
“සම්පන්න සීලෝ විහරථ භික්ඛවේ – සම්පන්න පාතිමොක්ඛෝ විහරථ පාතිමොක්ඛ සංවර සංවුතෝ
ආචාර ගෝචර සම්පන්නෝ – අණුමත්තේසු වජ්ජේසු භයදස්සාවී සමාදාය සික්ඛථ සික්ඛාපදේසු”
(සීල සම්පන්නව, ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් යුක්තව, විනයගරුකව, කුඩා වරදෙහි පවා බිය දකිමින් ශික්ෂා පද සමාදන්ව වෙසෙන භික්ෂුව මුළු මහත් සාසනයම ඒකාලෝක කරන පහන් ටැඹක් බඳුය.)
සම්බුද්ධ ශාසනය රැකෙන්නේත්, බබළන්නේත් ප්‍රතිපත්තිගරුක, විනයධර මෙන්ම ධර්මධර සංඝ පීතෘන් වහන්සේලාගේ අමිල කැපවීම මතය. සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසාත්, අසහනයෙන් පිරි ලෝකයේ මිනිස් සිත් සතන් නිවාලනු පිණිසත් දිවි හිමියෙන් ඇපකැප වී ක්‍රියා කරන යතිවරයන් වහන්සේලා අතර, තලල්ලේ චන්දකිත්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේට හිමිවන්නේ සුවිශේෂී ගෞරවණීය ස්ථානයකි.
2026 වසර සනිටුහන් වන්නේ උන්වහන්සේගේ උදාරතර පැවිදි දිවියට වසර තිස් අටක් (38) සපිරෙන අසිරිමත් ඓතිහාසික සංධිස්ථානයක් ලෙසිනි. ගෙවී ගිය ඒ තිස් අට වසරක පාරිශුද්ධ ශාසනික ජීවිතය, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අත්හැරීම, කැපවීම, ශාස්ත්‍රීය ඥානය සහ අපරිමිත සමාජ සත්කාරයන්ගෙන් සුසංයෝගී වූ අගනා වෘත්තාන්තයකි.
දකුණු ලක රුහුණු පුරවරයේ, ඓතිහාසික හා සංස්කෘතික උරුමයන්ගෙන් සුපෝෂිත මාතර තලල්ල නමැති මනරම් ගම් පියසේ උපත ලද පින්වත් කුමරෙකු වූ උන්වහන්සේ, ළමා වියේ සිටම සත්ගුණවත් බෞද්ධ පරිසරයක හැදී වැඩුණි. සැදැහැති, ගුණගරුක මවුපිය දෙපළකගේ උතුම් සෙනෙහස හා රැකවරණය මධ්‍යයේ ගොඩනැගුණු ඒ ළමා මනස තුළ ලෞකික භෝග සම්පත් කෙරෙහි වූයේ දැඩි උපේක්ෂාවකි.
ගිහි දිවියේ තාරුණ්‍යය සතු සියලු ආශාවන්, ධන ධාන්‍ය සම්පත් හා පවුලේ සුවපහසු බැඳීම් මධ්‍යයේ වුවද, සංසාරික පුරුද්ද හා පෙර පින් බලය මතු කරමින් සම්බුද්ධ ශාසනයේ සදාතනික රැකවරණය පතා උන්වහන්සේ උතුම් ප්‍රව්‍රජ්‍යා භූමියට ඇතුළත් වූහ. තම දයාබර පුතණුවන් සසුනඹරට පූජා කළ ඒ උතුම් මවුපියන් කළ මහඟු පරිත්‍යාගය, අද දවසේ මුළු මහත් රටටත් ලෝකයටත් දහම් සිසිල බෙදන මහා වෘක්ෂයක මූලාරම්භය විය.
ශාසන ඉතිහාසයේ අමරණීය නාමයක් සනිටුහන් කළ මඩිහේ පඤ්ඤාසීහ මහා නායක මාහිමිපාණන් වහන්සේ වැනි යුග පුරුෂයන්ගේත්, මහරගම ධම්මසිරි නාහිමි, ගංගොඩවිල සෝම හිමිපාණන් වැනි සම්භාවනීය යතිවරයන්ගේත් ගුරු ආශ්‍රය, සෙවණ සහ ආදර්ශය ලබන්නට උන්වහන්සේ භාග්‍යවන්ත වූහ. බම්බලපිටිය සිරි වජිරාරාමය හා මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය කේන්ද්‍ර කරගත් ඒ උතුම් ශික්ෂණ සම්ප්‍රදායෙන් කුඩා කල සිටම දිනපතා බුද්ධ වන්දනාවේ සිට සීල, සමාධි, ප්‍රඥා ගුණධර්ම ප්‍රගුණ කිරීමට චන්දකිත්ති හිමියෝ සමත් වූහ.
නුවණින් මුහුකුරා යමින්, කුඩා අවධියේදීම ප්‍රාචීන භාෂා ශාස්ත්‍ර හැදෑරූ උන්වහන්සේ, මෙරට ප්‍රාචීන අධ්‍යාපනයේ ඉහළම කිරුළ වන 'රාජකීය පණ්ඩිත' උපාධියෙන්ද, අනතුරුව ශාස්ත්‍රපති උපාධියෙන්ද පිදුම් ලැබූහ. ත්‍රිපිටක ධර්මය, පාලි, සංස්කෘත සහ සිංහල භාෂා සාහිත්‍යය පිළිබඳ ගැඹුරු ප්‍රාමාණික දැනුමකින් සන්නද්ධ වූ උන්වහන්සේගේ ශාස්ත්‍රීය පරිණතභාවය, උන්වහන්සේගේ පසුකාලීන ධර්ම දේශනා හා ශාසනික මෙහෙවර විද්වත් තලයකට ඔසවා තැබීමට ප්‍රධාන පදනම විය.
නූතන විද්‍යාත්මක ලෝකයේ තාක්ෂණය දියුණු වුවද මිනිසා මුහුණ දෙන මානසික පීඩනය, ආතතිය හා අසහනය ඉහළ ගොස් ඇත. මෙවන් පසුබිමක බුදුදහමේ ගැඹුරු හරය, නූතන මිනිසාට ප්‍රායෝගිකව ජීවිතයට ගළපාගත හැකි අයුරින් සරල, සුගම, සහ තර්කානුකූල ශෛලියකින් දේශනා කිරීමට තලල්ලේ චන්දකිත්ති හිමියන් දක්වන දක්ෂතාව අතිමහත්ය.
නවීන සන්නිවේදන මාධ්‍ය උපයෝගී කරගනිමින් දෙස් විදෙස් ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ නිවෙස් කරා බුදුදහමේ පණිවිඩය ගෙන යාම, ධර්ම ග්‍රන්ථ රැසක් සම්පාදනය කරමින්ද, ජාතික පුවත්පත් සඳහා ශාස්ත්‍රීය හා ආදර්ශවත් ලිපි සැපයීමෙන්ද පාඨක ප්‍රජාවගේ ධර්ම ඥානය පුළුල් කිරීම, යුරෝපය, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, ආසියාව ඇතුළු ලොව විවිධ රටවල වෙසෙන විදේශිකයන්ට මෙන්ම ලාංකික ප්‍රජාවට බුදුදහමේ මූලික හරය පහදා දෙමින් ලෝක තලයේ සම්බුදු සසුන ප්‍රචලිත කිරීමට චන්දකිත්ති හිමියන් දක්වන දායකත්වය අමිලය.
පූජ්‍ය තලල්ලේ චන්දකිත්ති නාහිමිපාණන්ගේ ශාසනික ජීවිතයේ තවත් අතිශය වැදගත් සන්ධිස්ථානයක් වන්නේ අලව්ව පැණසිහ භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘ, ප්‍රධාන අනුශාසක සහ කර්මස්ථානාචාර්ය ධුරය හොබවමින් සිදුකරන මහා අධ්‍යාත්මික විප්ලවයයි.
අධික කලබලකාරී සමාජ රටාවෙන් මදකට මිදී, නිස්කලංක ආරණ්‍ය සේනාසන පරිසරයක සිත එකඟ කරගැනීමට කැමැති ගිහි පැවිදි උතුමන් උදෙසා නේවාසික භාවනා වැඩසටහන් මෙහෙයවමින් සිත දමනය කරගන්නා ආකාරය උන්වහන්සේ කියා දෙති. සතිපට්ඨාන ධර්මය ප්‍රායෝගිකව ජීවිතයට මුසු කරමින්, කෙලෙස් තවන මග විවර කරදෙන උන්වහන්සේගේ කර්මස්ථාන උපදෙස් දහස් සංඛ්‍යාත ජනයාගේ ජීවිතවලට ආලෝකයක් වී ඇත.
භික්ෂුව යනු සමාජයෙන් යැපෙන්නකු පමණක් නොව සමාජයට පිහිට වන්නකු බව චන්දකිත්ති හිමියෝ සිය ප්‍රායෝගික ක්‍රියාකාරකම් මගින් සනාථ කරති. උන්වහන්සේගේ මූලිකත්වයෙන් දියත් වන සමාජ සේවා ව්‍යාපෘති අතර ස්වාභාවික විපත්වලදී මෙන්ම ආර්ථික දුෂ්කරතාවලදී අසරණ වූ පවුල් සඳහා ස්ථිර නිවාස ඉදිකර දීම සහ වියළි ආහාර බෙදාදීම, රෝහල් ප්‍රතිසංස්කරණය කිරීම, රෝහල් වාට්ටු නවීකරණය, වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම සහ මානසිකව වැටී සිටින රෝගීන්ට ආශිර්වාද සෙත් පිරිත් දේශනා පැවැත්වීම, අඩු ආදායම්ලාභී පවුල්වල ගර්භණී මාතාවන් සඳහා පෝෂණ මලු සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රදානය කිරීමේ පුණ්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, දුෂ්කර පළාත්වල පිහිටි විහාරස්ථාන සඳහා දානශාලා, ආවාස ගෙවල්, චෛත්‍ය හා සනීපාරක්ෂක පහසුකම් ලබාදෙමින් ශාසනයේ මූලික පදනම ශක්තිමත් කිරීම, අනාගත සසුන රැකගැනීම උදෙසා විනයගරුක නව පරපුරක් නිර්මාණය කිරීමට සාමණේර හිමිවරුන්ට අවවාද අනුශාසනා හා පහසුකම් සැලසීම ආදිය පෙන්වා දිය හැකිය.
"සංසාරය යනු ගලා බස්නා ගංගාවක් බඳුය. ගලා යාම එහි ස්වභාවයයි. එය නවතාලිය නොහැකිය. එනමුත් ඒ ගලා යන ජලයෙන් අපමණ වැඩ ගත හැකිය. නිවන් දකිනා තුරු ගෙවෙන කාලයෙන් ලබන ජීවිතයෙන් වැඩ ගැනීම ප්‍රඥාවන්තයාගේ ලක්ෂණයයි."
උන්වහන්සේ නිරතුරුවම සිහිපත් කරන්නේ සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවය මෙනෙහි කරමින් මොහොතක් පාසා ගෙවී යන මිනිස් ජීවිතය තුළ නොගෙවෙන දහම් ශක්තියක්, පාරමී ධර්මයක් ගොඩනගා ගත යුතු බවයි. තාරුණ්‍යයේ සිටම පරාර්ථකාමීත්වය පෙරදැරිව ජීවත් වූ උන්වහන්සේ, එම ධර්මෝපදේශ තමන් වහන්සේගේ ජීවිතයෙන්ම ප්‍රායෝගිකව ආදර්ශයට නංවා ඇත.
චිරාත් කාලයක් සම්බුදු සසුන බබළවන්නට ආශිර්වාද!
වසර 38 ක් මුළුල්ලේ එක්රැස් කරගත් ඒ අපරිමිත ශාසනික, ශාස්ත්‍රීය හා සාමාජීය කුසල මහිමයේ බලයෙන්, අපගේ ගෞරවනීය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නීරෝගී සුවයත්, චිරජීවනයත්, සසුන් කෙත අස්වද්දන්නට තව තවත් ශක්තිය හා ධෛර්යයත් ලැබේවා! කෙළවර උතුම් අමා මහ නිවන් සම්පත්තියෙන් සැනසෙන්නට මේ උතුම් පින් හේතු වාසනා වේවායි මුළු මහත් ලෝකවාසී සැදැහැති බොදු ජනයා සාදු නාදයෙන් ප්‍රාර්ථනා කරති.
තෙරුවන් සරණයි!
පිලිමතලාව හලාදිවල වෙල සිරිනිකේතාරාමාධිපති
රාජසිංහගම තිලකධම්ම හිමි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd