උපුල් වික්‍රමසිංහ

පවතින වියළි කාලගුණය හමුවේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවතින කුඩාවැව් 15,000කට අධික ප්‍රමාණයෙන් සියයට70ක් පමණ බලපෑමට ලක්ව ඇතිබව එම දෙපාර්තමේන්තුව පවසයි. 

ඒවායෙන් ද වියළි කලාපයේ පිහිටි කුඩා වැව්වල ජලමට්ටමේ අඩුවක් තිබෙන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග “ඉරිදා ලංකාදීප”යට ප්‍රකාශ කළේය.

යල කන්නයේ අස්වනු සියයට 60 ක් පමණ නෙළා අවසන් බැවින් මේ කන්නයට දැඩි බලපෑමක් එල්ල නොවන බවත්, අභියෝගය වන්නේ මීළඟ කන්න කළමනාකරණය කරන්නේ කෙසේද යන්න බවත්, හෙතෙම කීවේය.

එළැඹෙන ඔක්තෝබර්-නොවැම්බර්වල වර්ෂාපතනයක් ලැබිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළකර ඇති හෙයින්, ඒ දක්වා කුඩා වැව්වල ජලය කළමනාකරණය කළ හැකි බව කී ඔහු එල්නිනෝ තත්ත්වයෙන් වන බලපෑම් අවම කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පත්කරනු ලැබ ඇති කමිටුවේ නිර්දේශ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද සඳහන් කළේ ය.