බිංගිරිය වික්ටර් සෝමවීර


අලු‍තෙන් මිල දී ගත් නවීන පන්නයේ මෝටර් රථයේ ඇතුළත සීට්වල මඩ තැවරී අවලක්ෂණවීමට ඉඩ ඇතැයි සිතා කිලෝ මීටර් දෙකක පමණ දුරක් පයින් ඇවිදගෙන නිවස වෙත ගිය කාන්තාවක පිළිබද පුවතක් සත්කෝරළයට අයත් ගම්මානයකින් වාර්තා විය.         

මේ කථාවට පසුබිම් වන ස්වාමි පුරුෂයා රජයේ රැකියාවක් කොට දැනට විශ්‍රාම ලබා අමතර ආදායම් මාර්ගයක් වෙනුවෙන් වෙළෙඳ ව්‍යාපාරික කටයුතුවල නිරතවී සිටින්නෙකි. බිරිඳ සෞඛ්‍ය අංශයට සම්බන්ධ ආයතනයක රැකියාවක් කරන අතර දිනපතා රැකියා ස්ථානයට යන්නේ පොදු ප්‍රවාහන සේවයට අයත් මගී බස් රථවලිනි.

ස්වාමි පුරුෂයා රජයේ රැකියාවෙන් විශ්‍රාම ලැබුවේ මෑත කාලයේ ය. නිවසට වී තනි පංගලමේ සිටිනවාට වඩා වෙළහෙළඳාමක් කර කීයක් හරි මුදලක් අතට ලබාගැනීම සුදුසු බව කල්පනා කළ ඔහු මුලින්ම නවීන පන්නයේ මෝටර් රථයක් අලු‍තෙන්ම මිලදී ගත්තේය. 

ඉන් පසුව ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් නගරයේ කඩ කාමරයක් මාසික කුලී ගෙවීමේ පදනම මත ලබාගෙන වෙළෙඳාම් කටයුතු කරගෙන ගියේය. වැහිබර කාලගුණයක් සහිත දිනයක වෙළෙඳසලට අවශ්‍ය භාණ්ඩ රැගෙන ඒම සඳහා ඔහු සිය මෝටර් රථයෙන් කොළඹට ගොස් ගමට එනවිට රාත්‍රී අඳුර වැටෙන්නට ආසන්න වී තිබිණි. ඒ වන විට බිරිය තම සේවා මුරය අවසන් වී ප්‍රධාන මාර්ගයේ ධාවනය වන බස් රථයකින් පැමිණ ගමට හැරෙන හන්දියේ බස් මගී ආවරණය ළඟ සිටින අයුරු දුර තියාම දුටු සැමියා ඇය සිටි ස්ථානය අසල මෝටර් රථය නතර කොට ‘කොහොමද දැන් ගෙදර යන්නෙ’ යැයි විමසීය. 

 නිවස ඉදිරිපිටින් තිබෙන මාර්ගයේ බස් ධාවනය එතරම් සතුටුදායක තත්වයක නොමැත. බස් ධාවනය වන්නේ ඉඳහිටය. මීළඟ බස් එක එන්න තව පැයක් විතර ගතවෙයි. ‘මාවත් දාගෙන යන්න බැරිද’ යැයි බිරිය ඇසුවාය. එයට ප්‍රතිචාර දැක්වූ ස්වාමියා ‘වැහි පොදට ඔයාගේ ඇඳුම් තෙමිල මඩත් තැවරිලා ඇති සීට් එක උඩ තිබෙන භාණ්ඩ ටිකත් තෙමිල ඒවට වතුර යන්න ඉඩ තියෙනව ඒ නිසා බස් එකේම ඔය ටික එන්න’ යනුවෙන් පවසා මෝටර් රථය හිමින් සීරුවේ ඉදිරියට ඇදී ගියේය . ඉන්පසු බස් රථයක් එනතුරු එහි රැඳී නොසිටි බිරිඳ වැහිපොද වැටෙන හෙයින් කුඩයත් ඉහළාගෙන පයින් ම ගෙදර ගියාය.