මොරගොල්ලාගම සිසිර නන්දන කැලේගම



මංගල උත්සවයකට දරුවන්ගේ උපදෙස් මත නවීන පන්නයට යාමට පෙර සූදානම් වූ මැදිවියේ පසුවෙන අඹුසැමි යුවළක ගමන වර්ජනය කළ පුවතක් ගල්නෑව මහවැලි ජනපද ගම්මානයකින් අසන්නට ලැබුණි.
මැදිවියේ පසුවෙන අඹුසැමි යුවළ පමණක් මුල් නිවසේ වෙසෙති. ඒ ඔවුනගේ දූ පුතුන් පිට පළාත්වල නැවතී රාජ්‍ය සේවාවේ නියැලෙන නිසාය.
පවුලේ ළඟම ඥාතියකුගේ මඟු‍ල් ගෙදරකි. එය සිදු කෙරෙන්නේ නගරයේ ප්‍රසිද්ධ හෝටලයකය. දරුවන්ට යාමට නිවාඩු නැත. මේ නිසා අම්මා තාත්තාට එහි යාමට සිදු වී තිබේ. පුතෙක් තාත්තා ඇමතුවේය.
“තාත්තේ, ඔයාලා ගමේ ගොඩේ මඟු‍ල් ගෙවල්වලට ගියා වාගේ මේකට යන්න බෑ. අද එදා වගේ නෙමෙයි. අපිත් ජොබ්වල ඉන්න හින්දා අපෙත් නම්බුව තියන්න ජැණ්ඩියට යන්න ඕනෑ. ඒ හින්දා තාත්තා නගරයට එන්න. මම මෙහේ ඉඳන් එතැනට එන්නම්”‍ කියූ ලෙසට ඔහු එහි ගියේය.


ට්‍රේලර් ෂොප් එකක් වෙතින් තාත්තාට නවීන පන්නයේ කෝට් එකක්, කලිසමක් සෙව්වේය. එය ඇන්දෙව්වේය. එය ගත්තේය. ඒ ගෙවීමේ පදනමටය.
ඉන් අනතුරුව කෝට් එකට අඳින අත් දිග කමිසය, ටයි එක, ටයි පින් එක, සපත්තු ඊටම සරිලන මේස් සියල්ල අනෙක් පුතා තාත්තාට අලු‍තින්ම මිලදී ගත් අතරේ, දියණිය අම්මාට ඉස්තරම්ම සාරියක්ද මිලදී ගත්තාය.
එදිනට පෙර දෙදෙනාම හැඩ කරන්නට එන බව පවසා දරුවෝ එතැනින් රැකියා ස්ථාන වෙතට යාමට පිටත් වූහ.
බාර දුන් දේ රැගෙන දෙදෙනා ගෙදරට පා තැබූහ.
“හැබැයි මිනිහෝ ටයි කෝට් දාලා එදාට බීඩි බොනවා එහෙම නෙමෙයි”‍
“මම එදාට ඒක කොහොම හරි කර ගන්නම්. තමුසේ බුලත් විට නොකා හිටපියකෝ”‍ දෙදෙනා එදින ගත කරන ආකාරය ගැන එකිනෙකාට දොස් නගමින් පැවසූහ. ඒ දෙදෙනාම ඒවාට ඇබ්බැහිවී සිටින නිසාය.
මඟු‍ල් ගෙදරට ටික ටික දින ළංවෙද්දී සැමියා ගෙනා කමිසය හා කෝට් එක ඇන්ඳේය. කණ්ණාඩි මේසය අසල රැඳී හැඩ වැඩ බැලු‍වේය.
“ඒයි, ඒයි නියමයි, නියමයි, පංකාදුයි. මේ එනවකෝ පෙන්වන්න”‍ සැමියා කෑ ගැසුවේය.
කිව්ව දේ හරියට නෑසුණු බිරියද තමා කරමින් සිටි කාර්ය පසෙක තබා සැමියාට කරදරයක් යැයි සිතා කාමරයෙන් එළියට පැන්නාය. ඒ සැනින් “දඩාස්”‍ හඬක් දී ඇය බිම වැටුණාය.
ඇයගේ ඇඟ මත හැප්පුණු සැමියාද ඒ මතටම පත බෑවුණි. උලු‍වස්සට දොර රෙදි දමා තිබූ නිසා කිසිවක් විනිවිදව නොපෙනීම හමුවේ දෙදෙනා එකිනෙකට ගැටී ඇත. එහෙත් ගැටීමෙන් සිදුවී ඇත්තේ මහා විනාසයකි. බිරිය සුදු කෙස් වැටිය ඩයි කරමින් සිටියාය.
හිසේ තවරා තිබුණු කලු‍ දියර සැමියාගේ ක්‍රීම් පාටැති කෝට් එකේ සාක්කුව අසල තැවරුණි. බිරිය අතේ තිබුණු කළු දියර පීරිසිය ඒ අසල බෝල කූඩුවෙහි දමා තිබූ මසන්නට නියමිත අලු‍තින් මිලදී ගත් සාරිය මතටද විසි වෙලාය.
“මිනිහෝ සාරියට නම් වෙච්ච දෙයක් වෙච්චදෙන්. නමුත් ඔය කුලියට ගෙනා කෝට් එක හෝදනවා”‍
බිරිය කියූ දේට අනුව එය සේදීමෙන් එක තැනකට සීමා වූ කලු‍ පැල්ලම තව තවත් තැනින් තැනට විසිරීමෙන් වැඩේ අංජකොරස් වී හමාරය.
“තමුසේ හින්දා තමයි මට මෙහෙම වුණේ”‍
මාමා තරුණ කාලේවත් ඇඳපු නැති ටයි කෝට් අදින්නත්, නැන්දා කෙල්ල කාලේවත් නැති මේකප් දාන්නත් ගිහිල්ලා වෙච්ච දේ ගම පුරා ලැව් ගින්නක් මෙන් පැතිරී යාමෙන් ඇති වූ ලැජ්ජාව හමුවේ දෙදෙනා මංගල ගමනටද තිත තැබූහ.