කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය 



ගැහැනු ගැටයකට හසුවීමට ගිය පුද්ගලයකුට තමාගේ ත්‍රිරෝද රථය මහා වනාන්තරයක් මැද දමා කිලෝමීටර් දෙකකට වැඩි දුරක් පයින් ඒමට සිදුවූ පුවතක් කැබිතිගොල්ලෑව ප්‍රසිද්ධ දිය උල්පතකට ආසන්න ප්‍රදේශයේදී  දැනගන්නට තිබේ. 
කතාව මෙසේය. 
මේ පුද්ගලයා වනාහි දැහැමෙන් සෙමෙන් ජීවිකාව ගෙනගිය මැදිවිය යාන්තම් ඉක්මවමින් සිටි අයෙකි. හෙතෙම දරු දෙදෙනෙකුගේ පියෙකි. දැහැමි ජීවිකාවකට පුරුදු පුහුණු වී සිටි අයෙකි. 
සුළු ව්‍යාපාරයක් පවත්වාගෙන යන ඔහු යම් කිසි කෙනකුට හදිසි ගමනක් යෑමට අවශ්‍ය වුවහොත් ඔහුගේ ත්‍රීරෝද රථයෙන් හයර් කිරීමටද සැදී පැහැදී සිටි අයෙකි. 
මොහුගේ ගමට කිලෝමීටර් කීපයක් නුදුරින් පිහිටි ගම්මානයක තරුණ විය සහ මැදිවිය අතර සිටි රූමත් කාන්තාවක් එම ප්‍රදේශයේ තිබෙන දිය උල්පතකට නුදුරෙන් ඇති ගම්මානයක පිහිටි දේවාරූඩයෙන් සාත්තර කියන දේවාලයකට යෑම සඳහා ඔහුගේ කඩයට ගොඩ වුණාය. 
ඇය මායම් හැට හතරම ක්‍රියාවට නංවන තැනැත්තියකි. සැමියාගෙන් වෙන්ව ජීවත්වන ඇය ඕනෑම පිරිමියකු වසගයට ගැනීමට උපන් හපන්කම් ඇති කාන්තාවකි. එහෙත් මේ කිසිවක් අපගේ දැහැමි පුද්ගලයා දැන නොසිටියේය
කාන්තාවගේ අවශ්‍යතා අනුව මහා රූස්ස වනාන්තරයක් මැදින් වැටී තිබුණු පාර දිගේ දැහැමි තැනැත්තාගේ ත්‍රිරෝද රථයට මේ කාන්තාව නංවාගෙන ඔහු දේවාලය බලා යෑමට පිටත් විය.
රැහැයියන්ගේ නාදයෙන් ඔකද වුණු මහා වනාන්තරය මැද ඇති රූස්ස ගස් සෙවණක ත්‍රීවීල් රථය නතර කිරීමට පිටුපස අසුනේ සිටි කාන්තාව දැහැමි පුද්ගලයාට සිහින් කෙඳිරියෙන් පැවසුවාය.
”‍අනේ සුදු අයියේ, ඔයා මගේ මහත්තයා වගේමයි. අපි පොඩ්ඩක් නිදහසේ කතා කරලා දේවාලයට යමුද. ඔය ත්‍රිවිල් එක පාරෙන් එහා පැත්තට ගන්නකෝ. එතකොට කාටවත්ම පේන්නේ නෑ. ඔයා මගේ මහත්තයා වගේමයි අනේ”‍ කියමින් දැහැමි පුද්ගලයාගේ පිට සෙමින් පිරිමදින්නට වූවාය.


මෙලෙස පවසනවාත් සමගම කර කියා ගත හැකි දෙයක් නොමැතිව ධාර්මික තැනැත්තා අන්දුන් කුන්දුන් විය. කැලෑව මැද කෙතරම් සිසිලසක් දැනුනත් ඔහුගේ මුළු ශරීරයම දහදියෙන් තෙත්වී ගියේය. 
ඔහු දෙපාරක් නොසිතා ත්‍රිවිල් රථයෙන් බැස සරම කැසපොට කවා ආපසු හැරී ත්‍රිරෝද රථය එතනම දමා විදුලි වේගයෙන් පසුපස නොබලාම ගම දෙසට දුවගෙන ආවේය. 
ඒ එන අතරතුර ඔහුට ගමේ කීපදෙනකු මුණගැසුනි. ‘කොහෙද අයියේ මේ දුවන්නේ හති දාගෙන ඇයි මොකක් හරි කරදරයක්ද”‍ යයි ගම්මු විමසූහ. 
‘ඔව් ඔව් කරදරයක් තමයි. යනුවෙන් පවසා සියලු‍ විස්තර ඔවුන්ට මුල සිටම පැවසුවේය. 
ඉන්පසු එතන සිටි තරුණ කොලු‍ ගැටවු දෙදෙනකු දැහැමි පුද්ගලයාගේ ත්‍රිරෝද රථය ළඟට යන විට එහි සිටි කාන්තාව වෙනත් තැනැත්තකු ගේ යතුරුපැදියක නැගී දේවාලය සොයා යන අයුරු ඔවුන්ට දැකගැනීමට හැකි විය.  
මේ සිද්ධියෙන් පස්සේ ගමේ ගොඩේ උදවිය දැහැමි පුද්ගලයා දකින විට තුන්වැනි සිල්පදය රැකගන්න සෑහෙන්න දුවන්ඩ වුණා නේද. යනුවෙන් විමසනවාලු‍.