විසිනි.
පසුකාලයක රිලව් සංගණනය කාගේත් උපහාසයට ලක්විය. එමෙන්ම ලංකාවේ බල්ලන් සංගණනය කිරීමට අවසන් වරට සූදානම් වූයේ මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය ඇමැති ධුරය හොබවන කාලයේදීය.
එම අවස්ථාවේදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පළාත් පාලන ආයතන හා පොලිසිය එක්ව සුනඛයන් ලියාපදිංචි කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවත්, ඒ හරහා සෑම සුනඛයකුටම හිමිකාරයකු හිමිකර දෙන බවත්ය. සුනඛ ගහනය පාලනය කිරීම සඳහා සුනඛයන් එන්නත් කිරීමටත්, ගැහැණු සුනඛයන් වන්ද්‍යාකරණය කිරීමටත් වසරකට රුපියල් මිලියන 1,000ක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදී ඇතැයි ද, මෙරට සුනඛ ගහනය ලක්ෂ තිහක් පමණ වන බවට ගණන් බලා ඇති බව ද, සුනඛ සපාකෑම්වලට පුද්ගලයන් ලක්වීම බරපතල ගැටලුවක් බවට පත්ව ඇති බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
රෝහල්වල නිදැල්ලේ හැසිරෙන සුනඛ ගහනය ඉහළ යාම නිසා ඒවායේ සේවය කරන වෛද්‍යවරුන් පවා සුනඛ සපාකෑම්වලට ලක්ව ප්‍රතිකාර සඳහා යොමුව සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශයට වාර්තා වී තිබූ බවද එවකට සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන තහවුරු කළේය.
ගෙදර ඉන්න බලු කුක්කාටත් බද්දක් ගැසූ බවට ඉංග්‍රීසියෙන් ආණ්ඩුවට එල්ල වූයේ දැඩි දෝෂාරෝපණයකි. එහෙත් දැන් නැවත කරළියට ඇවිත් ඇත්තේ බලු බද්දක් නොවේද? එහෙත් ලොවට බදු එකතු කරන්නකු හඳුන්වා දුන් සුනඛ විශේෂයක් ද ඇත.
මේ කියන ‘ඩොබර්මන්‘ ලෙස ප්‍රකට ‘ඩොබර්මන් පින්චර්‘ සුනඛයන් ගැන මුල්වරට අසන්නට ලැබෙන්නේ 1890 වසරේ සිටය. ඔවුන්ට මේ නම ලැබී තිබෙන්නේ තම නිජබිම වන ජර්මනියේදී මෙම වර්ගයා මුලින්ම ලොවට හඳුන්වා දුන් කාල් ඩොබර්මන් නිසාවෙනි. බදු එකතු කරන්නකු ලෙස කටයුතු කළ ඔහු, තමා රාජකාරි කටයුතුවල යන විට ආරක්ෂාව සැපයිය හැකි වර්ගයේ සුනඛයකු ලබා ගැනීමේ අරමුණින් විවිධ සුනඛ වර්ග මුහුන් කොට අවසානයේදී මෙම සුනඛයන් ලොවට හඳුන්වා දී ඇත.
මුලදී මෙම වර්ගයට නමක් නොතිබුණද, 1894 දී සිදුවූ කාල් ඩොබර්මන්ගේ මරණයෙන් පසු ඔහුට උපහාරයක් ලෙස මෙම සුනඛ වර්ගය ඔහුගේ වාසගමින් හැඳින්වීමට ජර්මානු බලධාරීහු තීරණය කළහ. එමෙන්ම ලොව වැඩිපුරම දක්නට ලැබෙන සුනඛ වර්ගවලින් එකක් වන ඩොබර්මන් පිළිගැනෙන්නේ බුද්ධිමත්, නිතර විමසිල්ලෙන් සිටින හා මිනිසුන්ට ලැදි සුනඛ වර්ගයක් ලෙසයි. ඔවුන් බොහෝවිට පොලිසියේ සහයටත් බඳවාගන්නා සුනඛ වර්ගයකි.
සුනඛ විශේෂඥයන්ට අනුව මිනිස් ඇසුරට පුහුණුවීම් හා යමක් වටහා ගැනීමේ හැකියාව අතින් ඩොබර්මන් සුනඛයන් අංක එකේ ස්ථානයක පසුවෙයි. තවත් විශේෂත්වයක් වන්නේ තම නිවැසියන්ට ආදරය දැක්වුවද, නන්නාඳුනන මිනිසුන් සම්බන්ධයෙන් උන් භයානක සුනඛ වර්ගයක් වීමයි. මේ නිසා ඩොබර්මන් සුනඛයන් නොදන්නා අය සපාකෑ අවස්ථා ගැන බොහෝ විට අසන්නට ලැබේ.
දෙවන ලෝක යුද්ධ සමයේදී ඇමෙරිකානු නාවික භටයන් නිල යුධ සුනඛයා ලෙස හැඳින්වූයේද ඩොබර්මන් සුනඛ වර්ගයයි. මනඃකල්පිත කතා හා චිත්‍රපටවලත් ප්‍රධාන චරිත ලෙස සුනඛයන් බොහෝවිට දකින්නට ලැබෙන අතරිගාෆීල්ඞ් ද මූවී’ චිත්‍රපටයේ එනිලුකා’ ඒ අතර ප්‍රධාන බලු නළුවෙකි.
ලංකාවේ බල්ලන්ට චක්‍රලේඛ හා ගැසට් ගැහුවද ලෝකයේ කෝටිපතියන් වූ බල්ලන්ද සිටිති. එතැනදී සිදුවන්නේ මිනිසුන් තමන් බදු ගෙවා හරිහම්බ කරගත් මුදලින් ටිකට් ගෙන බලු වික්‍රමාන්විත නැරඹීමයි. ‘ලැසී’ හා ‘රින් ටින් ටින්’ තිරයේ හා රූපවාහිනියේ ඉතා ජනප්‍රිය සුනඛ නළුවෝ වෙති. කොලී වර්ගයට අයත් ලැසීගේ කතාව, එනම් ‘ලැසී කම් හෝම්‘ නමැති නවකතාව ඇසුරෙන් මුලින්ම සිනමාවට නැගුණේ 1943 වසරේදීය. මේ කතාවට පාදක වූ සැබෑ ලැසී, පළමු වන ලෝක යුද සමයේදී නවක භටයකුගේ ජීවිතය ගලවාගත් කොලී වර්ගයේ සුනඛයෙකි. එදා ලැසීගේ චරිතය රඟපෑවේ ‘පැල්‘ නමැති සුනඛයාය.
‘රින් ටින් ටින්’ තවත් ඉතා ජනප්‍රිය සුනඛ චරිතයකි. මේ චරිතයට පාදක වූයේ පළමු වන ලෝක යුද සමයේදී ප්‍රංශ යුද බිමේදී උපන් අලුතම ලී ඩන්කන් නමැති ඇමෙරිකානු හමුදා භටයකුට හමුවී ඇතිදැඩි කරගත් ජර්මන් ෂෙපර්ඞ් වර්ගයේ සුනඛයෙකි. මේ ඇමෙරිකානු ජාතික භටයා තම සේවා කාලය නිමවා පැමිණෙන විට මේ සුනඛ සුරතලාවද ඇමෙරිකාවේ තම උපන්බිම වන කැලිෆෝනියාවට රැගෙන ආවේය. මේ සුනඛ චරිතය ඇසුරෙන් පසුකාලයක චිත්‍රපට 23ක් නිර්මාණය වූ අතර ටෙලි නාට්‍යවලට මෙන්ම ගුවන්විදුලි නාට්‍යවලට ද පසුබිම් සකස් විය. ඔහුගේම නෑ පරපුරේ සතුන් මේ සුප්‍රකට චරිතයට යොදාගන්නා ලදී. ‘රින් ටින් ටින්‘ චිත්‍රපට ඒවා නිපදවූ ‘වෝනර් බ්‍රදර්ස්‘ සමාගමට විශාල මූල්‍යමය ලාභයක් ගෙන දුන්නේය.
එමෙන්ම ඔස්කාර් සම්මාන දෙකකට හිමිකම් කීිඈස් ගුඞ් ඈස් ඉට් ගෙට්ස්’ චිත්‍රපටයේ රඟපෑ,ිබ්‍රසල්ස් ග්‍රිෆොන්’ නම් දුලබ වර්ගයට අයත් සුනඛයාද තවත් සුප්‍රකට සිනමා තරුවකි.
‘බල්ලන් මරා හෝ සල්ලි හොයාගනින්, එම සල්ලි බුරන්නේ නැත’ කියා සිංහල කියමනක් ඇත. සුප්‍රකට ලෝක පූජිත බල්ලන් යොදා හැදූ බයිස්කෝප්වලින් ඩොලර් කෝටි ගණන් ආදායම් ලැබුණද, එම ඩොලර් ‘බුහ් බුහ්‘ කියා කෑගැසූ බවක් නම් දැනගන්නට නැත.
දැන් ඉතින් නව චක්‍රලේඛයට හා ගැසට්ටුවට අනුව මියගිය බල්ලකුට මරණ සහතිකයක් ලබාදෙන බවට සඳහනක් නම් නැත.
එමෙන්ම අභිජනන මධ්‍යස්ථානයක සිටින යම් සුනඛයකු මියගිය විට, බලපත්‍රදාරියා විසින් එම මරණය පිළිබඳව අදාළ පළාත් පාලන ආයතනයට දැනුම් දිය යුතුව ඇත.
යම් බලපත්‍රදාරියකු එම විධිවිධාන උල්ලංඝනය කළහොත්, මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ පවත්වනු ලබන ලඝු නඩු විභාගයකින් වරදකරු කිරීමෙන් පසුව, රුපියල් දස දහස නොඉක්මවන දඩයකට හෝ මාස දෙකක් නොඉක්මවන කාලසීමාවක් සඳහා සිරදඬුවමකට හෝ එම දඩය සහ සිරදඬුවම යන දෙකටම යටත් විය යුතුය.
එමෙන්ම සුනඛ සංදර්ශන හෝ ප්‍රදර්ශන පැවැත්වීම මෙන්ම ප්‍රදර්ශන සඳහා හෝ එහිදී ලියාපදිංචි කිරීම සඳහා සුනඛයන් තැබීමද මෙකී නීති මගින් නියාමනය වේ.
සුනඛ පැටවුන් විකිණීමට අදාළව අභිජනන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමට බලපත්‍රයක් ලබාගන්නා පුද්ගලයා විසින් ප්‍රමාණවත් ආහාර, ජලය, නිදාගැනීමේ පහසුකම්, ව්‍යායාම කිරීමේ පහසුකම්, ආලෝකය, වාතාශ්‍රය, උෂ්ණත්වය ආදී පහසුකම් සැපයිය යුතුය. එමෙන්ම ගිනිගැනීම් සහ ගංවතුර වැනි හදිසි අවස්ථාවලදී සුනඛයන් ආරක්ෂා කිරීමටද පියවර ගත යුතුව ඇත.
‘රට බල්ලට ගියා, බල්ලා රට ගියා’ යන්න ප්‍රකට කියමනකි. ජල භීතිකා රෝගය තුරන් කිරීම සහ සුනඛයන් ලියාපදිංචි කිරීමට අදාළව 2026/09/07 දින නිකුත් කරන ලද ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයටද එම ඉරණම අත් නොවේවායි අවසානයේ අපට ප්‍රාර්ථනා කිරීමට සිදුව ඇත. ගෙදර සිටින බලුරාළ එයිබුහ්! බුහ්!!’ කියා අනුමත කරනු නියතය.
මහින්ද රණවීර
(I J )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd