එල්නිනෝ දේශගුණික විපර්යාසය වර්තමානයේ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට සහ ජාතික ආහාර සුරක්ෂිතතාවයට දැඩි තර්ජනයක් එල්ල කරමින් තිබේ. අක්‍රමවත් වර්ෂාපතනය හමුවේ වගා හානි සිදුවීම මේ වන විට ප්‍රධාන අර්බුදයක් බවට පත්ව ඇත.

රට තුළ ආහාර හිඟයක් සහ කෘතිම මිල ඉහළ යාමක් වළක්වා ගනිමින් අනාගත ජාතික ආහාර පද්ධතිය සුරක්ෂිත කරගන්නේ කෙසේ ද? ඒ සඳහා පවතින විද්‍යාත්මක, තාක්ෂණික සහ ප්‍රතිපත්තිමය විසඳුම් මොනවාද? යන්න පිළිබඳව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්‍ය බුද්ධි මාරඹේ සමග සිදුකළ විශේෂ සාකච්ඡාවයි මේ.

එල්නිනෝ දේශගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරි වගා කන්නවල දී අපගේ ප්‍රධාන ආහාරය වන සහල් ඇතුළු එළවළු සහ බෝග අස්වැන්නට එල්ල වන ප්‍රධාන අභියෝග මොනවා ද?

“ඔව්. මෙහෙමයි, කිසිදෙයක් නොකර හිටියොත් නම් අස්වනු වලට දැඩි බලපෑමක් ඇතිවෙන්න පුළුවන්. නමුත් ඒක වළක්වගන්න තමයි අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ. ගොවි ජනතාවට කියලා ඔක්තෝබර් මාසයේ 1 වෙනිදා සිට 15 දක්වා ජල සැපයුම අනුව පුළුවන් තරම් ඉක්මනට වී ටික ක්ෂේත්‍රයේ හිටුවන්න කියලා. අපි ඔක්තෝබර් 15 කියලා කිව්වට 25 වෙනිදා දක්වා වුණත් ගියාට කමක් නෑ. මොකද ඔක්තෝබර් මැද හරිය වෙනකොට අපි තදබල සංවහන වර්ෂාවක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒක එකපාරටම ලැබෙන්නෙ නැති වෙන්න පුළුවන් ඒක ටිකෙන් ටික උත්සන්න වෙලා නොවැම්බර් මාසය වෙනකොට අධික තීව්‍රතාවයකින් යුතුව සැරට වහින්න ඉඩකඩ ඉතාමත් වැඩි. ඒ වෙනකොට වී වගාව ක්ෂේත්‍රයේ හොඳින් පිහිටුවලා තියෙන්න ඕනේ. ඒ දැඩි වැස්සෙන් ඇතිවෙන්න පුළුවන් තාවකාලික ගංවතුර තත්ත්වයකට හෝ මුහුණ දෙන්න පුළුවන් වෙන විදියට. නැත්නම් වී ගහ ගිලෙන හින්දා අපි කියන්නේ හැකි තරම් ඉක්මනට වී වගා කිරීමට යොමුවෙන්න කියලා. ගොවි මහත්වරුන් පරක්කු වෙනවාට වඩා කලින් වගා කරන එක හොඳයි. ඊළඟට බඩඉරිඟු වගේ වගාවන් ගත්තොත් එහෙම කොහොමත් මහ කන්නයේ තමයි වැඩිපුරම වගාව කෙරෙන්නේ. ඒක සාමාන්‍යයෙන් වර්ෂාපෝෂිත තත්ත්වය යටතේ වෙන්නේ, මොකද ඒක වාරි ජල සැපයුම බොහොම අඩු උස් බිම් බෝගයක් හින්දා. ඒ නිසා වැස්සත් එක්ක පටන් ගන්න. හැබැයි ඒ වගේම පාංශු ඛාදනය වගේ දේවල්වලදී පරිස්සම් වෙන්නට ඕන.”

 

“ඊළඟට උඩරට එළවළු වගාව ගත්තොත් එහෙම වැඩිම පාත්‍රතාවයකට භාජනය වෙන්නේ උඩරට එළවළු වගාව. මොකද කඳුකරයේ බෑවුම් එක්ක වැහැලා දැනටමත් පස හොඳටම තෙත් වෙලානේ තියෙන්නේ. ඊළඟට ඔක්තෝබර්, නොවැම්බර් මාසවල ලැබෙන වැස්සත්, ඊටපස්සේ විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුමට ඊසාන දිග මෝසමෙනුත් ඇතිවෙන බලපෑම හින්දා ටිකක් කල්පනාවෙන් වැඩ කටයුතු කරන්නට වේවි. මොකද මෙවැනි තත්ත්වයක් අපිට 2023 දීත් උදා වුණා. එල්නිනෝ තත්වයකදී විශේෂයෙන්ම ලංකාවට ලැබෙන වර්ෂාව ඉතාමත් වැඩි ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් කියන මාසවල.ඒක හින්දා එළවළු වගා කරන්න එපා කියලා කියනවා නෙවෙයි. නමුත් ඒ වගා කරනවා නම් හොඳ පාංශු සංරක්ෂණ ක්‍රම යොදාගෙන, විශේෂයෙන්ම දැන් නායයෑම් වගේ ඇතිවෙන ස්ථානවලට වැඩියෙන්ම ගොදුරු වෙන ස්ථානවල එළවළු වගා වගේ දේවල් කරන්නේ නැතුව ඉන්නවා නම් වඩා හොඳයි කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ වගේම වඩාත් පරිස්සම් වෙන්නට ඕනේ මේ කන්නයට වඩා ලබන යල කන්නයේ. මොකද දැනට තියෙන පුරෝකථන අනුව ජනවාරි අග සිට පෙබරවාරි, මාර්තු, සමහර විට අප්‍රේල් මැද දක්වා වැසි හිඟ තත්ත්වයක් ඇතිවෙන්නට පුළුවන්. එතකොට එවැනි අවස්ථාවලදී උපයෝගී කරගන්නට අපේ ජලාශවල තියෙන ජලය වැදගත් වෙනවා. එතකොට ඒ ජලය අනිසි ආකාරයට මේ මහ කන්නයේදී පාවිච්චි වුණොත්, අපිට වාරි ජල සම්පාදනය අඩු වෙනවා ලබන යල කන්නය වනවිට. ඒක නිසා ඒ ගැන පරිස්සමෙන් කටයුතු කරන්න කියන එක තමයි අපි කියන්න තියෙන්නේ. ඒක ඉතින් ගොවි ජනතාවට කියනවාට වැඩිය ඒක රාජ්‍ය මට්ටමේ කෙරෙන්න ඕන කාර්යභාරයක්, කොයි ආකාරයටද ඒ ජල කළමනාකරණය හරියට කලමනාකරණය කළ යුතු වන්නේ කියන එක. මෙන්න මේක තමයි මේ මොහොත වෙනකොට දෙන්න පුළුවන් පුරෝකථනය.”

ඒ වගේ මොහොතකදී කෘෂිකර්මාන්තයේ දී භාවිතා කරන්න පුළුවන් ජල සම්පාදන ක්‍රම සහ ජලාශ ජලය කළමනාකරණය කිරීමේ පිළියම් තියෙනවා ද?

“මෙහෙමයි. දැන් වැස්ස වැඩි අවස්ථාවක අපි දන්නවා කුඹුරු ආශ්‍රිතව වී වගාව ඇරුණාම වෙන බෝගයක් කරන්න විදියක් නෑනේ. කෙනෙක් හිතන් ඉන්නවා නම් උදාහරණයක් හැටියට, කුඹුරුවල බඩඉරිඟු වගා කරනවා කියලා, එහෙම නම් ඉතාම කල්පනාකාරී වෙන්න ඕනේ. මොකද ජලය ඒකරාශී නොවෙන තැනක බඩඉරිඟු වගා කරන්න උත්සුක වෙන්න ඕනේ. කුඹුරක වී වගා කරන්න පෙළඹෙනවා නම් විශේෂයෙන්ම වාන්දොරට ආසන්න නොවෙන ඇළක ඈත කෙළවරේ වගේ ස්ථානයක තමයි හුඟක් වෙලාවට තෝරගන්න වෙන්නේ. මොකද ජලය ඒකරාශී වෙන්න තියෙන අවස්ථාව හුඟක් අඩු හින්දා. ඒ වගේ හොඳින් ජල වහනය වන ජලය ඒකරාශී නොවෙන තැනක තමයි කුඹුරු ඉඩමක බඩඉරිඟු වගා කරනවා නම් කළ යුතු වන්නේ. ඒක ජල කළමනාකරණය කරගන්න පුළුවන් එක ක්‍රමයක් බඩඉරිඟු වගේ වගාවකට. හැබැයි මං අර කලින් කිව්වා වගේ වී වගාව වුණත් ඉක්මනට සිටුවා ගත්තොත් පැළ ටික, දැඩිව හැදුනොත් අර සුළු ගංවතුර තත්ත්ව පවා දරාගෙන ඉන්න පුළුවන් වෙනවා ශාකයට.”

ඒ වගේ තත්ත්වයකදී අපිට මොනවා හරි නව බෝග ප්‍රභේද හරි විකල්ප වගා ක්‍රමවේද හරි මොනවා හරි තියෙනවා ද?

“මේ වගේ මොහොතක දි නව බෝග විකල්ප බෝග හඳුන්වාදෙනවට වඩා ඉතින් තියෙන තියෙන බෝග වර්ග, විශේෂයෙන්ම ඒ අදාළ විශේෂ ප්‍රභේද පාවිච්චි කරන එක තමා කරන්න තියෙන්නේ. මොකද අලුතෙන් ගෙනැල්ලා හඳුන්වා දීමට තරම් කාලයක් නැහැ මේ මොහොත වෙනකොට. නමුත් හුඟක් වෙලාවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියලා තියෙන්නේ දිගු වයස් වී වලට යන්න එපා, තරමක් අඩු වයස් වී වර්ගවලට යොමු වෙන්න කියලා. නමුත් ඒකෙත් බිත්තර වී තියෙන ප්‍රමාණය අනුව, මොකද ගොවීන්ගෙන් සියයට 84 ක් විතරම තමන්ගේ බිත්තර වී නිපදවා ගන්න කට්ටියනේ. ඉතින් ඒගොල්ලෝ ළඟ හුඟක් වෙලාවට තියෙන්නේ කලින් කන්නයේ, මේ කන්නයේ අරමුණු කරගෙන නිපදවා ගත්ත බිත්තර වී හුඟක් වෙලාවට. එතකොට ඒ තියෙන වර්ගය අනුවනේ ඒක තීරණය වෙන්නේ. එතකොට ඒක නිකන් මේ වෙලාවේ කියන්න අමාරුයි ඇත්තටම. ගොවි ජනතාවත් තියෙන බිත්තර වී ටික තමයි පාවිච්චි කරන්නේ. හැබැයි කලින් වගා කරන තරමට කාටත් හොඳයි.”

මේ වගේ කාලගුණික වෙනස්වීම් හරි, මේ වගේ තත්ත්වයකදී මේ වගේ දේවල් මේ විදියට වගා කළොත් හොඳයි කියලා ගොවීන්ට දැනුවත් කරන්න මොනවා හරි තාක්ෂණික ක්‍රමවේද හරි පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රමවේදයක් හරි තියෙනවා ද?

“කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඒ ගැන සම්පූර්ණ වගකීමකින් යුතුව ක්‍රියාත්මක වෙනවා කියලා මම දන්නවා. මේ මොහොත වෙනකොටත්. අදාළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක එකතු කරගෙන, මොකද ඔවුන් සතුව තමයි ගොවීන්ට ළඟා වෙන්න පුළුවන් ඒ යාන්ත්‍රණය තියෙන්නේ, නේද? ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවත් එක්ක. එතකොට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධව පුරෝකථන දෙමින් ගොවි ජනතාවට කොයි ආකාරයටද ගොවිතැන් කරන්න ඕනේ කියන එක ගැන උපදෙස් දෙමින් පවතිනවා. ඔවුනුත් මහවැලි අධිකාරියත්, මහවැලි අධිකාරිය යටතෙත් තියෙනවානේ විශාල ප්‍රමාණයක් කුඹුරු ඉඩම්. එතකොට මහවැලි අධිකාරිය මේ සියලුදෙනාම එකමුතුව තමයි මේ අවස්ථාවේ කටයුතු කරන බවක් පෙනෙන්නට තියෙන්නේ.”

 

 

වර්ෂා සමරසිංහ