නිවසේ සෑම දෙයක්ම කිරීම සඳහා ස්මාර්ට් ක්‍රමයක් සොයා යන  පුතකුට පියාගෙන් අමතක නොවන පාඩමක් ඉගෙන ගන්න ලැබීම  පිළිබඳව පුවතක් කන්ද උඩරට ප්‍රදේශයන් වාර්තා වෙයි. 
වාර්තාවන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
ඔහු මැදි වියේ පසුවන දෙදරු පියෙකි. ලොකු පුතාට අවුරුදු 24 ක් පමණ වෙයි. අධ්‍යාපනය හමාර කළත් තවමත් රැකියාවක් නොකරන ඔහු නිවසේ සිටිමින් සිය කාලයෙන් වැඩි කොටසක් ජංගම දුරකථනයට වැය කරයි. 
නූතන තරුණ පරපුර බැවින් සියල්ල ස්මාර්ට් ලෙස කල්පනා කර මෙම පරපුර නිවසේ ගැටලු විසඳීමටත් ස්මාර්ට් ක්‍රමම යොදා ගැනීමට කල්පනා කරයි. 
මෙලෙස සිටියදී දිනක් පියා පුතාට කතා කර “පුතේ ගෙදර නිකන් ඉන්න එකේ නරකද වත්ත පහළ තියෙන අර කැලෑව සුද්ද කරල දැම්මොත් සර්පයොත් එනවා වත්තට” යැයි කීවේය.
පුතා එක පයින්ම “හා තාත්තේ මම ඉක්මනටම ඒක කරන්නම්” යැයි කියා සිය ජංගම දුරකථනය රැගෙන වත්තට දිව යන්නට උත්සාහ කළේය. එවිට පියා “කෝ පිහියක්වත් නැතිව වත්ත සුද්ද කරන්න පුළුවන්දැයි” ඇසීය. “පිහිවලින් වත්ත සුද්ද කළේ ඉස්සර තාත්තේ දැන් ඔක්කොම ස්මාර්ට් වෙලා තියෙන්නෙ. කෝ ඉන්න මං ඒක කරල එන්නම්” 
ජංගම දුරකථනය අරගෙන වත්ත පහළට ගිය මෙම තරුණයා කෘත්‍රිම බුද්ධිය උපයෝගි කර ගෙන ප්‍රශ්නාවලියක් අසා ගෙන ගියේය. “මට කියන්න මේ කැලෑව නැති කර ගන්නේ කෙසේද?” කෘත්‍රිම බුද්ධිය මගින් පිළිතුරු ලැබිණ. “සියලු‍ වල් පැලෑටි ඉවත් කරන්න” එවිට මෙම තරුණයා තවත් ප්‍රශ්නයක් ඇසීය. එයටද පිළිතුරක් ලැබිණ. 


මෙලෙස දිගින් දිගටම ප්‍රශ්න අසමින් කාලය ගත කළත් කැලෑව සුද්ද කර ගන්න පාටක් පෙනෙන්නටත් නැත. මෙලෙස පැය ගණනක් ගත විය. මේ අතර වත්ත පහළට ගිය පුතා තවමත් පැමිණ නැති නිසා පියා ඒ ගැන විපරම් කර බැලීම සඳහා හිමින් වත්ත පහළට ගිය විට දැක ගන්නට ලැබුණේ තම පුතා පැය ගණනක් ගත වීත් වත්ත පාමුල වාඩි වී ජංගම දුරකථනය ඔබ ඔබා සිටින අයුරුයි. එම ස්ථානයට ගිය පියා “කෝ කැලෑව සුද්ද කළාදැයි” ඇසීය. “නෑනේ තාත්තේ තවම ක්‍රමයක් අහු වුණේ නෑනේ” යැයි කීය.
ක්‍රමය ? තරහෙන් පුපුරා ගිය පියා “ක්‍රමය මේකයි” කියමින් තමන් අත තිබූ පිහිය ගෙන එක දිගටට  කැලෑව කපමින් ගියේය. විනාඩි කිහිපයක් යද්දී වත්තේ කැලය කපා අවසන් විය. ස්මාර්ට් වෙන්න ගිය පුතාට තරු පෙනුණ අතර ඉන් පසු කිසි දිනෙක පියා ඉදිරියේ ස්මාර්ට් නොවෙන්න ඔහු වග බලා ගත්තේය.

හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්