කැබිතිගොල්ලෑව - හේමන්ත රණසූරිය 



රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීම සඳහා පවත්වනු ලබන ලිඛිත පරීක්ෂණයට “දතේ කහට”‍ නිසා පෙනී සිටීමට නොහැකි වූ තරුණයකු පිළිබඳ කතාවක් කැබිතිගොල්ලෑව ප්‍රදේශයෙන් දැන ගැනීමට ලැබුණි.
ඔහු වයස අවුරුදු 18 ඉක්මවූවා පමණි. රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීමට ප්‍රදේශයේ රියැදුරු පුහුණු පාසලකට ගොස් අවශ්‍ය මූලික කටයුතු සිදු කළේය. ඒ අනුව මුලින්ම වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටීමට ඔහුට සිදුවිය.
ඔහු වෛද්‍ය පරීක්ෂණයෙන් සමත් විය. ඊළඟ අදියර ඇත්තේ රියැදුරු පුහුණුව සඳහා මූලික සුදුසුකමක් ලෙස සැලකෙන ලිඛිත පරීක්ෂණයට පෙනී සිටීමයි. රියැදුරු පුහුණු පාසලේ පුහුණුකරුවා ඔහුට ලිඛිත පරීක්ෂණය පැවැත්වෙන දිනය සහ ස්ථානය ඇතුළු සියලු‍ තොරතුරු පවසා එදිනට ඒ ලිඛිත පරීක්ෂණයට පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණි. 
මෙම තරුණයා ලිඛිත පරීක්ෂණයට පෙනී සිටීමට එතරම් උනන්දුවක් නොමැති බව වැටහුණු ඔහුගේ මව “පුතේ උඹ ඩ්‍රැයිවින් පුහුණු වෙන්න මෙඩිකල් ගියේ උඩ පැන පැන නේද? අද නේද ඔයාලගේ ලිඛිත පරීක්ෂණය තියෙන්නේ. ඇයි පුතේ ඔයා ඒකට යන්නෙ නැද්ද?”‍ මව විමසීය.


“මට ඒකට යන්න බැහැ අම්මේ, මම එදා මෙඩිකල් පරීක්ෂණය පාස් වුණාට මම යන්නේ නෑ.”‍ යැයි පුතා පිළිතුරු දුන්නේය.
මේ අල්ල පනල්ලේම රියැදුරු පුහුණු පාසලේ ගුරුවරයාගෙන් ඔහුට දුරකතන ඇමතුමක් ලැබුණි. “ආ ළමයා දැන් අපේ බස් එක එනවා. ඔයාගේ ගෙදර ඉස්සරහින් බස් එකට නගින්න.”‍
ගේ ඉදිරිපිට රියැදුරු පුහුණු පාසලේ බස් රථය නතර විය. තරුණයා පේන්න නොසිටි නිසා බස් රථයේ නළාව කිහිප වරක් නාද කර බැරිම තැන රියැදුරු පුහුණුකරුවා ඔහු සොයා ඔහුගේ නිවෙසට ගියේය. “ඇයි මොකක්ද ප්‍රශ්නේ? අන්න බස් එක ඇවිල්ලා යන්නේ නැද්ද?”‍ යැයි ඔහු නොඉවසිලිව කලබලයෙන් විමසීය. 
“අනේ සර්, එදා ඩොක්ටර් මට කිව්වා, ඔය දත්වල “කහට”‍ ඇරගන්න වෙයි දරුවා කියලා. ඉතින් මට ඩ්‍රැයිවර් කෙනෙක් වෙන්න බැරිවෙයි නේද? මම කහට ඇරගෙනම එන්නම්”‍ යනුවෙන් ඔහු පිළිතුරු දුන්නේය.
පුහුණුකරුවා පුදුමයට පත්වී කොතෙක් ඇවිටිලි කළද තරුණයා බස් රථයට ගොඩ නොවීය. 
කෙසේ හෝ පසුව පුහුණුකරුවා විසින් වෛද්‍යවරයා හමුවී කාරණාව පවසා ඇත. එදා වෛද්‍යවරයා නිකමට මෙන් පවසා ඇත්තේ ඔහු තරුණයකු නිසා ඔහුගේ දත්වල උපන් කහට ඇරගැනීම සුදුසු බවය. එය රියැදුරු පුහුණුවට කිසිසේත්ම බල නොපාන බව මෙම තරුණයා දැන සිට නොමැත.
කෙසේ හෝ තරුණයා හමුවන විට ඔහුගේ සමකාලීන මිතුරන් “ඩ්‍රැයිවර් කෙනෙක් වෙන්න දතේ කහටත් “පරහට”‍ හිටියා නේද?”‍ යැයි විමසන විට ඔහු මුවින් නොබැන එතැනින් වාෂ්ප වෙනවාලු‍.