හසලක සුනිල් ඒකනායක



පිරිමින් නැති නිවාසවල ජනෙල්වලින් එබිකම් කරමින් හොල්මන් කරන භුතයා පාවහන් යුවළකින් හෙළි කර ගැනීමට ගැමියන්ට හැකිවු පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය.
එම ගම්මානයේ බොහෝ ගෘහමූලිකයෝ කන්නයේ අස්වනු නෙළීමෙන් පසු විවිධ දෛනික කුලී වැඩ සඳහා කොළඹ හෝ වෙනත් ඈත දුර ප‍්‍රදේශවල රැකියාවන් සඳහා පිටත්ව යති. ඔවුන් එසේ ගිය පසු නිවාසවල තනිවන්නේ බිරින්දෑවරුන් සහ කුඩා දුවා දරුවන්ය.
පිරිමින් නොමැති නිවාස වලට රාත්‍රී කාලයේ හොල්මන් කරන භූතයකු නිසා එම නිවැසි කාන්තාවන් මාස ගණනාවක සිටම පසු වනුයේ දැඩි බියකිනි. මොහු කොටු කර ගැනීමට ගැමියන් විවිධ උපක්‍රම යෙදුවත් එය සාර්ථක වුයේ නැත.


ගෘහමූලිකයා කොළඹ ප‍්‍රදේශයේ රැකියාවකට ගිය නිසා මෙදින කුඩා දරුවන් දෙදෙනකු සමඟ එම නිවසේ තනිවුයේ 34 හැවිරිදි මවකි. රාත‍්‍රි ආහාර පාන ගැනීමෙන් අනතුරුව එම නිවැසියන් නින්දට ගොස් ගත වුවේ පැය දෙකක පමණ කාලයකි. ඇයගේ මතකයේ හැටියට ඒ වෙන විට රාත‍්‍රි 11.30 ට පමණය. නිවස ආලෝකවත් වන්නේ කුඩා විදුලි බල්බයකිනි.
ඇය නින්දෙන් එක් වරම ඇහැරෙන්නේ වහලය දෙසින් ආ අඩි ශබ්දයකිනි. එසේ අවදි වු ඇයට දැනෙන්නේ ඇහෙන්නේ කිසියම් අයකු වහලය මත ගමන් කරන අයුරුය. ඒ සමඟම ඇයට මතකයට නැගුනේ ගමේ කතා වෙන අද්භූත භූතයා ගැනය. ”හරි හොඳ වැඩක් කරන්නම්. ” තමන්ටම කියා ගත් ඇය ”ආ අයියේ මොකද ඔයා වහලයේ නැගගෙන කරන්නේ. අයියා අපේ ගෙදරට එනවා මම දැක්කා. මම අයියා අඳුරනවානේ එන්න ඉස්සරහා දොරෙන්. දොර අරින්නම්,” යැයි කියා ඇය අසල තිබු විදුලි පන්දම ගෙන එය දල්වා ආලෝකය වහලය දෙසට යොමු කරනවාත් සමගම එතෙක් වහලයේ ඇවිදිමින් සිටි භුතයා එක්වරම දිව යාමත් සමඟම දඩාස් ගා වහලයෙන් බිමට වැටෙන හඬත්  ‘‘අම්මෝයි මගේ කකුල.” යනුවෙන් පැවැසු පිරිමි කට හඬත් ඇයට ඇසුණි.
පසුදින පෙරවරුවේ දරුවන් පාසල් ගිය පසු නිවසේ පිටුපස මිදුල අතුගාන අවස්ථාවේදි ඇය දුටුවේ රබර් පාවහන් යුගලක් ගසක් පා මුල තිබෙන බවයි. එම පාවහන් යුගල පිළිබඳව විපරම් කිරීමේදි එය තම පවුලේ කෙනකුගේ නොවන බව වැටහුණි. 
මෙදින කිසියම් අවශ්‍යතාවකට ගමේ කඩයට ගිය ඇය පෙර දින රාත‍්‍රියේ සිදුවු සිද්ධිය පිළිබඳවත් සෙරෙප්පු දෙක ගැනත් එහි සිටි හිතවතුන් කීප දෙනකුට පවසා ඇත. එම තොරතුරෙන් පසු ගැමියන් කීප දෙනකු ඇය සමඟ නිවසට පැමිණ සෙරෙප්පු දෙක දැක ආ මේ සෙරෙප්පු දෙක අසවල් කෙනාගෙනේ මු අහවලාගේ ඉදිකිරිම් වැඩවලට අත් උදව්වට ඉන්න කෙනානේ. මේ තියෙන්නේ සෙරෙප්පු දෙකේ සිමෙන්ති බදාම යැයි පවසා ඇත. එහෙනම් මේකා තමයි ගමේ හොල්මන් කරපු භූතයා. මූට හොඳ වැඩක් කරන්න ඕනේ ආයේ කවදාකවත් මේ වාගේ නොහොබිනා වැඩ නොකරන්න. යැයි ඔවුන් පවසා බිම තිබු සෙරෙප්පු දෙක රැගෙන ගොස් කඩය ඉදිරිපිට තිබු සියඹලා ගසේ ලණුවකින් එල්ලා ගමේ හොල්මන් කරපු භූතයාගේ සෙරෙප්පු දෙක මෙන්න කියා පත්තර කෑල්ලක ලියා එහි තබන ලදි. 
මේ භූත කතාව එදින ගම පුරා පැතිර ගිය අතර හොල්මන් භූතයා පසු දින සිට ගමෙන් පිටව කොළඹ ප‍්‍රදේශයේ ඉදිකිරීම් ආයතනයක වැඩට ගිය බව ගමට ආරංචි වු අතර එදිනෙන් පසු ගමේ හොල්මන් භූතයාද අතුරුදන් වු බව ගැමියෝ කියති.