කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය 



රෑ කෑමට පාන් ගැනීමට ගිය අයකුට  ‘‘චූන්”‍ එක වැඩි වී  ‘‘චූන් පාන්”‍ වාහනය මඟ හැරී එදින රාත්‍රිය බඩගින්නේම නිදා ගැනීමට සිදුවූ පුවතක් කැබිතිගොල්ලෑව අවට ගමකින් අසන්නට ලැබුණි. 
එය මෙසේය. ‍
චූන් පාන් වාහනය එනතුරු මහපාර අයිනේ මග රැකගෙන සිටි තැනැත්තා සහ ඔහුගේ වයෝවෘද්ධ මව පමණක් එම නිවසෙහි ජීවත් වෙති.
මේ තැනැත්තා අවිවාහකය. වයස අවුරුදු පනහකට ආසන්නය. තම මව පෝෂණය කරමින් ඔහු ජීවිකාව ගෙන යයි.


මෙම තැනැත්තාට විශේෂිත මානසික පුරුද්දක් තිබුණි. එනම්, සුරූපී ලලනාවන් කෙරෙහි අධික ලෙස ඇලු‍ම් කිරීම සහ ඔවුන්ගේ රුව නොපෙනෙන තුරුම දෙතොල් ලෙවකමින් එම කාන්තාවන් දෙස ඇස පිය නොහෙලා බලා සිටීම ඔහුගේ එම විශේෂිත පුරුද්දයි. 
එවැනි කාන්තාවෝ ද ඔහුගේ එම පුරුද්ද දන්නා බැවින්, ඔහුට ඉතා හොඳින් ප්‍රදර්ශනය වීමට පුරුදුව සිටියහ. ඒ ඔහු එයින් විශාල අහිංසක සතුටක් ලබන බව ඔවුන් දන්නා නිසාය. 
අප මේ කියන දවසේ ඔහුගේ මව ඔහුට කතා කොට ‘‘පුතේ, අද මට කෑම උයන්න අමාරුයි. ඒ නිසා අද අපි රෑට පාන් කමු පුතේ. මම තක්කාලි හොද්දක් හදලා තියන්නම්. දැන් චුන් පාන් වාහනේ එන වෙලාව. මගේ පුතා පාරට ගිහිල්ලා අපි දෙන්නට පාන් රාත්තලක් අරගෙන වරෙන්”‍
ඔහු පාරට ගියේය. චූන් පාන් වාහනය ඈතින් එන සංගීත නළා හඬ ඔහුට ඇසුණු මොහොතේම  ඔහු ඉතා තදින් ප්‍රිය කරන කාන්තාවක් ඔහු ඉදිරියෙන් ගමන් කරමින් සිටියාය. ඒ මොහොතේ අවටින් හමා ආ සුළං රැලි ඇය ඇඳ සිටි ‘‘කොට සාය”‍ සමග පොර බඳින්නට විය. කොට සාය ද කාන්තාවගේ අත් දෙකට අකීකරු හැසිරීමක් පෙන්නමින් උඩ පැන පැන දඟලන්නට විය. කාන්තාවන්ට බොහෝ සෙයින් ඇලු‍ම් කරන තැනැත්තා මේ දර්ශනයෙන් ඉපිලී ගියේය. ඔහුට උන් හිටි තැන් අමතක විය. කාන්තාව ද ඔහුට ‘‘ආ අයියේ කොහොමද”‍ යැයි කියාගෙන පශ්චාත් භාගය වනමින් ඔහු පසුකර එතැනින් ගමන් කළාය. 
මේ මොහොතේම චූන් පාන් වාහනය ඔහු ඉදිරියෙන් ඉතා හෙමින් ධාවනය විය. ඔහුට ඒ කිසිවක් ඇසුණේ නැත. ඔහු ඒ කිසිවක් දුටුවේ ද නැත. කාන්තාව නොපෙනී යන තුරුම ඔහු ඒ දෙස හැරි හැරී බලමින් තෘප්තිමත්ව සතුට වින්දේය. 
මොහොතකින් පියවි සිහියට එළැඹුණු ඔහු ඈත යන චූන් පාන් වාහනය දැක ඔලු‍වේ අත තබා ගත්තේය. ‘‘දෙයියනේ, අද නම් පාන් කාලා ඉවරයි.”‍ කියමින් බියෙන් නිවසට ගියේය. මවගේ බැනුම් මැද්දේ කර බාගෙන කාමරයට වැදුණු ඔහු බඩගින්නේම නිදාගත්තේය. 
මේ සිද්ධිය ගමේ කොලු‍ ගැටවුන්ගේ කනට ද ගියේය.
දැන් ඔහු හමුවන මිතුරන් ‘‘ඔහුගේ නම නොකියා චූන් අයියා”‍යන නමින් ඔහු අමතනවා යැයි දැන ගන්නට තිබේ.