මොරගොල්ලාගම සිසිර නන්දන කැලේගම
ගෙරවිල්ලට වඩා තනිව මිය යාම සැප යැයි සිතා අඹු සැමි යුවළක් දෙපසට වී නින්දට ගිය පුවතක් යාපහු අඩවියෙන් අසන්නට ලැබුණි.
මැදිවිය ඉක්මවා ඇති අඹු සැමි යුවළකි. දෙදෙනාම රාජ්‍ය සේවකයෝය. දරුවන්ද පිටත රැකියාවල නියැලෙන නිසා අඹු සැමි යුවළ පමණක් නිවසේ වාසය කරති.
දෙදෙනාම උදේ සේවාවට යන නිසා බොහෝ විට නිවස දිවා කාලයේ වසා තිබේ. සවස් යාමයේ දෙදෙනාම ගෙට ගොඩ වී ඉහුම් පිහුම් සිදු කොට රූපවාහිනි වැඩ සටහන් නරඹා දෙදෙනාම විනෝදයෙන් කාලය ගත කොට වෙන් වෙන්ව නින්දට යති. මෙම නිවසේ කිසිදාක අඩ දබර නැත.
ඒ නිසා එම නිවසේ ඇති සමගිය පවුලේ අය ද, අවට උදවියද හොදාකාරවම දන්නා කරුණකි.
සැමියා ඉඳහිට අසනීපවී රෝහලේ සිට ගෙදරට ගෙනා අවස්ථා එමටය. බිරිය ඒ සෑම අවස්ථාවකම අන් කාමරයක සිටියත් කඩින් කඩ සැමියාගේ කාමරය දෙසට එබිකම් කොට විමසිල්ලෙන් පසු වුණාය.
ඒ අතරේ අවට නිවසක කාන්තාවක නිදි පැදුරේම මිය ගොස්ය. එහෙත් ඒ බව එම සැමියාත්, පවුලේ දරුවනුත් දන්නේ පසු දින උදේය. ඒ ඔවුන් වෙන් වෙන් වශයෙන් කාමරවල තනි තනිව නිදා ගැනීම නිසාය.
එම සිදුවීම මෙම නිවසේ බිරිය පාඩමකට ගත්තාය. ඇය සැමියාට කතා කළාය.
“අර ගෙදර අර ගෑනි මැරිලා පහුවදා දැන ගත්තා වාගේ තමයි මේ ගෙදරත් ඔයා හරි මම හරි මැරුණොත් සිදු වෙන්නෙත්. අපි දෙන්නත් කාමර දෙකක නිදා ගන්නවා. බැරිවෙලාවත් ඔයා නිදි පැදුරේ මැරුණොත් ඒ ගැන මම දන්නේ පහුවදා උදේ තමයි. මම මැරුණොත් ඒත් එච්චරම තමයි. එදාට අපේ දරුවොත් අපිට බනියි. අහල පහල එවුනුත් අනම් මනම් කියයි. ඒ හින්දා ඒ අපවාදවලින් මිදෙන්න අපි දෙන්නත් එක ඇඳක නිදා ගනිමු.“
එදා තරුණ වියේ එකටම කුරුල්ලයි කිරිල්ලියි වාගේ සිටියත් දරු මල්ලන් නිසා දෙපසට වුවත් දැන් නිවසේ කාත් කවුරුත් නැති නිසා බිරිය ගෙනා යෝජනාවට සැමියාද එක පයින්ම කැමැති විය. පළමු හා දෙවැනි දින ඔවුහු එසේ නිදා ගත්හ.
බිරිය ගොරවනවාය. ඒ බව සැමියා ඇයට කීවේය. “මේ හලෝ මං නෙමෙයි ගොරවන්නේ ඔයා.” බිරිය පෙරලා උත්තර දුන්නාය. ගෙරවිල්ල ගැන දෙදෙනා දෙදෙනාටම දොස් නැගුහ. දෙදෙනා තෙවැනි දින එසේ නින්දට යාමට සුදානම් වූහ.
ඊට පෙර දෙදෙනා නිවසේ ඇති බුදු කුටියට ගොස් මල් පහන් පූජා කළහ. අවසානයේ සැමියා බිරියට ළං වුණේය.
“මේ අහනවාකෝ මං ගොරවන එක ඔයාටත්, ඔයා ගොරවන එක මටත් කරදරයක් නම් අපි මැරෙන දවසක මැරිච්චදෙන්, ඒ බව දැන ගත්තා කියලා මං හෝ ඔයා මැරෙන එක අපිට අතින් අල්ලලා නවත්වන්නත් බැහැනේ. මැරුණා කියලා. පහුවදා දැන ගන්න වෙලාවක දැන ගත්තු දෙන්. එන අපවාදයක් ආපුදෙන්. මේ පායන පෑවිල්ලට, දාන දාඩියට මදුරු වදෙන් මිදෙන්නට මදුරු දැල් අස්සේ ඇඳන් නැති එවුන් වාගේ හිරවෙලා එකට නිදන්නේ නැතිව අපි නිදහසේ නිදා ගමු” සැමියා යෝජනාවක් ගෙනාවේය. එය අසා සිටි බිරියත් කොක්හඬලා සිනා සෙමින් ඊට උඩින්ම කැමැති වුණාලු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd