ශ්‍රී ලාංකික සමාජය තුළ බුලත් යනු හුදෙක් ශාක පත්‍රයක් පමණක් නොව, අපගේ අභිචාර, චාරිත්‍ර වාරිත්‍ර සහ ආගන්තුක සත්කාරය සමඟ බද්ධ වූ ප්‍රමුඛතම සංස්කෘතික සංකේතයකි. සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව, මංගල උත්සව, වැඩිහිටියන්ට බුහුමන් දැක්වීම මෙන්ම විවිධ සාම්ප්‍රදායික උත්සවයන්හිදී බුලත් අතට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. කෙසේ වෙතත්, බුලත් යනු හුදෙක් දේශීය සංස්කෘතිකමය සංකේතයක් මෙන්ම භාවිතයක් පමණක් යැයි සිතන බොහෝ දෙනෙකු නොදන්නා කරුණක් වන්නේ, එය මෙරටට සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් රැගෙන එන වැදගත් අපනයන කෘෂිකාර්මික භෝගයක් ද වන බවයි.
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පවතින ද්විපාර්ශ්වික නිදහස් වෙළඳ ගිවිසුම (PSFTA ) යටතේ ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික අපනයන භෝගයක් වන බුලත් සඳහා ප්‍රධානතම වෙළඳපොළ වන්නේ පාකිස්ථානයයි. කෙසේ වෙතත්, පසුගිය වසර කිහිපය තුළ පාකිස්ථාන වෙළඳපොළට ඇතුළු වීමේදී ශ්‍රී ලාංකික අපනයනකරුවන් මුහුණ දෙන තීරුබදු සහ නියාමන බාධා හේතුවෙන් බුලත් අපනයන ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට ලක්ව තිබේ. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ වාණිජ දෙපාර්තමේන්තුව සහ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙතින් ලබාගත් තොරතුරු විශ්ලේෂණය කිරීමේදී, මෙම වෙළඳ අර්බුදයේ ස්වභාවය මෙන්ම ඊට මුහුණ දීමේදී අදාළ රාජ්‍ය ආයතන අතර පවතින පරස්පරතාවයන් සහ සම්බන්ධීකරණයේ අඩුපාඩු මනාව පැහැදිලි වේ.

බුලත් අපනයනයේ දත්තමය පසුබෑම සහ වගා වපසරියේ පරස්පරය
පහත දැක්වෙන්නේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ලබා දුන් දත්ත අනුව 2019 සිට 2025 දක්වා පාකිස්ථානය වෙත සිදුකළ බුලත් අපනයන ප්‍රමාණයන්, ඉන් ලැබූ ආදායම සහ ශ්‍රී ලංකාවේ ඇස්තමේන්තුගත සමස්ත බුලත් වගා වපසරිය දක්වන වාර්ෂික දත්ත වගුවයි. (ප්‍රධාන වගුව බලන්න)
ඉහත දත්ත දෙස අවධානය යොමු කිරීමේදී පෙනී යන්නේ 2019 වසරේදී පැවැති මෙට්‍රික් ටොන් 4,387.02 ක අපනයන ප්‍රමාණය 2024 වසර වන විට මෙට්‍රික් ටොන් 2,250.99 දක්වා ශීඝ්‍ර ලෙස පහත වැටී ඇති බවයි. එමෙන්ම 2019 වසරේ ලබාගත් ඇමෙරිකානු ඩොලර් මිලියන 17.77 ක ආදායම 2024 වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 9.27 දක්වා අවම වී ඇත. කෙසේ වෙතත්, 2025 වසරේදී අපනයන ප්‍රමාණය මෙට්‍රික් ටොන් 3,336.18 දක්වා සහ ආදායම ඩොලර් මිලියන 13.39 දක්වා යම් වර්ධනයක් පෙන්වුවද, එය 2019 වසරේ පැවති මට්ටමට පැමිණ නොමැත.
2019 සිට 2025 දක්වා වගා වපසරිය හෙක්ටයාර 1,163 සිට 1,676 දක්වා (44% කින්) නොකඩවා වර්ධනය වී තිබුණද, ඇමෙරිකානු ඩොලර් අපනයන ආදායම ඩොලර් මිලියන 17.77 සිට 13.39 දක්වා (24.6% කින්) පහත වැටී ඇත. ඒ අනුව වගා වපසරිය සහ අපනයන ආදායම අතර පරස්පරයක් පෙන්වයි. සලකා බලන ලද වසර 7 තුළ අඩුම අපනයන ප්‍රමාණය (මෙට්‍රික් ටොන් 2,250.99) සහ අඩුම ඩොලර් ආදායම (ඩොලර් මිලියන 9.27) වාර්තා වී ඇත්තේ 2024 වසරේදීය. එමෙන්ම රුපියල් ආදායමේ සාපේක්ෂ වැඩිවීම මත 2022-2023 කාලසීමාවේදී ඩොලර් ආදායම අඩු වුවද රුපියල් ආදායම ඉහළ යාමට ප්‍රධාන ලෙස බලපා ඇත්තේ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ක්ෂය වීමයි.
පාකිස්ථානයේ නියාමන තීරුබදු සහ අපනයනකරුවන්ගේ අර්බුදය
වාණිජ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද තොරතුරුවලට අනුව, 2026 ජනවාරි 28 වන දින ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබූ පාකිස්ථාන-ශ්‍රී ලංකා වාණිජ ලේකම් මට්ටමේ සාකච්ඡාවල 8 වන සැසිවාරයට සූදානම් වීමක් ලෙස 2025 සිව්වන කාර්තුවේදී ශ්‍රී ලාංකික අපනයනකරුවන්ගෙන් අදහස් විමසනු ලැබීය. එහිදී HS කේතය 1404.90.20 යටතේ වර්ගීකරණය කර ඇති බුලත් කොළ සඳහා පාකිස්ථානය විසින් පනවා ඇති නියාමන තීරුබදු (Regulatory Duty - RD ) හේතුවෙන් වෙළඳපොළ ප්‍රවේශය සීමා වී ඇති බවත්, අපනයන පරිමාවන් අඩුවී PSFTA ගිවිසුමේ අපේක්ෂිත ආර්ථික ප්‍රතිලාභවලට අහිතකර බලපෑම් සිදුව ඇති බවත් ශ්‍රී ලාංකික අපනයන සමාගමක් මඟින් පෙන්වා දී තිබේ. පසුව මෙම ගැටලුව 2026 ජනවාරි 28 දින පැවැති වාණිජ ලේකම් මට්ටමේ සාකච්ඡාවලදී මෙන්ම 2026 ජූලි 01 වන දින මාර්ගගතව පැවැති වෙළඳාම, ආයෝජන සහ මෝටර් රථ අංශය පිළිබඳ ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමේ 4 වන රැස්වීමේදීද පාකිස්ථාන පාර්ශ්වය වෙත ඉදිරිපත් කර ඇත. ඊට ප්‍රතිචාර වශයෙන් අදාළ තීරුබදු ක්‍රමයෙන් අඩු කර 2030 වසර වන විට සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම තම ඉලක්කය බව පාකිස්ථාන පාර්ශ්වය විසින් දැනුම් දී තිබේ.

රාජ්‍ය ආයතන දෙක අතර පවතින සන්නිවේදන පරතරය
RTI තොරතුරු සංසන්දනය කිරීමේදී රාජ්‍ය ආයතන දෙක අතර පවතින බරපතල සන්නිවේදන පරතරයක් නිරීක්ෂණය වේ. අපනයනකරුවන් තීරුබදු බාධා නිසා වෙළඳපොළ ප්‍රවේශය අහිමි වන බවට වාණිජ දෙපාර්තමේන්තුව හමුවේ කරුණු දක්වා තිබියදීත්, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ පාකිස්ථානයේ තීරුබදු සහ ආනයන සීමා කිරීම් මඟින් බුලත් අපනයනයට සිදු වූ බලපෑම පිළිබඳව තම සංවර්ධන හෝ පර්යේෂණ අංශ මඟින් කිසිදු අධ්‍යයනයක් සිදු කර නොමැති බවයි. තවද, කුරුණෑගල සහ ගම්පහ දිස්ත්‍රික්කවල ගොවීන්ගෙන් කිසිදු පැමිණිල්ලක් ලැබී නැති බවත්, පාකිස්ථාන වෙළඳපොළ අහිමි වීමක් වාර්තා වී නැති බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බුලත් අපනයන ප්‍රමාණය පහත වැටෙමින් පවතිද්දීත්, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නොමිලේ රෝපණ ද්‍රව්‍ය සහ ආයෝජන ආධාර ලබා දෙමින් බුලත් වගා වපසරිය 2019 පැවති හෙක්ටයාර 1,163 සිට 2025 වන විට හෙක්ටයාර 1,676 දක්වා වර්ධනය කර ඇත. අපනයන වෙළඳපොළේ පවතින තීරුබදු ගැටලුවලට විසඳුම් සෙවීමට පෙර මෙසේ වගා වපසරිය පමණක් වර්ධනය කිරීමෙන් ගොවීන් අතිරික්ත නිෂ්පාදනයක් කරා තල්ලු වී දැඩි අර්බුදයකට ලක්වීමේ අවදානමක් පවතී.
ද්විපාර්ශ්වික සාකච්ඡා සහ වෙළඳ ගිවිසුම්වල අනාගතය
2026 ජනවාරි 28 වන දින පැවැති පාකිස්ථාන-ශ්‍රී ලංකා ඒකාබද්ධ ආර්ථික කොමිසමේ 13 වන සැසිවාරයේදී සහ වාණිජ ලේකම් මට්ටමේ සාකච්ඡාවලදී PSFTA සමාලෝචනය, අතිරේක තීරුබදු (para-tariffs ) ඉවත් කිරීම, ද්විපාර්ශ්වික වෙළඳ සහාය මධ්‍යස්ථාන පිහිටුවීම සහ රේගු සහයෝගීතාව ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව සාකච්ඡා වී තිබේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු වාණිජ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් (Department of Commerce Official Web Page ) ලබාගත හැකිය. ශ්‍රී ලංකාවේ බුලත් අපනයන ක්ෂේත්‍රයේ සුරක්ෂිතභාවය උදෙසා වාණිජ දෙපාර්තමේන්තුව සහ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අතර නිසි සම්බන්ධීකරණයක් ඇති කරගැනීමත්, අපනයනකරුවන්ගේ තීරුබදු බාධා පිළිබඳ ක්ෂේත්‍ර අධ්‍යයනයන් සිදුකිරීමත්, PSFTA රාමුව යටතේ පාකිස්ථානය පනවා ඇති නියාමන තීරුබදු 2030 දක්වා කල් නොදමා ඉක්මනින් ඉවත් කරවා ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම ශක්තිමත් කිරීමත් අත්‍යවශ්‍ය වේ.
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd