උණවටුන ඩී.ජී. සුගතපාල
ඔහු රජයේ ප්‍රධානම කාර්යාලයක අංශ ප්‍රධානියෙකි. කාර්යාලයේ හැමදෙනාගේම ආදරය දිනා සිටි ඔහු මැදි වයසට ආසන්නව සිටියේය. ඔහුට කාර්යාලයෙන් ප්‍රවාහන පහසුකම් සපයා නොතිබූ නිසා දිනපතා සේවයට පැමිණියේ පොදු ප්‍රවාහන සේවයේය. ඒ අතරින්ද වැඩිපුරම ගියේ බස් රථයේය.
බස් රථයේ කාන්තාවන් සිටින අසුන්වල වාඩිවී යාමටද ඔහු වැඩි කැමැත්තක් දැක්වීය. කෙසේ වෙතත් බස් රථයේ වාඩිවී සුළු දුරක් යනවිටම නින්ද යාම සමහර වේලාවට අසුනේ සිටින අයට නොව ඔහුටද කරදරයක් විය. එවැනි බොහෝ අවස්ථාවල “ඇයි මහත්තය ඊයේ රෑ නිදිමැරුවද? ඇයි ඊයේ රෑ ගෙදරින් පිට ගියාද?’’ යනුවෙන් මගීන් සමච්චලයට අසන්නේ ඔහු කවුද කියා නොදැනය.
මේ අතර පසුගිය දිනක සවස රාජකාරි අවසන් කළ ඔහු නිවසට යාමට බස් රථයකට ගොඩවිය. ඔහුට වාඩි වීමට ඉඩ තිබුණත් වටපිට බලා ඔහු කාන්තාවක සිටි අසුනේ වාඩිවිය. මගීන්ගෙන් පිරුණු බස් රථය පිටත්විය. වෙනදා මෙන්ම ටික දුරක් යනවිට ඔහු නින්දට වැටිණ. සමහර අවස්ථාවල ඔහු අසුනේ සිටි කාන්තාවගේ ඇඟට බරවිය. එවිට ඇය අත ගස්සා අසුනේ තවත් කෙළවරට වුවාය. තවත් ටික දුරක් යනවිට ඔහුගේ අත ඇයගේ බඩේ වැදින. එවිට ඇය උකුළ මත තිබූ කුඩ මිටෙන් ඇන්නාය. ඔහු සමාවෙන්න යන බැල්මකින් ඇය දෙස බලා අවදියෙන් යාමට උත්සාහ කළේය.
එහෙත් නින්ද යාම වළක්වා ගැනීමට ඔහුට බැරිවිය. පෙරට වඩා තද නින්දකට වැටිණි. අසුනේ සිටි කාන්තාවට මෙය මහත් කරදරයක් වුවද ඇයගේ ගමනාන්තය ළඟ නිසා ඇය ඉවසාගෙන සිටියාය.
මේ අතර එක් වරම ඔහු මහත් කලබලයෙන් අසුනෙන් නැගී සිටියේය. ඔහුගේ උකුළ මත තිබූ රාජකාරි බෑගයද පහළට වැටින. එහෙත් එය ඔහුට දැනුනේ නැත.
අසුනෙන් නැගි සිටි ඔහුගේ හැසිරිම දුටු කාන්තාවද වහාම නැගිට්ටාය. මෙය දුටු යාබද අසුනේ සිටි හැඩි දැඩි පුද්ගලයකු “ඇයි මිස් මොකද මොකද යනුවෙන්’’ ඇසීය. ඔහු නැගිටියත් තවමත් සිටින්නේ නින්දේ බව යාබද අසුනේ සිටි පුද්ගලයාට වැටහිනි.
එම පුද්ගලයා ඔහුගේ අත අල්ලාගෙන “මේ ඇයි මහත්තය අසනීපයක්ද’’ යනුවෙන් ඇසීය. එවිට ඔහුගේ ඇස් ඇරිණි. ‘‘අනේ සොරි මට නින්ද ගියා’’ යනුවෙන් පැවසු ඔහු වැටී තිබු බෑගය අතට ගත්තේය. අසුනේ සිටි කාන්තාවද මහත් අනුකම්පාවෙන් ඔහු දෙස බැලුවාය. ඔහුට කුමක් හෝ දෙයක් සිදුව ඇති බව ඇයට වැටහිණි. ඔහුට අසුනේ වාඩිවන ලෙස ඇය කීවාය. ඔහු මහත් ලජ්ජා ගතියකින් අසුනේ වාඩිවිය. “ඇයි මොකද වුණේ’’ ඇය පහත් හඬින් ඇසුවාය.
“හරි වැඩේ නේ මිස් වුණේ. මට නින්ද ගියා. ඒ ටිකට මම හීනයක් දැක්කා. මා සමග කව්රුදෝ සටනට ඇවිල්ලා’’ ඔහු කීය.“අයියෝ දවල් හීනයක් නේ ඔයා දැකල තියෙන්නේ’’ කියු ඇය ඊළඟ නැවතුමෙන් බැස ගියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd