දොස්තරලා වැඩ වර්ජනය කියා බිරියට අන්දන්න ගිය සැමියාට බිරිය අපූරු දඬුවමක් ලබා දෙමින් ඔහුට ගෙට ඇතුළුවීම වර්ජනය කළ පුවතක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සිව් වැනි රාජධානි බල ප්‍රදේශයට අයත් අවට ගමකින් අසන්නට ලැබුණි.
ඔහු විවාහක මැදිවියේ පසුවෙන අයෙකි. මාස දෙකකට වරක් කුරුණෑගල ශික්ෂණ රෝහලේ පැවැත්වෙන හෘද රෝග ඒකකයට සහභාගි වී කාලයක සිට ප්‍රතිකාර ගන්නා අයෙකි.
මුලින් මුලින් අසනීප තත්වය උග්‍ර අතට හැරී වරින් වර රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ගත් නිසා ඔහුගේ තනි නොතනියට බිරිය සෙවනැල්ලක් මෙන් පස්සෙන් සිටියාය.
නමුත් යහපත් අතට තත්වය හැරී ඇති නිසා ඔහු මාස කීපයක් තනියම ඒ සඳහා ආව ගියේය.
එසේ ගිය රෝගියාට පරීක්ෂණ රැසක් කරගෙන නැවත පැමිණෙන ලෙසට වෛද්‍යවරයා නිර්දේශ කර තිබුණි.
ඒ අනුව එම සායනයට යාමට දින කිහිපයකට පෙර ඔහු පෞද්ගලිකව රෝහලකින් එකී පරික්ෂණයන් කර ගත්තේය. රුපියල් පන් දහසකට වැඩි මුදලකි. පරීක්ෂණය සඳහා පැකිලීමකින් තොරව බිරිය ගෙව්වාය. ඒ සැමියාට ඇති දයාව, කරුණාව හා ආදරය නිසාමය.
පරීක්ෂණ වාර්තාවලින් තයිරොක්සින්, දියවැඩියාව මෙන්ම වකුගඩු රෝග ලක්ෂණ ද පෙන්නුම් කරන බැවින් වහාම එකී වාර්තා රැගෙන සායනයට යාම අනිවාර්ය වෙයි.
දුර කතර ගෙවා යන සැමියා සායනයට පෙර දිනක රෝහල අවට හිතවතකුගේ නිවසේ රැදුණේය. එදින රාත්‍රියේ ගමේ බඩු තොල ගෑමට ඔහුට අවස්ථාව ලැබුණි.
‘‘නියමයි බඩු මේව්වා, කොච්චි වඩියක්, මට ගෙදරත් අරගෙන යන්න බෝතලයකට ටිකක් දාලා දීපන්”
ඒ අනුව එම බඩුද රැගෙන ගෙදරින් නික්ම ගිය රෝගියා පසුදින සායනයට වාරය එන තුරු රැඳි සිටියේය.
බෑගය අතරින් ගන්දස්කාරයක් පැතිරුණි. එය ඔහුට පෙර රැස්ව සිටි අයට දැනුණි. සිද්ධිය වටහා ගත් හෙතෙම වහාම එතැනින් මාරු වුණේය. බෑගයේ හැලී තිබෙන ගමේ බඩු ඉවතට දමා තෙමී තිබෙන සායන පොත හා පරීක්ෂණ වාර්තා ටැප් එකකට අල්ල අල්ලා සෝදා අව්වේ දමා වේළාගෙන සායනයට පෙනී සිටීම පසෙක තැබුවේය.
‘‘සායනය නෑ, දොස්තරලා වැඩ වර්ජනයක්” කියලා බිරිය රවටන අටියෙන් ඔහු ආපසු ගෙදර යාමට හැරුණේය.
ගෙදර දොර වසා ඇත. බිරිය ගෙයි නැත. යතුර වෙනදා සඟවන තැනද නැත. ඇයගේ ජංගම දුරකතනය ද විසංධි වී තිබේ.
‘‘දොස්තරලා වැඩ වර්ජන කියලා බිරියට බොරු කරන බේබද්දා. උඹට ගෙට යන්න බෑ, එළියේ වර්ජනය කරපන්. මම මහ ගෙදර ගියා” බිරිය දොරේ අලවා තිබු දැන්වීම දැක සැමියාගේ ඇස් උඩ ගියේය.
සැමියා රෝහලේ කළ ජවනිකාව එහි සිටි එකකු ඔහු ගෙට ගොඩ වෙන්නට මත්තෙන් බිරියගේ කණේ තබා ඇති බව වටහා ගත් හෙතෙම දොස්තර වැඩ වර්ජන බොරුවෙන් තමාට වෙච්ච අලකලංචියෙන් බිරිය දුන් දඬුවමෙන් මදුරුවන් තළ තළා එළියේ තමාට තපින්නට වූ පුවත දැන් ගමේ අය අතරිනුත් කරළියට ඇවිල්ලාලු.
මොරගොල්ලාගම
සිසිර නන්දන කැලේගම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd