මජං හෝදා ජීවිතය ඇරඹූ ව්‍යවසායකයා

‘රෝද තුනක් උඩ සිහින ගොඩක් ඇත’ යනු අද බොහෝ ත්‍රීරෝද රථයක් පිටුපස ගසා ඇති පාඨයකි. ලෝකයේ ත්‍රීවිල් වෙළඳපළ තුළ මුලින්ම ජයකෙහෙළි නැංවූයේ ඉතාලියයි. එත් ඉන්පසු එම ත්‍රීවිල් ව්‍යාපාර ලොවේ රජ කළේ ඉන්දියාවයි. ඉන්දියාව ආසියානු රටවල පමණක් නොව යුරෝපීය රටවල පවා ත්‍රී රෝද රථ වෙළඳ ඒකාධිකාරයක් පිහිටුවා ගත්තේය.

අද ලංකාවේ බහුතරයක් ත්‍රීරෝද රථයක් හිමිකර ගන්නේ ෆිනෑන්ස් හෝ ලීසිං පහසුකම් ලබා ගැනීමෙනි. ඉතා සුළු තැනකින් ජීවිතය පටන් ගත් මෙරට පොදු ජනතාවට ලංකාවේ හදන ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථයක් දැන් මිල්ටන් හඳුන්වා දෙන්නේ ජනතාවට පෙට්‍රල් ගහන සල්ලි, එන්ජින් ඔයිල් සල්ලිවලටත් වඩා රෙපੇයාර්වලට යන සල්ලි ඉතුරු කරගෙන ඒ සල්ලිවලින් ෆිනෑන්ස් එක ගෙවා තමන්ගේම දේශීය ඉලෙක්ට්‍රික් ත්‍රී රෝද රථයක් හිමිකර ගැනීමටය. අද ලංකාවේ මිල්ටන් නම් වූ ව්‍යවසායකයා ඉන්දීය ත්‍රීරෝද ඒකාධිකාරයට අභියෝග කරමින් විදේශීය වෙළඳපළට පිවිසෙන්නේ ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් ලංකාවේ නිපදවමින් කුමාරතුංග මුණිදාසයන් කී “අලු‍ත් අලු‍ත් දෑ නොතනන ජාතිය ලොව නොනැගියි”‍ යන කියමන සිහි ගන්වමිනි.

“අපි අපේ රටේ හදපු ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් එක විදේශ වෙළඳපළට යොමු කරනකොට ඒ රටවල් අහපු ප්‍රධාන ප්‍රශ්නය තමයි උඹලගේ රටේ කොච්චර මේ ත්‍රීවිල් පාවිච්චි කරනවාද කියන එක. ඒක නිසා අපට මුලින්ම සිද්ධ වුණා දේශීය වෙළඳපොළට ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එක යොමු කරන්න,”‍ මිල්ටන් අප සමඟ කතාවට එක්විය.

රෝද තුනක් උඩ සිහින ගොඩක් ඇති බව කලින්ම කිව්වත් මිල්ටන් තම ජීවිතය ආරම්භ කළේ සිහින ලෝකයකින් නම් නොවේ. ඔහු මේ තැනට ආවේ දැඩි දුෂ්කර ජීවිතයක් කැපකිරීමෙන් ජයගැනීමෙනි. එම දුෂ්කර ජීවිතයේ ආරම්භය ගැන සටහනක් තැබුවේ නැත්නම් එය අනාගතයේ දිළිඳු පවුලකින් බිහි වී ජාත්‍යන්තර ප්‍රකෝටිපතියන් බිහිකරන්නට කරන අසාධාරණයක් වනු නියතය. ඊටත් වඩා මිල්ටන් වැනි ව්‍යාපාරිකයන් මේ ත්‍රීරෝද ව්‍යාපාරයට පිවිසෙන්නේ තුන්කල් බලා නම් නොවේ.

මෙම ව්‍යවසායකයා වන එච්.බී. මිල්ටන්ගේ උපන් ගම වූයේ මාතර හක්මනය. ඒ කිව්වේ හේවා බ්‍රාලගේ නම් පෙළපත් නාමයයි. මිල්ටන් පවුලේ වැඩිමලා වූ අතර ඔහුට බාල මල්ලිලා සහ නංගිලා තුන බැගින් සිටියි. ඔහු 1986 සිට 1989 දක්වා පැවති භීෂණ සමය වන විට මිල්ටන් හක්මන රඳාවෙල කනිෂ්ඨ විද්‍යාලයෙන් පාසල් දිවියට සමුදුන්නේ තමන්ගේ නංගිලා මල්ලිලා හය දෙනාට ඉගෙනීමට මුදල් අවශ්‍ය වූ නිසාය. කොළඹ යන්නට සල්ලි නැති නිසා මිල්ටන් කළේ තමන් නිවසේ සුරතලයට ඇති කළ රට හවුන් හතළිස් පහක් රුපියල බැගින් කඬේකට විකිණීමය.

මිල්ටන්ගේ මහප්පා වූයේ එච්.බී. සිරිවර්ධනය. ඔහුගේ කොළඹ නවාතැන වූයේ ජනප්‍රිය ඡායාරූප ශිල්පියකු වූ ගාමිණි මෙන්ඩිස්ගේ හෝමාගම නියඳගල නිවාසයයි. මිල්ටන් මුලින්ම කොළඹ ආවේ තම මහප්පා සමඟ අලු‍තින් හදන ගාමිණි මහත්තයාගේ ගෙදර මේසන් වැඩපළට අත්උදව් දීමට බව මිල්ටන් කීවේ සිනාසෙමිනි. මිල්ටන්ගේ මහප්පා වැඩ කළේ එකල කාටුන් ඇන්ද කැමිලස් පෙරේරාගේ ‘කැමිලස් පබ්ලිකේෂන්’ ආයතනයේය.

දිනක් මිල්ටන් ද තම මහප්පා සමඟ දෙමටගොඩ කැමිලස් පබ්ලිකේෂන් ආයතනයට ගියේ තම ජීවිතයේ හැරවුම් ලක්ෂය ඒ වේයැයි සිතානම් නොවේ. කැමිලස්ගේ මස්සිනා වූ ක්‍රියා මිස් වැඩ කළේඑකල බජාජ් ත්‍රීවිල් ලංකාවට ගෙනාවේ එම ආයතනයයි. මිල්ටන්ට බජාජ් කොම්පැනියේ කම්කරු රැකියාව කරන ගමන් බජාජ් රථ අලු‍ත්වැඩියා කරන මැකෑනික්ලාට අත්උදව් දෙමින් මිල්ටන් ත්‍රීවිල් මැකෑනික් සාස්තරය ටිකෙන් ටික අල්ලා ගත්තේ ශූර ලෙසය.

බජාජ් ෆැක්ටරියේ ලොක්කන් වූයේ විජේරත්න සහ මොල්ලිගොඩය. මිල්ටන්ගේ වැඩ දෙස බලා සිටි ඔවුන් මෙසේ කීය. “මිල්ටන් මොලේ තියන එකෙක්. මිකෑනික් හෙල්පර්  ජොබ් එකකට ට්‍රාන්සර් කරන්න.”‍

ඬේවිඞ් පීරිස් හරහා ගිය ගමන

මැකෑනික් ජොබ් එක භාර ගනිද්දී කොම්පැනියේ නම ඩේවිඞ් පීරිස් මෝටර් කොම්පැනි ලෙස වෙනස් විය. එවකට හයිඩ් පාර්ක් හි පිහිටි ඬේවිඩ් පීරිස් කොම්පැනියට යාමට මිල්ටන් නවාතැන් ගත්තේ ජනප්‍රිය නිළියකු වූ පුෂ්පරාණි ආරියරත්නගේ ඩාලි පාරේ පිහිටි නිවසේ කාමරයකය.

“දැන් කාලේ වගේ නෙවෙයි. ඒ කාලේ කන්න බොන්න දී නවාතැන් ගාස්තුව රු. 750ක් ගෙවා ගත්තේ බොහොම අමාරුවෙන්,”‍ මිල්ටන් තම දුෂ්කර අතීතය අපට කියද්දී කර්මාන්තශාලාවේ අලු‍තින්ම නිපදවන ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථ නිමවෙමින් පේළියට තනිව පරීක්ෂාවට ලක්වූයේ යන්ත්‍රානුසාරයෙන්, පරිගණක පද්ධතියක් ආශ්‍රයෙනි.

මෙම වකවානුවේ ඉන්දියාවෙන් ගෙනා ත්‍රිරෝද රථවල ඉන්දියාවේදීවත් අලුත්වැඩියා කර ගත නොහැකි ලෙඩ මිල්ටන් රෙපෙයාර් කළේ ඉන්දීය ඉංජිනේරුවන්ද මවිතයට පත්කරමිනි. අන්තිමේ දී මිල්ටන්ගේ දක්ෂතා නිසා ෆෝමන් තනතුරක් දක්වා උසස් කරන ලදී. එමෙන්ම 1987 දී රු. 50ක පඩියකට බජාජ් කොම්පැනියට සේවයට ගිය මිල්ටන්ව ෆෝමන් තනතුරක් සමඟ රු. 10,500ක වැටුප් තලයට ඔසවා තැබුණේ වසර 2000 දී බව මිල්ටන් කියයි.

“මම 2000 දී එකෙන් අයින් වුණා. මට ඉංග්‍රීසි බැහැ. ඒ ෆෝර්මන් ජොබ් එකට ඉංග්‍රීසි ඕනෙමයි. ඉංග්‍රීසි පන්ති කිහිපයකටම ගියා. ඒත් අල්ලගන්න බැරි වුණා. මට ඉංග්‍රීසි බැහැ කියන්න මම බය නැහැ. ඒකටත් එක්ක මගේ දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය විශිෂ්ට ලෙස මම ලබා දුන්නා.”‍

2010 දී මිල්ටන් තම ස්වෝත්සාහයෙන් මිල්ටන් මෝටර්ස් ආයතනය ආරම්භ කරන ලදී. මේ වකවානුවේ 2012 දී ඩේවිඞ් පීරිස් සමාගමේ ටැන්සානියා ශාඛාව වසා දමන ලදී. ටැන්සානියාවේ සිටියේ මිල්ටන් සමඟ සිටි සමකාලීනයන් පිරිසකි. ඔවුන්ගේ ආරාධනයෙන් ටැන්සානියාවට යන මිල්ටන් එරට ලේයියා නම් වූ ව්‍යාපාරිකයා සමඟ එක්වී ව්‍යාපාරය ආරම්භ කරන ලදී. ටැන්සානියාවට ඉන්දියාවෙන් ආනයනය කරන බජාජ් අමතර කොටස් මුහුදු සුළඟ නිසා ඉක්මනින් මලකඩ දිරාපත් විය. මිල්ටන් බජාජ් ත්‍රීවිලරයේ එන්ජිම හැර බොහෝ කොටස් මල නොකන ලෝහයෙන් නිෂ්පාදනය කිරීමට අතගැසුවේය. මේ සඳහා අවශ්‍ය සින්ක් කෝටඞ් තහඩුව මිල්ටන් මිලදී ගත්තේ ජපානයෙනි. ඒ අතරේ ලංකාවේ මිල්ටන්ගේ ව්‍යාපාර බලාකියා ගත්තේ මිල්ටන්ගේ භාර්යාව විසිනි. නමුත් කෝටි සිය ගණනක අලාභයක් සිදුවෙමින් ටැන්සානියානු ව්‍යාපාරයේ අයිතිය මිල්ටන්ට අහිමි විය. නමුත් පසුබෑවේ මිල්ටන් නොවේ. මිල්ටන් අලු‍ත් වැඩකට අතගැසුවේය.

පොල්ගස්ඕවිට විදුලි ත්‍රීවිල් විප්ලවය

දැනට ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් තනන මිල්ටන්ගේ කර්මාන්තශාලාව පිහිටි පොල්ගස්ඕවිට ෆැක්ටරිය පටන් ගත්තේ කිසිදු රාජ්‍ය අනුග්‍රහයක් නැතුව ලක්ෂ හත්සීයක බැංකු ණයකිනි. එහි දැන් ඇති යන්ත්‍රෝපකරණවල වටිනාකම කෝටි පනහකට අධිකය. බැංකු ණය සඳහා ලංකා බැංකුව, පෑන් ඒෂියා සහ වැලිබල් ෆිනෑන්ස් මිල්ටන්ට මූල්‍ය අනුග්‍රහය දක්වා ඇත.

“ඉතින් කොහොමද මේ ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් හදන්න පටන් ගත්තේ කියලා තාම අපිට කිව්වේ නැහැනේ,”‍අපි මිල්ටන්ගෙන් ඇසුවෙමු.

“තෙල් අර්බුද කාලේ ෆැක්ටරියට බඩුවක් ගේන්නවත් වාහනයක් නැතිවුණා. මම රුපියල් 260,000ක් දීලා රට යන කෙනෙකුට කියලා ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් මෝටරයක් ගෙන්වා ගත්තා. එතන තමයි ආරම්භය.”‍

මිල්ටන්ගේ පළමු ඉලෙක්ට්‍රික් මෝටරය සවිකළේ ලංකාවට ආනයනය කළ පළමු බජාජ් ඩීසල් ත්‍රීරෝද රථයටය. ත්‍රීවිලරයට ඉලෙක්ට්‍රික් මෝටරය සවිකළත් ඊට එහා තාක්ෂණයක් දැන ගැනීමට මිල්ටන්ට අවශ්‍ය විය. ඔහු තම අවශ්‍යතාව මොරටුවේ සිටින වෙල්ඩින් වැඩ කරන තම මිතුරෙකු වූ තුෂාරට දන්වන ලදී.

“මම අදත් සිහි කරනවා. මට මොරටුව යුනිවර්සිටි එකේ ඩොක්ටර් චතුර අල්විස් හඳුන්වා දුන්නේ තුෂාර.  චතුර සර්ගේ ගෙදරට ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් එක ඇදගෙන තමයි ගියේ.”‍ දවස් තුනකින් ආචාර්ය චතුර ත්‍රීරෝද රථය ස්ටාට් කර පෙන්වන ලදී. මේ ත්‍රීවිලරයට සවිකޮර තිබුණේ වොට්  72 ඇම්පියර් 80 බැටරියකි. විනාඩි තිහක් චාජ් කළ විට කිලෝමීටර් 80ක් මෙම මුල් ත්‍රීවිලරයේ ගමන් කළ හැකි විය. මිල්ටන්ගේ මීළඟ අරමුණ කිලෝමීටර් 200ක් ධාවනය කළ හැකි ඉලෙක්ට්‍රික් ත්‍රීවිලරයක් නිෂ්පාදනය කිරීමය.

”‍තෙල් අර්බුදය කාලයේ ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් එක චතුර සර් ස්ටාර්ට් කළේ මැයි 13 වැනිදා. සත පහක් ගත්තේ නැහැ. තෙල් පෝලිම්වල මිනිස්සු දුක් විඳිනවා. මේ ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එක හදලා මිනිස්සුන්ට සහනයක් දෙන්න කිව්වා විතරයි.”‍

මේ අතර මිල්ටන් ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එකක් නිපදවන බව වරක් ආර්.ඩී.බී බැංකුවේ කළමනාකාරිනිය දැනුවත් වී තිබුණි. ඒ වන විට ආර්.ඩී.බී බැංකුවෙන් ත්‍රීරෝද බොඩි පාර්ට්ස් හදන්න ලක්ෂ පනහක ණයක් නිකුත් කොට තිබූ අතර කළමනාකාරිනිය එම ත්‍රීරෝද රථය බලන්නට ආසාවෙන් සිටි නිසා මිල්ටන් මුලින්ම කළේ ඉංගිරියට ගොස් කළමනාකාරිනියට අලු‍තින් හැදූ ඉලෙක්ට්‍රික් ත්‍රීවිලරය පෙන්වීමය. ත්‍රීරෝද රථයෙන් හඬක් නිකුත් නොවුණු නිසා කළමනාකාරිනිය මවිතයටත්, ප්‍රීතියටත් පත් විය.

වර්තමානයේ මිල්ටන්ගේ මේ කර්මාන්තශාලාවේ සේවය කරන සේවක පිරිස සියයකට අධිකය. “අපිට රාජ්‍ය අනුග්‍රහයක් දෙනවා නම් 600කට රක්ෂා දෙන්න පුළුවන්. දැන් කාර්මිකයෝ හොයන්න අමාරුයි. මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා නිකං හිරේ කන්න දීලා ඉන්න 100ක් මුලින්ම අපේ ෆැක්ටරියට වැඩ පුරුදු කරන්න මුදාහරින්න නීති සකස් කරන්න කියලා. ලොකු පඩියකුත් දෙන්න පුළුවන්.”‍

දැනට පෙට්‍රල් ත්‍රීරෝද රථ සඳහා අවශ්‍ය බොඩි කොටස්, රබර් කොටස්, බක්කිය ආදිය සියල්ල මෙන්ම ප්ලාස්ටික් මඩ්ගාර්ඩ් මිල්ටන්ගේ ෆැක්ටරියේ බලා සිටියදී නිෂ්පාදනය කරවයි. මිල්ටන් කියන්නේ දේශීය ත්‍රීවීල් අමතර කොටස් ව්‍යාපාරය නගා සිටුවීමට මෙරට රක්ෂණ සමාගම් ද බාධාවක් වී තිබෙන බවය. වාහනයක් අනතුරට පත් වූ විට රක්ෂණ ආයතන වන්දි අනුමත කරන්නේ ආනයනික ඉන්දියන් කොටස් සඳහාය. දේශීය නිෂ්පාදනවලට රක්ෂණ නොදෙන ප්‍රතිපත්තියක මෙරට රක්ෂණ ව්‍යාපාර පිහිටීම අදහගත නොහැකි ප්‍රශ්නයක් වී තිබේ.

ත්‍රීවිල් කොටස් නිපදවීමට මෝල්ඩ් නම් වූ අච්චු නිපදවිය යුතුය. එය කෝටි ගණනක ආයෝජනයකි. මෝල්ඩින් යන්ත්‍රය තුළට තහඩුව ඇතුළු කොට ප්‍රෙස් කර කොටස සදා ගැනීම හෝ ප්ලාස්ටික්, රබර් හෝ ලෝහයක් වත් කර හෝ ඉන්ජෙක්සන් මෝල්ඩින් ක්‍රමයට නිපදවා ගත හැක්කේ ඉන් අනතුරුවය.

”‍ඔබට මේ මෝල්ඩ් ඉන්දියාවෙන් ගේන්න කෝටි ගානක මුදලක් කැප කරන්න ඇති නේද?”‍ අපි මිල්ටන්ගෙන් ඇසුවෙමු. ”‍ඇත්තටම අහන්න පුදුම වෙයි, මේ අච්චු ඔක්කොම ලංකාවේ හදපුවා. හැදුවේ ලක්මධු ඉංජිනියරින්. බොඩි පාර්ට්ස් හදන මේ ලොකු යන්ත්‍රසූත්‍ර ලංකාවේ මිලදී ගත්ත ඒවා.”‍

සීට් පේළි දෙකකින් යුතු ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථය හඳුන්වා දුන්නේද මිල්ටන් විසිනි. පසුගිය වසරේ දී කොරියාවටද තම නිෂ්පාදන සාම්පල් ආපනයනය කළ මිල්ටන්ගේ ෆැක්ටරිය විවිධ විදේශීය ආයතනවල නිරීක්ෂණයට ලක්වන අතර අප යන මොහොතේද ඉන්දියන් හා චීන වාහන ඉංජිනේරුවන්ගේ නිරීක්ෂණයට ඒ ලක්වෙමින් පැවතුණි.

ඒ කියන්නේ දැන් මිල්ටන් මෝටර් ආයතනය විවිධ විදේශයන්ගෙන් පැමිණෙන නියෝජිතයන්ගෙන් නිරීක්ෂණයට ලක්වේ. අප මිල්ටන් මෝටර්ස් කර්මාන්තශාලාවට යන විට එහි ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් රථ නිෂ්පාදන යන්ත්‍ර ධාරිතාව ගැන වාර්තාවක් සකසමින් සිටියේ ටැන්සානියානු ජාතිකයෙකු බව අපට දැනගැනීමට හැකියාව ලැබුණි.

“තාමත් ටැන්සානියාවට යවන ඉන්දියන් ත්‍රීවිල් බොඩි පාර්ට්ස් මලකඩ කන හින්දා ඉක්මනින් දිරනවා. අපේ මේ ලංකාවේ නිෂ්පාදන මලකඩ කන්නේ නැති නිසා ටැන්සානියාවේ කම්පැනියක් ඉල්ලීම් කරලා තියෙනවා එහේ ෆැක්ටරියක් අරින්න. ලෝකයේ මොන රටකටත් වඩා මම ආදරය කරන්නේ ලංකාවට. මට කියන්න තියෙන්නේ ජනාධිපතිතුමා මැදිහත් වෙලා මහා බැංකුව සහාය වෙලා නිෂ්පාදන කටයුතුවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා දෙනවා නම් අපිට ලංකාවේ ඉඳලා මේ නිෂ්පාදන ටැන්සානියාවට විතරක් නෙමෙයි අපනයනය කරන්න පුළුවන්; විශේෂයෙන් ඉන්දියන් ත්‍රීරෝද රථ ජනප්‍රිය ලෝකයේ අප්‍රිකානු රටවලට.”‍

දේශීය විදුලි ත්‍රීවිල්වල අනාගතය

මිල්ටන්ගේ මේ අලු‍ත් දේශීය ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථයේ මෝටරය, බැටරිය සහ ඩිස්ප්ලේ ආනයනය කරන්නේ ඒවා දේශීය නිෂ්පාදනය අධික වියදම් සහිත නිසාය. පැය හතරක් චාජ් කිරීමෙන් මෙම ත්‍රීරෝද රථය කිලෝමීටර් 150ක් ධාවනය කළ හැකියි. චාර්ජින් පොයින්ට් එකකින් එය මඟතොටදී චාජ් කර ගත හැකි අතර නිවසේදී ඇම්පියර් 13 ප්ලග් එකකින්ද එය චාජ් කරගත හැකිය.

“මේ ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථය වෙළඳපළට හඳුන්වා දෙන්න අපිට ටයර් වර්ග මාරු කරමින් වසර ගණනාවක් පරීක්ෂණ කළා. මේ ත්‍රීරෝද රථයට අමතරව සීට් පේළි දෙකේ ටුක් ටුක් ලොක්කා ත්‍රීවිල් එක ලබන මාසෙ වෙළඳපළට නිකුත් කරනවා. ඊට පස්සේ ටුක් ටුක් පාන් බට්ටා කියන චූන් පාන් රථය දේශීයව නිෂ්පාදනය කරනවා,”‍ මිල්ටන් අප සමඟ පැවසීය.

මිල්ටන් පවසන්නේ ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථයක බරම කොටස ඇම්පියර් 150ක බැටරිය බවය.

“බැටරිය කිලෝ 110ක් බරයි. පෙට්‍රල් එන්ජිමක් කිලෝ 111ක් බරයි.”‍

“දැන් තියෙන පෙට්‍රල් ත්‍රීවිල් ඉලෙක්ට්‍රික් කරන්න අදහසක් තියෙනවද?”‍ අපි මිල්ටන්ගෙන් ඇසුවෙමු. “ඊට වඩා ලාභයි හයිබ්‍රිඩ් කරන එක. අපි ඒ ගැන පරීක්ෂණ කරනවා.”‍ මිල්ටන් කියන්නේ ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එක පෙට්‍රල් එකකට වඩා ඉතා ලාභදායී බවය.

”‍ඉලෙක්ට්‍රික් එකේ පෙට්‍රල් වියදම සම්පූර්ණයෙන් ඉතුරුයි. ඒකෙන් ෆිනෑන්ස් එක ගෙවාගන්න පුළුවන්. මේකට ග්‍රීස් ගහන වියදමත් නැහැ. පෙට්‍රල් ත්‍රීවිල් වගේ දවස් 15කට සැරයක් ග්‍රීස් ගහන්න ඕනේ නැහැ. සී.වී. ජොයින්ට් දාලා තියෙන්නේ”‍ ඔහු තවදුරටත් පැවසීය. මිල්ටන් කියන්නේ මේ ඉලෙක්ට්‍රික් ත්‍රීවිලය පාවිච්චි කරන විට මුදල් අතේ ඉතිරි වන්නේ රෙපයාර් වියදමක් නැති නිසා බවය.

“සාමාන්‍ය වේගයෙන් ගියොත් කිලෝමීටර් 165ක් දුවන්න පුළුවන්. කිලෝමීටරයකට වියදම රුපියල් 2.80යි. මේ ත්‍රීවිල් එකට දේශීයව යොදාගන්නේ ජපන් සින්ක් කෝටඞ් තහඩු නිසා පිටරට ත්‍රීවිල් වගේ දිරන්නේ නැහැ. ආනයනය කරපු යකඩ තහඩු පෙට්‍රල් බක්කියක් රුපියල් 220,000යි. අවුරුදු පහ යනකොට දිරනවා. අවුරුදු දහයකට වඩා දිරන්නේ නැති අපි හදන සින්ක් කෝටඩ් බක්කිය රුපියල් 72,000යි.”‍

අපි මේ දේශීය ත්‍රීරෝද රථය නිපදවන හැටි ඇස් දෙකෙන්ම බලාගත්තේ, මේ අපේ දේශීය වෙළඳපළ මෙන්ම විදේශීය වෙළඳපළද ජයගන්නා දේශීය ව්‍යාපාරයක් නොවේදැයි හදවතින්ම සුබ පතමින්, විදුලි වේගයෙන් අපව පොල්ගස්ඕවිට හන්දියට රැගෙන ආ දේශීය ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථයක සහය ලබමිනි.

මහින්ද රණවීර