කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත



නෝනාට බොරුවක් ගොතා වෙනත් නෝනා කෙනකු ළඟට ගොස් අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
ඔහුගේ රාජකාරිය නගරයේය. පෞද්ගලික ආයතනයකය. ක්ෂේත්‍ර රාජකාරීවලටද යයි. දින දෙක තුන පිට යන අවස්ථාද නැත්තේද නොවේ.
එදා නිවසින් පිටව ගියේ දින දෙකකට පිට යන බව පවසමින්ය. ඒ රාජකාරී කටයුත්තකටය. භාර්යාවද ඔහුට සමුදුන්නේ එය ඇත්තක් බව සිතාය. ගතවූයේ එක් දිනකි. නොදන්නා නොම්මරයකින් දුරකතන ඇමතුමක් ඇයට ආවේය. ගැහැනු කටහඬකි. එයින් කියවුණේ දුර පළාතක රෝහලක ඔහු නතර කළ බවය. ඔහුට අසාධ්‍ය බවද එයින් කියවුණේය. ඉන් එහාට වැඩි විස්තරයක් නොකියවුණේය. එම දුරකතනය හා සම්බන්ධවීමට ගත් උත්සාහයද නිෂ්පල විය. එතැන් සිට එම දුරකතනය විසන්ධිකර තිබුණේය.


ඇය ඔහු රාජකාරි කරන ස්ථානයට ඇමතුමක් ගත්තේය. ඒ ඔහු ගිය රාජකාරී ගමන පිළිබඳව විමසීමටය. රාජකාරී ආයතනයෙන් කීවේ ඔහුට රාජකාරී කටයුත්තක් නොපැවරූ බවය. මේ දින දෙක ඔහු නිවාඩු දමා ඇති බවය. ඇයට දෙවියන් බුදුන් සිහිවූවේය.
ඔහු අසනීපව ඇතුළත් කළ රෝහල කරා ඇය ගියාය. ඔහු රෝහලට ඇතුළත් කර තිබුණේ කාන්තාවකි. ඔහු හදිසි හෘදයාබාධයක් වැලඳී සිටියේය. සිදුවූ දේ නෝනාට දැන් තේරුම් ගියාය.
මෙතෙක් කලක් ඔහු නිවසින් පිටව ඉඳහිට කළ බාහිර රාජකාරිය පිළිබඳව ඇයට වැටහුණේය. ඇය දැන් සොයමින් සිටිනුයේ ඔහු අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය කාන්තාව කවුරුන්ද යන්නය.