කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය 



 දරුවාගේ දත් නොමැදීම සම්බන්ධයෙන් පාසලේ දෙමව්පිය රැස්වීම්වලදී පන්තිභාර ගුරුතුමියගෙන් සහ නිවසේදී තම බිරිඳගෙන් නිරන්තරයෙන්ම බැණුම් ඇසූ සැමියකු සිදුකළ අපූරු උපක්‍රමයක් පිළිබඳ කතා ප්‍රවෘත්තියක් කැබිති ගොල්ලෑව ප්‍රදේශයේ ගමකින් දැනගන්නට ලැබුණි.
මෙම සැමියා ගිරේට අසුවුණු පුවක් ගෙඩියක් තරමටම අසරණ වී සිටියේ ඔහුගේ එක වසරේ දරුවා කිසිදු දිනයක දත් මැදීමට ඉඩ නොදීම හේතුවෙනි. එක පැත්තකින් බිරිඳගෙන්ද අනෙක් පැත්තෙන් ගුරුවරුන්ගෙන්ද ඔහු බැණුම් ඇසීය.
බිරිය චෝදනා කරන්නේ කුඩා කල සිට තම දරුවා ඕනෑවට වඩා සැමියා හුරතල් කිරීම හේතුවෙන් ඔහු මෙලෙස දඩබ්බර වී ඇති බවය. ඒ නිසා ඇය පවසන්නේ කෙසේ හෝ දරුවාට දත් මැදීම පුරුදු කරන ලෙසය.
දින කීපයක් ගතවිය. මෑතක සිට දරුවා සහ පියා ඉතාම සතුටින් හඬ නගා සිනාසෙමින් කෑ කෝ ගසමින් උඩ පනිමින් දත් මදින ආකාරය බිරියට දැකගැනීමට හැකි විය. බිරිය මහත් විමතියට පත් වූවාය. මේ විස්මයජනක වෙනස කුමක්දැයි ඇය සැමියාගෙන් සහ දරුවාගෙන් ඇසුවත් ඔවුහු පිළිතුරු නොදී සිටියහ.


එක දවසක් හිමිදිරියේ බිරිය මේ දෙදෙනාගේ මෙම අරුම පුදුම වෙනස්වීම ගැන විමසිල්ලෙන් පසු වූවාය. 
එහිදී බිරියට දැක ගැනීමට හැකි වූයේ වතුර ටැංකිය අසල ලෑල්ලක් හේත්තුකර එම ලෑල්ලට වැඩි වාර ගණනක් දත් මදිමින් කෙළ ගසන්නේ කවුරුන්දැයි තරගයක් පැවැත්වෙන බවය. තම දරුවා ඉතාමත් උනන්දුවෙන් දත් බුරුසුවට දත් බෙහෙත් දමාගෙන දත් මදිමින් පියා පරාද කිරීම සඳහා ඉතා උද්​ෙයා්ගයෙන් දත් මදින ආකාරය දුටු බිරියට හිසේ මලක් පිපුනා සේ සතුටක් ආවේය.
දැන් දිනපතාම දරුවා නැගිටපු විගස පළමුවෙන්ම කරන්නේ පියා සමග තරගයට දත් මැදීමයි. පියා හිතාමතාම පරාජය භාර අරගෙන පුතාට ජයග්‍රහණය ලබා දුන්නේය.
මේ කතාව පාසලටද ආරංචි විය. මෙම පියා වෙනුවෙන්ම දෙමව්පිය රැස්වීමක් කැඳවීමට විදුහල්පති තීරණය කළේය.
මෙම පියාට නොසෑහෙන්න ස්තූතිය පුද කළ විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලය, අනෙක් දෙමව්පියන්ටද ඔහු ආදර්ශයක් දී ඇති බව පෙන්වා දුන්නේය. 
ඉන්පසු දත් නොමදින තවත් දරුවන්ගේ දෙමව්පියන්ද ‘‘ලෑල්ලක් සමග දත් මැදීමේ තරගයක්”‍ යන වැඩසටහන රහසිගතව තම දරුවන් සමග ක්‍රියාත්මක කරන බව දැනගන්නට තිබේ.