හසලක - සුනිල් ඒකනායක



සිය පෙම්වතාගේ නිවහන කුඩා එකක් බව දැනගත් පසු පෙම්වතා අතහැර දැමූ පෙම්වතියක පිළිබඳ පුවතක් මිණිපුර ප‍්‍රදේශයේ ගම්මානයකින් වාර්තා විය.
විසිහත් හැවිරිදි වියේ පසු වූ පෞද්ගලික ආයතනයක රැකියාවක නිරත ඔහු දිනක් බස් රථයක ගමන් ගනිමින් සිටින අතරේ ඔහුගේ අසුනේ කොනක වාඩිවි සිටි යුවතියක සමඟ කළ කතාබහෙන් අනතුරුව ඇයගේ ජංගම දුරකතන අංකය ලබාගැනීමට අමතක නොකළේය.

එම හමුවෙන් පසු දෙදෙනා කෙටි කාලයකින්ම පෙම්වතුන් බවට පත්වූයේ ඔවුන් දෙදෙනාම අවිවාහක සම වයසේ අයවළුන් වීම නිසාවෙනි. දුරකතනයෙන් කතා බහ කරනවාට අමතරව සතියකට වරක් පමණ ඔවුහු දෙදෙනා නගරයේ දී හමුවී කතාබහ කිරීමට ද අමතක නොකළහ. ඇය පදිංචි නිවස තරුණයා දැනගෙන සිටිමුත් තරුණයා පදිංචි ගම හැරෙන්නට පදිංචි නිවහන පිළිබඳව ඇය දැනගෙන නොසිටියාය. 
මේ අතරේ තරුණයා හදිසියේ රෝගාතුර විය. ඒ ප‍්‍රදේශයේ පැවති වයිරස් උණක් ඔහුට ද වැලඳීම නිසාවෙනි. මෙම රෝගී තත්වය ඇයට ද දුරකතනයෙන් දැනුම් දීමට ද ඔහු අමතක නොකළේය. එම දැනුම්දීම අනුව ඇය තම යෙහෙළියක සමඟ තරුණයා පදිංචි නිවස බලා පැමිණියාය. ඔවුන් පැමිණෙන විටත් ඔහු දැඩි රෝගි තත්වයෙන් පසු විය. ඔවුන් එම නිවසට යන විට මිදුලේ සිටි තරුණයාගේ මව ඔවුන් දෙදෙනාට පවසා ඇත්තේ පුතා කාමරයේ ඇඳ මත සිටින නිසාත් ඔහුට කාමරයෙන් පිටතට පැමිණීම නුසුදුසු නිසාත් රෝගියාගේ කාමරයට ගොස් ඔහුට කතා කරන ලෙසය. 
ඔවුන් පැමිණි බව මවගෙන් දැනගත් තරුණයා නිවසේ කාමරයේ සිට ඔවුන්ට එහි පැමිණෙන ලෙස ඇරයුම් කළත් ඇය එම ඇරයුම ප‍්‍රතික්ෂේප කර යෙහෙළියට පැවසුවේ රෝගියා බැලීමට රැගෙන ආ පාර්සලය මවට ලබා දී රෝගියා නොබලා ආපසු යමු කියාය. 
එසේ පවසා එම පාර්සලය මව අත තබා ඉකි බිඳ හඬමින් ඇය පැමිණි යතුරුපැදියේ නැගී වහා නිවසින් පිටව ගියේ ඔවුන් හමුවට තරුණයා පැමිණේවි යැයි ඇති වූ සැකය හේතුවෙනි. රෝගියා නොබලා මෙසේ යන්නේ ඇයිදැයි යෙහෙළිය විමසුවත් එම අවස්ථාවේ ඇය පිළිතුරක් ලබා නොදී ගොස් ඇත.
ඔවුන් නිවසින් පිටව ගිය බව මවගෙන් දැනගත් තරුණයා එසේ වීමට හේතුව දැනගැනීමට ඇයගේ දුරකතනයට ඇමතුම් කීපයක් ගත්තත් එය විසන්ධි කර තිබීම ඔහුට දැඩි කුතුහලයක් විය. පසු දින ඇයගේ යෙහෙළියගේ දුරකතනයට ඇමතුමක් ගෙන පෙර දින සිදුවූ සිද්ධිය පිළිබඳව විමසීමේ දී ඇය පවසා ඇත්තේ තමන් සිතුවේ පෙම්වතාගේ නිවස යම් ප‍්‍රියමනාප අයුරින් සකස් කර ඇති උසස් තත්වයේ නිවසක් බවය. නමුත් එම නිවස තහඩු සෙවිළි කළ කුඩා නිවසක් නිසා තමන්ට එවැනි නිවසකට පැමිණ සිටීමට නොහැකි බවත් මෙතැන් සිට තමන් ඔහු සමඟ පැවති මිතුදමට තිත තබන බවත් දන්වා සිටින ලෙසත් මින් ඉදිරියට කිසිදු අයුරකින් දුරකතන ඇමතුම් ලබා නොගන්නා ලෙසත් ඇය ඔහුට දැනුම් දෙන්න කියූ බවත්ය.
එම පණිවිඩයට ඔහු මිතුරියට පැවසුවේ ඇය ආදරය කර ඇත්තේ තමන්ට නොව තමන්ගේ දේපළවලට බව දැන් වැටහෙන බවත් මෙවැනි කෙනෙක් මෙසේ හෝ වෙන් කිරීම පිළිබඳව දෙවියන්ට ස්තුති කරන බවත්ය. එදිනෙන් පසු තම ආයතනයේ මිතුරන් පෙම්වතිය ගැන විමසන විට ඔහු පවසන්නේ වැළඳුණු උණ රෝගය තමන්ට ආශිර්වාදයක් වූ බවත් එසේ නොවන්නට ඇය නිසා තමන් විශාල අමාරුවක වැටෙන්නට ඉඩ තිබූ බවත් ඒ නිසාම බසයේ හමුවූ ආදරයට ඔවුනොවුන් තිත තබා ඇති බවත්ය.