කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය 



කවියකු සහ කථිකයකු ලෙස නමක් දිනා සිටි පුද්ගලයකුගේ සායම සේදී ගිය පුවතක් කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ගමක අවමඟු‍ල් උත්සවයක දී අසන්නට ලැබිණි.
සිද්ධිය මෙසේය. 
මෙම කවියා සහ කථිකයා ලෙස පෙනී සිටි පුද්ගලයා පමණට වඩා දැනඋගත් බොහෝ දේවල් දන්නා කියන පණ්ඩිතයකු සේ පෙනී සිටි අයෙකි. ගමේ ගොඩේ ඕනෑම තැනක අවමඟු‍ලක් සිදුවුවහොත් එහි අවසන් කටයුතු සිදු කරන්නේ මෙම ‘‘“ගොඩ උගතාගේ”‍ ප්‍රධානත්වයෙනි. 
 අවසන් කටයුතු සිදු කරන මොහොතේ, ස්වාමීන් වහන්සේ පිළිගැනීම, ගුණ කථන සිදුකිරීම, හත් දවසේ දානය දැනුම් දීම ආදී කටයුතු මේ උගතා වැඩිපුරම සිදු කළේ කවියෙනි. 
ශෝකාකූලව සිටින අවමංගල සභාවේ අයට නොපෙනෙන ලෙස ඔහු කුඩා කොළ කැබැල්ලක එම උත්සවයට ගැළපෙන ආකාරයට කවියෙන් සටහන් කරගෙන, කාටත් හොරෙන් ඒවා යටසින් බලා, එම මොහොතේම නිර්මාණය කරන ඒවා ලෙස පෙන්වීම ඔහුගේ සිරිතය. 


එදින අවමංගල සභාවක ළඟම ඥාතීන් පිරිසක් ඔහුට පැවසුවේ ගුණකථනය කවියෙන් ගායනා කරන ලෙසටය. ඔහු මහත් උජාරුවෙන් එයට පෙර කී උපක්‍රමය අනුව සූදානම් වී සිටියේය.  ගම්පහ ප්‍රදේශයෙන් පැමිණි ඥාතියකුට ගුණ කථනයක් පැවසීමට අවශ්‍යව තිබූ බැවින්, අප කථිකයා ළඟට පැමිණ රහසින් විමසා සිටියේ මේ ප්‍රදේශයේ ගම්වල නම් සහ උදව් උපකාර කළ පිරිසගේ නම් සටහන් කරගෙන ඇති කොළ කැබැල්ලක් නැද්ද යන්නයි. හේ වහාම එම විස්තරය ලියා තිබූ කොළ කැබැල්ලක් ගම්පහ ප්‍රදේශයේ ඥාතියා අතට පත් කළ අතර, ඔහු සටහන් කරගෙන තිබූ කවිද එම කොළයේ තිබූ බව ඔහුට මොහොතකට අමතක විය. 
ගම්පහ ප්‍රදේශයේ ඥාතියා කතාව පවත්වා අවසන් කර සෙනඟ අතරින් නොපෙනී ගියේය. අවමඟු‍ල් සභාව මෙහෙයවන අප පණ්ඩිත කථිකයා උගුරේ රැල් බුරුල් හැර මයික්‍රෆෝනය අතට අරගෙන මියගිය ඥාතියාගේ ගුණකථනය කවියෙන් ගායනා කරන්නට සැරසී කලිසම් සාක්කුවට අත යවා ඔහු සටහන් කරගන්නා ලද කවිය ඇතුළත් කොළය සෙව්වේය. අහෝ අවාසනාවක මහත! ගම්පහ ප්‍රදේශයේ ඥාතියා අප කවියාගේ කවි ඇතුළත් කටු සටහන් කොළයද රැගෙන වාහනයක නැගී ඒ වන විටත් නොපෙනී ගොස් සිටියේය. අප කවියාට හීන් දාඩිය දැම්මේය. ඔහු ගොත ගසන්නට විය. කිසිවක් කර කියා ගත නොහැකිව අසරණව සිටි කථිකයා අවමංගල සභාවේ කටයුතු අවසන් නොකරම එතැනින් වාෂ්ප විය. අවසානයේ පවුලේ වෙනත් අයකු පැමිණ අවමංගල සභාවේ කටයුතු චාරිත්‍රානුකූලව අවසන් කළේය. 
දැන් අවමඟු‍ල් කථිකයා හමුවන විට ගමේ ගොඩේ පිරිස් ‘‘මාමේ ගුණකථනයක් කවියෙන් කරමුද”‍ යැයි අසන විට ‘‘අගුණ කථන”‍ වැලක්ම ඔහුගේ මුවින් නිරායාසයෙන්ම පිටවෙන බව දැනගන්නට තිබේ.