වයෝවෘද්ධ මාමණ්ඩියට බේත් හේත් ගන්න සැමියා එවූ මුදලින් අඩක්ම මාටියා ගසා මාට්ටුවූ ලේලියක ගැන අලුත් කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
පියා සිටියේ ජීවිතයේ සැඳෑ සමයේය. ඔහු ජීවත්වූවේ බැරි බැරි ගාතයේය. ලෙඩ මර ගාතේය. දූදරුවන් දෙදෙනෙකි, දුවක සහ පුතකු ලෙසය. දෙදෙනාම විවාහකයෝය. මෙයින් පුතා යුරෝපීය රටකය. හොඳ වැටුපකි. දුව ගෘහණියකි.
පියා බලා කියා ගත්තේ දුවය. ඊට සහයෝගයක් ලෙස පුතා මාස් පතා පියාගේ බෙහෙත් හේත් ගන්න ලංකාවට මුදල් එව්වේය. ඒ සිය භාර්යාවටය. භාර්යාව එසේ එවන ලද මුදල් නෑනාට ගෙන ගොස් දෙන්නීය.
මේ ළඟදී දිනක පුතා සිය පියා බලා ගන්නා නැගණියට දුරකතන ඇමතුමක් දුන්නේය. ඒ පියාගේ දුකසැප බැලීමටය. “හා නංගී කොහොමද දැන් තාත්තට. බෙහෙත් වෙලාවට දෙනවද මම මේ කතා කරේ මම තාත්තට බෙහෙත් ගන්න එවන රුපියල් විසිදහස ඇත්ද? .සල්ලි මදිනම් කියන්න” යයි අයියා නංගීට කීවේය.
රුපියල් විසිදාහක් කවදාවත්ම නෑනා නොදුන් බව සිහිවූ නැගණිය අයියාට කීවේ රුපියල් විසිදහසක් නොව මාසිකව රුපියල් දස දහසක් පමණක් නෑනා ගෙනවිත් දෙන බවය. ඒ පණිවිඩයත් සමග සිය භාර්යාව කළ මාටියා ගැහිල්ල ගැන ඔහුට හොඳින් තේරුම් ගියේය.
ඒ සම්බන්ධයෙන් භාර්යාවට දෙහි කැපූ ඔහු ගෙදරට වියදමට භාර්යාවට එවන මුදලින් රුපියල් පන්දහසක් අඩු කොට පියාගේ බෙහෙත් හේත්වලට රුපියල් විසිපන්දහසක් සිය නැඟණියගේ බැංකු ගිණුමට එවීමට පියවර ගෙන ඇත්තේ භාර්යාවගේ මේ මාටියා ගැහිල්ලට දුන් දඬුවමක් ලෙසය.
කරන්දෙණිය එම්. සුසිල් ප්රියන්ත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd