ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවට ලබා දෙන්නා වූ ඖෂධ, විශේෂයෙන්ම එන්නත් වර්ග ලබා දීම අත්හිටුවන බවට පළ වූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් වර්තමානයේ දැඩි සමාජ කතිකාවක් ගොඩනැඟී තිබේ. ශ්‍රී ලංකාව මේ වන විට මධ්‍යම ආදායම් ලබන රාජ්‍යයක් බවට පත්ව තිබීම ඊට හේතු වී ඇත.

​මේ පිළිබඳව විමසා බැලීමේදී, ලෝක බැංකුව විසින් රටවල් ශ්‍රේණිගත කිරීම උදෙසා 'Atlas method GNI per capita' හෙවත් ඒක පුද්ගල දළ ජාතික ආදායම පදනම් කරගත් ඇට්ලස් ක්‍රමවේදය භාවිත කරනු ලබයි. 2026 ජූලි මස පළමුවන දින සිට 2027 ජූනි මස 30 වන දින දක්වා වූ කාල පරිච්ඡේදය සඳහා ලෝකයේ රටවල් කාණ්ඩ හතරකට වර්ගීකරණය කර තිබේ:

අඩු ආදායම් ලබන රටවල් (Low income): ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 1,175 ට අඩු රටවල්.

පහළ මධ්‍යම ආදායම් ලබන රටවල් (Lower-middle income) ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 1,176 සිට 4,635 දක්වා වූ සීමාව තුළ පවතින රටවල්.

ඉහළ මධ්‍යම ආදායම් ලබන රටවල් (Upper-middle income) ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 4,636 සිට 14,375 දක්වා වූ සීමාව තුළ පවතින රටවල්.

ඉහළ ආදායම් ලබන රටවල් (High income) ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 14,375 ට වැඩි රටවල්.

​ශ්‍රී ලංකාව වර්තමාන ශ්‍රේණිගත කිරීම් අනුව ඉහළ මධ්‍යම ආදායම් (Upper-middle income) කාණ්ඩයට ඇතුළත්ව ඇත. 2024 වසරේදී ශ්‍රී ලංකාවේ පැවති ඒක පුද්ගල දළ ජාතික ආදායම ඇමරිකානු ඩොලර් 3,860 ක් වූ බැවින් රට පහළ මධ්‍යම ආදායම් පරාසය තුළ පැවතිණි. එහෙත් 2025 වසර වන විට එය ඇමරිකානු ඩොලර් 4,670 දක්වා ඉහළ යාම හේතුවෙන්, ජාත්‍යන්තර වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් සීමාවට පැමිණ තිබේ.

​ලෝක බැංකු දත්ත වාර්තාවන්ට අනුව මෙලෙස සංශෝධනයන්ට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකාව පමණක් නොවේ; ජෝර්දානය, මයික්‍රෝනීසියාව, පිලිපීනය සහ වියට්නාමය යන රටවල් ද පහළ මධ්‍යම ආදායම් මට්ටමේ සිට ඉහළ මධ්‍යම ආදායම් මට්ටම දක්වා උසස් වී ඇති අතර, ටෝගෝ රාජ්‍යය අඩු ආදායම් මට්ටමේ සිට පහළ මධ්‍යම ආදායම් මට්ටම දක්වා උසස් වී තිබේ.

​මෙරට තුළ පවතින දරිද්‍රතාව සහ විවිධ ආර්ථික ගැටලු මධ්‍යයේ වුවද මෙවැනි තත්ත්වයක් උද්ගත වීමට හේතු කිහිපයක් බලපා ඇත. ඉන් ප්‍රධානතම හේතුවක් වන්නේ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කර තිබීම හේතුවෙන් තවමත් විදේශ ණය ආපසු ගෙවීම ආරම්භ කර නොතිබීමයි. ණය වාරික ගෙවීම ආරම්භ වීමට නියමිතව ඇත්තේ 2027 න් පසුව බැවින්, මේ මොහොතේ ණය ගෙවීමක් සිදු නොවන නිසා ලැබෙන ආදායම නිසි පරිදි කළමනාකරණය කර ගැනීමේ අවකාශය රජයට හිමිව තිබේ.

​මීට අමතරව, උද්ධමනය තනි අගයක් දක්වා පහළ බැසීම, ආහාර හා බලශක්ති අර්බුදයන්හි බලපෑම අවම වීම හේතුවෙන් මෙරට ආර්ථිකය ස්ථාවර මට්ටමකට පැමිණෙමින් පවතී. 2027 වසරේදී අවසන් වීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහන සමාලෝචනය කිරීමේදී ද ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට පැමිණ ඇති බව ප්‍රකාශ විය.

​රට හමුවේ තවමත් ගැටලු පවතිද්දී මෙවන් තත්ත්වයක් පෙනෙන්නට තිබෙන්නේ ණය ආපසු ගෙවීම තවමත් ආරම්භ කර නොමැති බැවිනි. නිදසුනක් ලෙස, රුපියල් ලක්ෂ විස්සක ණයක් ඇති පවුලක මාසික ආදායම රුපියල් ලක්ෂ පහක් වන විට, එම ණය මුදල ආපසු නොගෙවා සිටින තාක් කල් එම ආදායමෙන් යහපත් ජීවන මට්ටමක් පවත්වාගෙන යා හැකිය. සැබෑ පීඩනය එල්ල වන්නේ ණය ගෙවීම ආරම්භ කළ පසුවය. එබැවින් රජය ආදායම් සහ වියදම් නිසි කළමනාකරණයකට ලක් කළහොත් ණය ගෙවීම් ද සාර්ථකව සිදු කර ගැනීමේ හැකියාව පවතී.

​තවද, 'ඩිට්වා' සුළි කුණාටුවෙන් පසුව සිදු වූ බලපෑම් මෙන්ම 'එල් නිනෝ' තත්ත්වය හමුවේ සිදු වූ වගා හානි වෙනුවෙන් වන්දි ගෙවීම ඇතුළු සමාජ ආරක්ෂණ වැඩසටහන් වෙනුවෙන් රජය ඉහළ මුදලක් වැය කරමින් සිටී. එමඟින් ජනතාව අතරට මුදල් ගලායාමක් සිදු වන අතර, විශ්වවිද්‍යාල, රාජ්‍ය ආයතන හා ප්‍රවාහන ක්ෂේත්‍රය ආශ්‍රිතව ඩිජිටල්කරණය සහ සෘජු ගෙවීම් ක්‍රමවේද වර්ධනය වීම හේතුවෙන් අතරමැදියන්ගේ මැදිහත්වීම අවම වී ප්‍රතිලාභීන්ට සෘජුවම මුදල් ලැබීමේ ප්‍රවණතාවක් ද නිර්මාණය වී තිබේ.

​එසේම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාවන්හි ද මෙරට දූෂණ හා දේශපාලන අක්‍රමිකතාවන්හි යම් පහළ යෑමක් දක්නට ලැබෙන බව සඳහන් කර තිබීම යහපත් තත්ත්වයකි.

​මෙම ආර්ථික ප්‍රතිසංස්කරණ සහ දර්ශක පදනම් කරගනිමින් ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව මෙම මට්ටමට නම් කර ඇත. එහෙත් මෙම තත්ත්වය රඳා පවතින්නේ ණය ගෙවීම ආරම්භ වන තෙක් පමණි. ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් අනතුරුව ණය ගෙවීම ආරම්භ කළ පසු, ඒ සඳහා රජය ප්‍රමාණවත් ආදායමක් උපයාගත යුතුය. ඒ සඳහා විදේශ ආයෝජන රට තුළට ආකර්ෂණය කර ගැනීම අත්‍යවශ්‍ය වේ.

​මෑත කාලීනව සංචාරක කර්මාන්තය කෙරෙහි දැඩි අවධානයක් යොමු කර ඇති අතර, විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ මෙන්ම ඇමරිකානු වෙළඳපොළ ඇතුළු ලෝක වෙළඳපොළ ඉලක්ක කරගත් ඇඟලුම් අපනයනය ද මෙරට ආර්ථිකයේ ප්‍රධාන ඉලක්ක බවට පත්ව තිබේ. මෙම අංශ මනා ලෙස කළමනාකරණය කර ගනිමින් ණය ගෙවීමේ කාලසීමාවට මුහුණ දීමට සූදානම් විය යුතුය. මන්දයත්, කොතෙක් මුදල් සංසරණය වුව ද ණය ගෙවීමට ප්‍රමාණවත් මුදලක් නොමැති වුවහොත් එය දැඩි අර්බුදයකට මඟ පාදන බැවිනි. සැබෑ අභියෝගය එල්ල වන්නේ ණය ආපසු ගෙවීම ආරම්භ වන අවස්ථාවේදීය.

​ලෝක බැංකු වර්ගීකරණයට අදාළව 2026 ජූලි මස පළමුවන දින නිකුත් කරන ලද ජාත්‍යන්තර වාර්තාව අනුව ඒක පුද්ගල දළ ජාතික ආදායම (GNI per capita) පදනම් කරගත් කාණ්ඩ හතරෙන් ශ්‍රී ලංකාව ඉහළ කාණ්ඩයකට පැමිණ ඇත. පසුගිය වසර තුළ සංචාරක කර්මාන්තයෙන් ඉහළ ආදායමක් ලැබීම සහ විදේශ ප්‍රේෂණ ලැබීම ඉහළ මට්ටමක පැවතීම ඊට හේතු විය. කෙසේ වෙතත්, ණය ගෙවීම් පැහැර හැර ඇති පසුබිමක ආදායම පමණක් සංසරණය වීම තාවකාලික තත්ත්වයක් බැවින්, ණය ගෙවීම ආරම්භ වීමත් සමඟ ඇති වන අභියෝගය රජය සහ මහ බැංකුව එක්ව නිසි පරිදි කළමනාකරණය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

​ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත්වීම දෙස බැලීමේදී, මෙරට පවතින යැපුම් මානසිකත්වය හේතුවෙන් නොමිලේ ඖෂධ නොලැබීම පිළිබඳව ජනතාව තුළ නොසන්සුන්තාවක් ඇති විය හැකිය. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය නොමිලේ ඖෂධ සහ එන්නත් ලබා දෙන්නේ ලෝක බැංකු වර්ගීකරණය අනුව අඩු ආදායම් ලබන (Low income) රටවලට පමණි. සෝමාලියාව, ඇෆ්ගනිස්ථානය, පලස්තීනය, යේමනය, සිරියාව මෙන්ම අප්‍රිකානු සහ මධ්‍යම ඇමරිකානු කලාපයේ පවතින අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන රටවල් සඳහා එවැනි ආධාර ලබා දීම සාධාරණ වේ.

​ජාත්‍යන්තර ආයතන ආධාර ලබා දීමේදී දර්ශක පදනම් කරගන්නා බැවින්, ශ්‍රී ලංකාව එම අඩු ආදායම් සීමාව ඉක්මවා ඉහළට ගොස් ඇති පසුබිමක එම සහන තවදුරටත් හිමි නොවේ. මෙතෙක් නොමිලේ ලැබුණු ඖෂධ සහ එන්නත් ඉදිරියේදී මිලදී ගැනීමට සිදුවීම රජයට මූල්‍යමය අභියෝගයක් වුව ද, රටක් ලෙස ජාත්‍යන්තර ආර්ථික දර්ශක හමුවේ ඉහළට ගමන් කිරීම යහපත් සලකුණක් මෙන්ම ජාත්‍යන්තර පිළිගැනීමකි.

​ඉදිරියේදී ණය ආපසු ගෙවීම ආරම්භ වූ පසු රජය සහ මහ බැංකුව ඊට දක්වන ප්‍රතිචාරය සහ ක්‍රියාකාරීත්වය මත මෙම තත්ත්වය රටට යහපතක් ද අයහපතක් ද යන්න අවසන් වශයෙන් තීරණය වනු ඇත.

එම්.ආර්.කළණ ගයන්ත

කතිකාචාරය ( ජාතයන්තර සම්බන්ධතා සහ දේශපානය විද්‍යාව)

සමාජවිද්‍යා අධ්‍යයන අංශය

විවෘත විශ්වවිද්‍යාලය

 

D.N.අභයවර්ධන.