මනෝප්‍රිය ගුණසේකර සහ සුජිත් හේවාජුලිගේ

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීම ඇතුළු කරුණු ඇතුළත් 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය ප්‍රශ්න කරමින් ඊට පක්‍ෂව සහ විපක්‍ෂව පාර්ශ්වකරුවන් ගොනුකර තිබු පෙත්සම්වල තීන්දුව ඉදිරි සතියේ දී කථානායකවරයාට බාරදෙනු ඇතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තුව ලබන 08 වැනිදා සිට 11 වැනිදා දක්වා රැස්වීමට නියමිත අතර පනත් කෙටුම්පත කථානායකවරයාට ලබන සඳුදාට පෙර ලැබුණ හොත්, අඟහරුවාදා බොහෝදුරට එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව යම් පනත් කෙටුම්පතක් අභියෝගයට ලක්වුවහොත් ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ජනාධිපතිවරයාට මෙන්ම කථානායකවරයාට නිල වශයෙන් දැනුම් දිය යුතු වෙයි.

පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය ප්‍රශ්න කරමින් ඊට පක්‍ෂව සහ විපක්‍ෂව පාර්ශ්වකරුවන් ගොනුකර තිබු පෙත්සම් පසුගිය පළමුවැනිදා සහ දෙවැනිදා ප්‍රීතී පද්මන් සුරසේන අගවිනිසුරු ප්‍රමුඛ පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ විමසා බැලීමෙන් අනතුරුව පාර්ශ්වකරුවන් ලිඛිතව ඉදිරිපත් කළ කරුණු ද සැලකිල්ලට ගනිමින් සකස් කළ එහි තීන්දුව මෙලෙස ඉදිරි සතියේ දී කථානායකවරයාට බාර දෙනු ඇතැයි ද වාර්තා වේ.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පෙත්සම් 67ක් ගොනුකර තිබු අතර එම සියලු පෙත්සම් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන අචල වෙන්ගප්පුලි, අර්ජුන ඔබේසේකර‌, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත පංචපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.

ගොනුකර ඇති පෙත්සම් 67 න් බහුතරයක් යෝජිත පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙස ද, පෙත්සම් 03 ක් පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම වස්ථාවට එකඟ බවට ප්‍රකාශ කරන ලෙස ද, ඉල්ලමින් ගොනුකර ඇත.

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූල ද? යෝජිත පනත් කෙටුම්පත සම්මත කරගත යුත්තේ පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයකින් ද? නැත්නම් තුනෙන් දෙකේ බහුතරයකින් ද? එසේත් නොවේනම් එය සම්මත කර ගැනීමට ජනමතවිචාරණයක් පැවැත්විය යුතු ද? යන කරුණු පිළිබඳව අධිකරණයේ දී විමසා බැලිණි.