සුජිත් හේවාජුලිගේ

ආර්ථික අර්බුද හේතුවෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ ඇතුළු දේශපාලන පක්ෂ රැසක් දැඩි මූල්‍ය අර්බුදයක ගිලී සිටින බව වාර්තා වේ.

මේ හේතුවෙන් එම පක්ෂවලට ඉදිරි මැතිවරණ කටයුතු සඳහා මුදල් සොයා ගැනීමට ද දැඩි දුෂ්කරතා පැන නැගී ඇති බව, දේශපාලන පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.

දැඩි මූල්‍ය අර්බුද හේතුවෙන් සමහර පක්ෂ කාර්යාල නඩත්තු කිරීම ඒවායේ නිලධාරීන්ට සහ සේවකයන්ට පඩි නඩි ගෙවීම ද අතිදුෂ්කර වී  තිබෙන බව වාර්තා වේ. මේ අතර ඇතැම් පක්ෂ කාර්යාල විදුලිබිල් සහ ජල බිල්පත් ගෙවන්නේ ද ඉතා අසීරුවෙන් බව එම ආරංචි මාර්ග කියයි.

අධික වියදම් හේතුවෙන් බොහෝ පක්ෂවල මුදල් සංචිත සිඳීගොස් සමහර දැනගන්නට ඇත. මේ තත්ත්වය මත ඉදිරි මැතිවරණවල දී දෙස්  විදෙස් දානපතියන්ගේ සහාය ගැනීමට අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වන බව දේශපාලන පක්ෂයක නායකයෙක් “ඉරිදා ලංකාදීප”යට පැවසීය.

ඇතැම් පක්ෂවලට පසුගිය ඡන්ද කාලවලදී විදේශයෙන් පැමිණි මුදල් ඇතැම් නායකයන් සහ නිලධාරීන් පෞද්ගලික කටයුතු සඳහා යොදාගෙන ඇතැයි ද තොරතුරු අනාවරණයවී ඇත. සමහර නායකයන් මෙම මුදල් විනිවිදභාවයෙන් වියදම් කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට ඉදිරිපත්ව ඇතත්, ඇතමෙකු ඒවා වළක්වා ඇතැයි දැනගන්නට ඇත.

මැතිවරණ කොමිෂන් සභාව නිල වශයෙන් පිළිගෙන ඇති දේශපාලන පක්ෂ සංඛ්‍යාව 85 කි.