ක්‍රිකට් පරිවර්තන කමිටුව පත්වී මාස 5 ක් අවසානයේ දී ඔවුන්ගේ නව ව්‍යවස්ථාව ගැසට් කෙරුණි. එය ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් එයින් පසුව නීතියක් වනු ඇත. මේ කාර්යයේ මූලිකත්වය ගත් ක්‍රිකට් පරිවර්තන කමිටු සභාපති ඉරාන් වික්‍රමරත්න සමග කළ සාකච්ඡාවකි මේ. 

Q ක්‍රිකට් පරිපාලනයට මූලික වන ව්‍යවස්ථාව මේ වන විට ගැසට් කර අවසන්. ඔබ ඇතුළු ක්‍රිකට් පරිවර්තන කමිටුවේ ප්‍රධාන අභියෝගයක් ලෙස සඳහන් වූයේ මෙයයි. ඒ අභියෝගය ජයගත්තා කියා සිතනවා ද?

ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නම් අපට අවශ්‍ය තැනට ආවා යැයි කියන්න පුළුවන්. කාලයක් තිස්සේ නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව තිබුණා. ඒ සම්බන්ධයෙන් වසර 10ක පමණ සිටම කතාබහක් සහ නොයෙක් චෝදනා මෙන්ම මත පළවුණා. විශේෂයෙන්ම ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයන් මේ ගැන හුඟක් කතා කර තිබෙනවා. ව්‍යවස්ථාව වෙනස් විය යුතුයි කියන එක කාලයක් තිස්සේ තිබූ ඉල්ලීමක්.

ඒ සම්බන්ධව පසුගිය වසර 3-4 තුළ කිහිප වතාවක්ම යෝජනා ආවා. හිටපු ඇමැති අලි සබ්රි ගේ වාර්තාව සහ චිත්‍රසිරි කමිටු වාර්තාව වැනි යෝජනා කලින් කලට ඉදිරිපත් වුණා. එහි අවශ්‍යතාවයක් තිබූ බව හැමෝම දන්නවා.

මේ වැනි වටපිටාවක අප පත් වූ පසු ප්‍රමුඛත්වය දිය යුත්තේ කුමකටදැයි කල්පනා කළා. එහිදී පරිපාලන රාමුව සකස් කිරීමට ප්‍රමුඛත්වය දිය යුතු බව අප තීරණය කළ අතර, ඒ සඳහා මුලින්ම ව්‍යවස්ථාව සකස් කළ යුතුව තිබුණා.

මෙහිදී පසුගිය කාලයේ ඉදිරිපත් වූ සියලු‍ යෝජනා දෙස අප බැලිය යුතු යැයි කල්පනා කළා. එවැනි යෝජනා තිබියදී මුල සිටම ආරම්භ කිරීමට අවශ්‍ය නැති නිසා, ඒ යෝජනාවලින් පටන් ගෙන අලු‍ත් අදහස් සහ යෝජනාවලට ද අවස්ථාව ලබා දුන්නා. ඒ අනුව විවිධ මාර්ගවලින් මෙන්ම පෞද්ගලික මට්ටමින් ද යෝජනා ලබාගත්තා.

අප ව්‍යවස්ථාව සකස් කිරීම ආරම්භ කළේ මේ සියල්ල පදනම් කරගෙනයි. අපගේ පරිවර්තන කමිටුවේ ජනාධිපති නීතිඥවරුන් දෙදෙනෙක් සිටිනවා. ඔවුන්ගේ ප්‍රධානත්වයෙන්, නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශ්ව කිහිපයක සහාය ඇතිව අප මේ කටයුත්ත සිදු කළා.

ඊට පසු මේ ව්‍යවස්ථාව ජාත්‍යන්තර මට්ටමෙනුත් බැලිය යුතු යැයි අප කල්පනා කළා. එහිදී අයි.සී.සී. පූර්ණ සාමාර්ගිකත්වය ඇති රටවල තත්ත්වය අපේ ආදර්ශකය (Bench mark) ලෙස තබාගත්තා. ඒ සඳහා අප අයි.සී.සී. හි හිටපු නීති ප්‍රධානියාව අපගේ උපදේශකයකු ලෙස සම්බන්ධ කරගත්තා. එහි වාසි දෙකක් තිබෙනවා.

එකක් නම්, ඔහු අයි.සී.සී. හි හිටපු නීති ප්‍රධානියා ලෙස සාමාන්‍යයෙන් ව්‍යවස්ථාවක තිබිය යුතු මූලධර්ම මෙහි තිබේ ද නැද්ද යන්න පිළිබඳ හොඳ අදහසක් ඔහු සතුව තිබීමයි. දෙවැන්න, අනෙක් රටවල් සමග සැසඳීමට අවස්ථාව ලැබීමයි. ඔහු හරහා එම රටවල් ගැන අධ්‍යයනය කර, අපගේ අඩුපාඩු සහ අප නොසිතූ පැති තිබේදැයි බලන්නට පුළුවන් වුණා. ව්‍යවස්ථාව සකස් කළේ ඒ ආකාරයටයි.

Q ඇයි මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ?

මෙය සමාගමක් ලෙස ගත්තොත්, එහි එනම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කොටස්කරුවන් වන්නේ රටේ පුරවැසියන් සහ ක්‍රිකට් ලෝලීන්. මෙය පාලනය කරන අප භාරකරුවන් පමණක් බවත්, අප සිටින්නේ කෙටි කාලයකට බවත් පිළිගත යුතුයි.

ඒ නිසා මෙය සමාගමක් ලෙස ගේනවාට වඩා පාර්ලිමේන්තුව හරහා පනතක් ලෙස ගෙන ඒම සුදුසු යැයි අප තීරණය කළා. ඒ හරහා මෙය පෞද්ගලික ආයතනයක් යැයි කියන අදහසත් නැතිවී යනවා. මේ අනුව සැබෑ කොටස්කරුවන් වන රටේ පුරවැසියන්ට වගකියන ආයතනයක් වනවා.

Q මේ තීරණය ගත්තේ ඔබගේ කණ්ඩායම ද?

ඔව්, අප එය තීරණය කළා. අනෙකුත් ක්‍රීඩා සංගම් එසේ නොවුණත්, ක්‍රිකට් ආයතනය මේ ආකාරයෙන් සිදු විය යුතු යැයි අප තීරණය කළා.

මෙතැනදී තවත් මූලධර්ම දෙකක් තිබෙනවා. පළමුවැන්න, ක්‍රිකට් කළමනාකාරීත්වයට ආණ්ඩුව කිසිසේත්ම අතනොගැසිය යුතු අතර එය ස්වාධීන විය යුතුයි. උදාහරණයක් ලෙස කණ්ඩායමක් තෝරාගැනීමේදී ඊට ආණ්ඩුවේ  හෝ දේශපානඥයින්ගේ කිසිම බලපෑමක් තියෙන්න බැහැ.

පසුගිය කාලයේ එවැනි දේ සිදු වුණා. කණ්ඩායමක් විදේශගත වීමට ගුවන්තොටුපොළේ සිටියදී, දික් අයෙකුට යන්න බැරි බව කියමින් අමාත්‍යවරයා දුරකථන ඇමතුම් දුන් අවස්ථා තිබුණා. මේවා සිදු වූ දේවල්. දැන් අප ඒ තත්ත්වයෙන් ඈත් විය යුතුයි.

දේශපාලනඥයන් විතරක් නෙවෙයි, පාලක මණ්ඩලයේ සභාපති වූ පසු කණ්ඩායම වෙනස් කිරීමට අයිතියක් තියෙනවා කියා සිතන මානසිකත්වය පවා මෙතැනින් ඉවත් කර තිබෙනවා. පරිපාලනයට දේශපාලනය අතනොගැසිය යුතු බව අයි.සී.සී. යත් පවසනවා.

දෙවැනි මූලධර්මය වන්නේ, පරිපාලනයේ අක්‍රමිකතා හෝ දූෂණ තිබේ නම් ඒ ගැන සොයා බැලීමේ වගකීමක් රජයට සහ අමාත්‍යවරයාට තිබීමයි. විශේෂයෙන්ම වගවීම සහ විනිවිදභාවය පැත්තෙන් සොයා බැලිය යුතුයි. මන්ද මෙහි අයිතිය තියෙන්නේ රටේ පුරවැසියන්ට සහ ක්‍රිකට් ලෝලීන්ටයි. ආණ්ඩුවේ දැක්මට අනුව පරිපාලනය කරගෙන යාමේ වගකීම ක්‍රිකට් බලධරයින්ට තිබෙනවා.

මේ දෙකම සමබරව තියෙන්න ඕනේ. එනම්, කණ්ඩායම තෝරන්නේ කවුදැයි ආණ්ඩුව තීරණය කරන්නේ නැහැ. නමුත් වංචා, දූෂණ සිදුවෙනවා නම් ඒ ගැන කටයුතු කිරීමට ආණ්ඩුවට හැකියාව තිබෙනවා. ඒ වගවීම රජයට සහ අමාත්‍යවරයාට තිබිය යුතුයි.

මේ සියල්ල සිදු කිරීමේදී ව්‍යවස්ථාව සැකසීමට තරමක් කල් ගත වුණා. මෙහිදී සඳහන් කළ යුතුයි, රජයෙන් අපට කිසිදු බලපෑමක් හෝ අතපෙවීමක් සිදු වූයේ නැහැ. මා මෙය භාරගන්නා විටම රජය පැවසූයේ මෙය රටට අයිති දෙයක් මිස දේශපාලන පක්ෂයකට අයිති දෙයක් නොවන බැවින් භාරගෙන කරන ලෙසයි. මෙය සකස් කිරීමේදී රජයෙන් කිසිදු බලපෑමක් ආවේ නැතුවා වගේම කාර්යය කරගෙන යාමට ලොකු සහායක් ලැබුණා.

Q මේ ව්‍යවස්ථාව හරහා පරිපාලනයට මොන වගේ වටපිටාවක් ද හැදෙන්නේ?

මුලින් ක්‍රිකට් නිලවරණයේ ඡන්ද ප්‍රමාණය පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තිබුණා. පසුව වරින් වර අඩුවී එය 60 ගණනක් දක්වා අඩු වුණා. නව ව්‍යවස්ථාවට අනුව ඡන්ද සංඛ්‍යාව 40ට අඩුයි. අධ්‍යක්ෂ මණ්ඩලය 14 දෙනෙකුගෙන් සමන්විත වන අතර, 7 දෙනෙකු නිල පත්වීම් හරහාද, තවත් 7 දෙනෙකු ඡන්දයෙන්ද තෝරාගැනෙනවා.

මෙහිදී ක්‍රිකට් ආයතනයේ පරිපාලන පාර්ශ්වයේ වගකීම වන්නේ ප්‍රතිපත්ති දෙස බැලීමයි. ක්‍රීඩකයන් නෙමෙයි, අනෙකුත් වගකීම් සහිත පත්වීම් කිරීමේ වගකීම අපට තිබෙනවා. උදාහරණයක් ලෙස හොඳම පුහුණුකරුවන් සිටිනවාද, තේරීම් කමිටුව නිසි ලෙස පත් වී තිබෙනවාද, විනිසුරුවන් ජාත්‍යන්තර මට්ටමේ ගුණාත්මකභාවයෙන් සිටිනවාද යන්න බලන්න ඕනේ. ක්‍රිකට් යටිතල පහසුකම්, විශේෂයෙන්ම තණතීරු ජාත්‍යන්තර මට්ටමේ තිබෙනවාද කියා සොයා බැලීමේ වගකීම අපට තිබෙනවා.

මේවා දැන් සකස් කරගෙන යනවා. අප යම් ක්‍රමවේදයකට යොමු වෙනවා. අවසාන වශයෙන් අපට වගකීමක් තියෙනවා. අප කණ්ඩායම තෝරන්නේ නැතත්, තේරීම් කමිටුව යෝජනා කරන්නේ අපයි.

Q ඔවුන් තෝරන කණ්ඩායම හරියට ක්‍රීඩා කරන්නේ නැත්නම් ඒ ගැන ප්‍රශ්න කරන්න පරිපාලනයට අයිතියක් නැද්ද?

ප්‍රශ්න කරන්න අයිතියක් තියෙනවා. නමුත් අප එය කරන්නේ පුද්ගල මට්ටමෙන් නොව ප්‍රතිපත්තිමය මට්ටමෙන්. පුද්ගල මට්ටම තේරීම් කමිටුවට භාරයි. විස්සයි20, එක්දින සහ ටෙස්ට් තරග සම්බන්ධයෙන් තේරීම් සිදු කළ මූලධර්ම ගැන අපට ප්‍රශ්න කළ හැකියි. ඒවා ප්‍රතිපත්ති මට්ටමේ ප්‍රශ්න. අප ක්‍රීඩකයාගේ මට්ටමෙන් ප්‍රශ්න කරන්නේ නැහැ, එය තේරීම් කමිටුවට භාර දී තිබෙනවා.

Q තීරණ ගන්න අධ්‍යක්ෂවරුන් 14 දෙනෙකු සිටිනවා. තීරණාත්මක අවස්ථාවක 7ට 7 ලෙස සම වුවහොත් කුමක් සිදුවේද?

එහි කිසිදු ගැටලු‍වක් නැහැ. සාමාන්‍යයෙන් එසේ වූ විට සභාපතිවරයාට අමතර ඡන්දයක් තියෙනවා. තීරණාත්මක අවස්ථාවකදී සභාපතිවරයාට එම ඡන්දය භාවිතා කළ හැකියි. එවිට තීරණය ලබාගත හැකියි.

Q ක්‍රිකට් යටිතල පහසුකම් නැංවීම සහ තණතීරු සම්බන්ධයෙන් අලුත් පරිපාලනයේ යොමුවක් තිබෙනවා. මේ සඳහා විශේෂ අවධානයක් යෙදෙව්වේ ඇයි? 

තණතීරු සම්බන්ධයෙන් අප පසුගිය කාලයේම කතා කළා. මෙය අත්‍යාවශ්‍ය කටයුත්තක්. තණතීරු ගැන කතා කිරීමේදී, ඒවා සැකසීම සඳහා ඇන්ඩි ඇට්කින්සන් මහතාව වගකීම් සහිත ප්‍රධානියා ලෙස පත්කර තිබෙනවා. ඔහු මේ විෂය පිළිබඳ අයි.සී.සී. හි සිටි ප්‍රධානියායි. අපගේ ආයතනයේ එවැනි විශේෂ දැනුමක් ඇති අයකු නොසිටි නිසා ඔහුව ගෙන ආවා. ජාත්‍යන්තර තරගාවලියකට පෙර අවශ්‍ය නම් පුහුණුකරු, නායකයා සහ ක්‍රීඩකයන් සමග සාකච්ඡා කර තණතිලි සකස් කළ හැකියි. එවිට පිටිය සකසන්නාට ජාත්‍යන්තර මට්ටමේ විශේෂඥ සහාය ඇතිව හොඳ තණතිල්ලක් හැදිය හැකියි.

රට පුරා ඇති තණතීරු සම්බන්ධයෙන් ද මෙම ප්‍රධානියාට වගකීමක් තියෙනවා. ඒවායේ තත්ත්වය උසස් කිරීම සඳහා උපදෙස් ලබා දීම ඔහුගේ ප්‍රමුඛ කාර්යයක්.

Q සමාජ මාධ්‍ය සහ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය බලපෑම් හමුවේ තේරීම් කමිටු සහ ක්‍රීඩකයන් කටයුතු කිරීම නිසා ගැටලු‍ ඇති වුණා. අලුත් වෙනස්කම් තුළ මේ තත්ත්වයෙන් මිදීමට යමක් තිබෙනවා ද?

සමාජ මාධ්‍ය හෝ ප්‍රධාන මාධ්‍ය හරහා ඇතිවන අදහස්වලට අප යටවෙන්නේ නැහැ. එහෙත් හොඳ අදහස් තිබේ නම් ඉවත් කරන්නෙත් නැහැ. අප තීරණයකට එන්නේ නිවැරදි පුද්ගලයන් යොදවා ඔවුන්ගේ තීරණ හරහා බව ජනතාව සහ ක්‍රීඩකයන් දැනගත යුතුයි. අප පත් කරන පුද්ගලයන් කෙරෙහි අපට සම්පූර්ණ විශ්වාසය තියෙනවා. එහෙත් අප පත් කරන කමිටුවක් සම්බන්ධයෙන් යම් චෝදනාවක් ආවොත්, එහි ඇත්ත නැත්ත අනිවාර්යයෙන්ම සොයා බලනවා.

මාධ්‍යවල එක එක විදිහට අර්ථකථන එන්න පුළුවන්. මාධ්‍ය නිදහස තියෙන්න ඕනේ. නමුත් ඔබ අසන තත්ත්වයන්ට මුහුණ දීමට තවමත් අපගේ පූර්ණ වැඩපිළිවෙළක් නැහැ.

නමුත් එක දෙයක් කිව යුතුයි. පසුගිය කාලයේ මාධ්‍ය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව යමක් ප්‍රකාශ කළහොත් නඩු පැවරීමේ සංස්කෘතියක් තිබුණා. අප ඒ සංස්කෘතියේ නැහැ. පසුගිය වසර කිහිපයේ පමණක් නීතිඥයන්ට රුපියල් මිලියන 650ක් ගෙවා තිබෙනවා. අපේ නීතිඥ මහත්වරුන් මේ වන විට ඒ නඩු විශාල ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම අහෝසි කර තිබෙනවා. අපට චෝදනාවක් ආ විට එය අප නොකළ දෙයක් නම්, එය ඔප්පු කිරීමට මුදල් යොදවනවාද නැතහොත් එම මුදල් යටිතල පහසුකම් සංවර්ධනයට යොදවනවාද යන්න අප සිතිය යුතුයි. පාසල් ක්‍රීඩකයන්ට ක්‍රීඩා පිටි නැතිව තරග සඳහා කිලෝමීටර් 30-40 යන්න සිදු වෙනවා. අප ඒ මුදල් යෙදවිය යුත්තේ එවැනි දේටයි.

Q කාන්තා ක්‍රිකට් සම්බන්ධයෙන් පරිවර්තන කමිටුවේ විශේෂ සැලසුම් තිබෙන බව පෙනෙනවා?

ලංකාවේ කාන්තා ක්‍රිකට් ලෝකයේ ප්‍රමුඛස්ථානයට ගෙන ඒමට පුළුවන් බවට මට පෞද්ගලිකව ලොකු විශ්වාසයක් තිබෙනවා. ඒ සඳහා සෑහෙන්න වියදම් කළ යුතුයි. අනෙකුත් ක්ෂේත්‍රවල මෙන්ම මෙහිදීත් කාන්තාවන්ට දෙවැනි තැන දී තිබීම නැති කළ යුතුයි. අපගේ හොඳම තණතිලිවල ක්‍රීඩා කිරීමටත්, සුරක්ෂිත ස්ථාන ලබා ගැනීමටත් ඔවුන්ට අවස්ථාව සැලසිය යුතුයි.

අපගේ දීර්ඝකාලීන සැලැස්ම පාසල් මට්ටමේ සිටම බලන එකයි. ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සමග සාකච්ඡා කරමින් ඔවුන්ගේ සහ අපගේ වගකීම් මොනවාදැයි බලනවා. දරුවන්ගේ සෞඛ්‍යය, පෝෂණය, ශාරීරික යෝග්‍යතාව සහ පුහුණුවීම් වැනි අංග සම්පූර්ණ කිරීමට පාසල් ක්‍රිකට් සංගමය මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද සම්බන්ධ විය යුතුයි.

කලින් සිදුවූයේ තේරීම් කමිටු සාමාජිකයකු තරගයක් නරඹා ක්‍රීඩකයන් තෝරාගැනීමයි. නමුත් අද දත්ත එකතු කිරීම සහ විශ්ලේෂණය කිරීම වැනි විද්‍යාත්මක පදනමක් ඊට තිබෙනවා. මේ වන විට ඒ සම්බන්ධයෙන් අප දුර්වලයි. දත්ත මධ්‍යස්ථානයක් තිබුණත් ලෝකයේ දියුණු ක්‍රමවේද අප සතුව නැහැ.

පාසල් මට්ටමේ සිටම මෙය කළ හැකියි. පහළ සිට ඉහළට එනවිට තොරතුරු ලැබීම පහසුයි. මේ අනුව ඉදිරියේදී යම් දුරක් යන තෙක් තේරීම් සිදුවන්නේ තාක්ෂණය හරහායි. නමුත් සියල්ල තාක්ෂණයෙන් පමණක් කළ නොහැකියි. ඊට පුද්ගල බුද්ධිය සහ දැනුම අවශ්‍යයි. දත්ත විශ්ලේෂණය නැතිව තර්ක කළ නොහැකියි. ඉදිරියේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ රටාව සෑහෙන්න වෙනස් වීමට නියමිතයි.

Q මේ කරන කතාබහෙන් සිතෙන්නේ ඔබ තව වසරක් පමණ මෙහි සිටිනු ඇති බවයි. එහෙම අදහසක්, යෝජනාවක් හෝ ආරාධනයක් තිබෙනවා ද?

නැහැ, පෞද්ගලිකව මගේ කිසිම අදහසක් නැහැ එහෙම ඉන්න. අපට මේ වෙනස කරන්න ඕනේ, එපමණයි. මුලින්ම නීති රාමුව සහ ව්‍යවස්ථාව වෙනස් කර, ඊට පසු කළමනාකාරීත්වය සහ මූල්‍ය වගකීම් සකස් කරනවා.

මූල්‍ය වගකීම් සකස් කිරීමට දිනාල් ෆිලිප්ස් මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් කමිටුවක් තිබෙනවා. ඊට ප්‍රසිද්ධ සමාගම්වල ඉහළ තනතුරුවල සිටි පිටත විශේෂඥයන් ගෙනැවිත් තිබෙනවා. ඔවුන් මුල සිටම මූල්‍ය කටයුතු බලනවා.

ආදායම් පාර්ශ්වය විගණනය කර බලනවා. කාලයක් තිස්සේ ලැබීමට තිබූ ආදායම් ඉක්මනින් ලබාගන්නා ක්‍රමවේද සහ ආදායම් වැඩි කරගන්නා ක්‍රමවේද බලනවා. අනෙක් පසින් වියදම් පාර්ශ්වයේදී ප්‍රමුඛතාව දිය යුත්තේ කුමන වියදම්වලටදැයි බලනවා. ඩිජිටල් ක්‍රමවේද යොදවා කඩදාසි භාවිතය අඩු කිරීමෙන් පාරදෘශ්‍යබව සහ වගවීම වැඩි කරගත හැකියි.

කළමනාකාරීත්ව පාර්ශ්වයෙන් ඉහළ කළමනාකාරීත්වයේ සිටම සැමට වගකීම් තිබිය යුතුයි. උසස්වීම් සහ වැටුප් වැඩිවීම් දීමේදී ඒවා ඉටු කර තිබේදැයි බලනවා. නාස්තිය අවම කිරීමට සහ සේවක පිරිස් කාර්යක්ෂමදැයි බලනවා. මේ සියල්ල කරන්නේ පාසල් දරුවන්ගේ සිට ක්‍රිකට් වර්ධනයට ඉතිරි කරගන්නා සෑම රුපියලක්ම යෙදවීමේ එකම අරමුණින්.

Q ශ්‍රී ලංකාවේ විස්සයි20 ක්‍රිකට් පසුබැසීමක් තිබෙනවා. ක්‍රීඩකයන්ගේ ආකල්පවල ප්‍රශ්නයක් ඇති බවත් මුදලට මුල්තැන දෙන බවත් කියනවා. මේ ගැන අදහස කුමක්ද?

ක්‍රිකට්වල දැන් ලොකු වෙනසක් වී තිබෙනවා. විස්සයි20 හි යම් අඩුපාඩුවක් ඇති බව පිළිගත යුතුයි. අපේ ක්‍රිකට් භාරව සිටින අයත් එය පිළිගෙන ඉදිරි තීරණ ගනු ඇතැයි සිතනවා.

ගොඩක් දේවල් තීරණය වන්නේ මුදලින් බව ඇත්ත. අප සෙල්ලම් කළේ පාසල සහ රට වෙනුවෙන්. අපි ක්‍රිකට් ගසා අවසන් වූ පසු වෘත්තියක් හෝ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමු වුණා. නමුත් අද ක්‍රිකට් ගහන කෙනා සිතන්නේ මුළු ජීවිත කාලයටම ක්‍රිකට් ගහන බවයි. කණ්ඩායමකට ක්‍රීඩා කළත් වයස 35 පනින විට ක්‍රීඩා කරන කාලය අවසන් වෙන බව දන්නවා. එවිට ඔවුන් පුහුණුකරුවකු, විනිසුරුවකු හෝ ශාරීරික උපදේශකයකු වී වයස 55-60 වන තෙක් ක්‍රිකට් ක්ෂේත්‍රයේ රැඳී සිටීමට සිතනවා.

ක්‍රීඩකයන්ගේ පැත්තෙන් බැලූ විට එහි වරදක් නැහැ. මීට වසර 30කට පෙර එසේ නොසිතුවත් අද එසේ සිතනවා. ඔවුන්ටත් ආදායමක් අවශ්‍යයි. අතීතයේ තීරණ ගත්තේ රට හෝ පාසල වෙනුවෙන්. දැන් ක්‍රීඩකයන් තීරණ ගන්නේ ඒ සඳහාම පමණක් නෙමෙයි. ඔවුන්ට ගෙදර අවශ්‍යතා, වාහන ලීසිං, ණය සහ දරුවන්ගේ අධ්‍යාපනය වැනි දේ තිබෙනවා.

මෙතැනදී රට වෙනුවෙන් පෙනී සිටීම සහ තමන් වෙනුවෙන් පෙනී සිටීම කියන ප්‍රශ්නය තියෙනවා. මෙය ක්‍රිකට්වලට හෝ ලංකාවට විතරක් සීමා වූ එකක් නෙමෙයි, ලෝකය පුරාම තියෙනවා. වෙනත් රැකියාවල සිටින අය පවා විදේශගත වන්නේ තමන් ගැන සිතලාද රට ගැන සිතලා ද කියා බැලිය යුතුයි.

හැබැයි රාජ්‍ය සේවයේ අයට වගේම ක්‍රීඩකයන්ටත් රට වෙනුවෙන් වගකීමක් තියෙනවා. මන්ද ඔවුන් ඉහළටම පැමිණියේ රටේ කොඩිය නිසයි. ඒ සඳහා යටිතල පහසුකම් ඇතුළු බොහෝ දේට රටේ සල්ලි  වියදම් කර තිබෙනවා. ඉදිරියේදි රට ප්‍රමුඛ කර තීරණ ගන්නා රාමුවක් අප ගෙන ආ යුතුයි. අප ඒ ගැන සාකච්ඡා කරමින් සිටිනවා.

Q මේ කෙරෙන වෙනස්කම්වල කෙටිකාලීන සහ දීර්ඝකාලීන ප්‍රතිඵල අපට කවදා දකින්න ලැබෙයි ද?

මට කාල රාමූ දිය නොහැකියි. නිවසක් සාදන විට අත්තිවාරම නිවැරදිව දැමිය යුතුයි. අප හොඳ අත්තිවාරමක් දමමින් සිටිනවා. මා සමග වැඩ කරන කණ්ඩායම ඉතා හොඳ පිරිසක්. අත්තිවාරම මත අප ගොඩනැගිය යුතුයි. නිශ්චිත කාලයක් කිව නොහැකි වුවත්, තව වසර දෙකක පමණ කාලයකදී යම් ප්‍රතිඵලයක් දැකගත හැකි වෙයි. එක්දින ලෝක කුසලානයට තව වසරක් තිබෙනවා. ඒ වන විට අප ඉහළ තැනකට යනු ඇතැයි විශ්වාසයක් තිබෙනවා.

Q ක්‍රීඩා ලෝලීන්ට කියන්න තියෙන්නේ කුමක්ද? තව වසරක් දෙකක් ඉවසන්න කියා ද?

දරුවන් එකපාරටම උසස් පෙළට දාන්න බැහැ. සාමාන්‍ය පෙළ සාදාගෙන පිළිවෙළට තමයි උසස් පෙළට දාන්නේ. මෙතැනදීත් එවැන්නක් සිදුවන බව මම විශ්වාස කරනවා. එය ලේසි නැහැ, නමුත් ඉහළම ප්‍රතිඵල ලබාගත හැකි වෙයි. අපට යාමට සිදුවන්නේ ඒ ක්‍රමය හරහායි.

Q දැන් ව්‍යවස්ථාව හදලා ඉවරයි. මීළඟ ක්‍රිකට් නිලවරණය කවදාද? 

මුලින්ම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ සම්මත විය යුතුයි. තව සතියකින් විතර ඒක පාර්ලිමේන්තුවේ සභාගත කරයි. එයින් පස්සේ අවස්ථාව තිබෙනවා රටේ පුරවැසියන්ට පනත ගැන තර්ක කරන්න. අවශ්‍ය නම් අධිකරණය හමුවට යන්න.  ඒ සම්බන්ධ කටයුතුවලට තවත් සති දෙකක් පමණ යනවා. මේ ටික කරලා ඉවර වෙද්දී ඔක්තෝබර් මාසය අවසන් වෙයි. ඊට පස්සේ තමයි පාර්ලිමේන්තුවේ වාද විවාද කරලා මෙය නීතියක් හැටියට සම්මතකරගන්න වෙන්නේ. සම්මත වුණොත් එය සිදුවන විට නොවැම්බර් මාසය පමණ වෙයි. මෙය සම්මත වුණොත් ඊට පස්සේ නිලවරණයට සූදානම් විය හැකියි. එහි කටයුතු කිහිපයක්ම තිබෙනවා. උදාහරණයකට නව සාමාජිකයන් ලියාපදිංචිය, නාමයෝජනා කැදවීම වැනි දේට තවත් කාලයක් යනවා. ඊට පස්සේ තමයි ක්‍රිකට් පරිපාලනයට කණ්ඩායමක් පත්වෙන්නේ. මේක තමයි ක්‍රමවේදය. මේක නීතියක් ලෙස සම්ම්මත වුණොත් එය නොවැම්බරයේ දී සිදුවෙයි. අලුත් පාලක මණ්ඩලය ඊට​ මාස දෙකකට පමණ පස්සේ පත්වෙයි කියලා කියන්න පුළුවන්.

කාංචන දසනායක