හසලක සුනිල් ඒකනායක
මංගල සභාවකදී තම ඥාති දියණිය රූසපුවෙන් යුක්ත හෙයින් ඇයට මොහු නොගැළපෙන නිසා මනමාලයාගේ පාර්ශ්වයෙන් සැලකිය යුතු දෑවැද්දක් ලැබෙන්නේ නම් මේ මංගල්‍යයට තමන්ලා කැමති යැයි මත්වතුරෙන් මත්වූ මනමාලියගේ පාර්ශ්වයේ ඥාතියකු කළ කතාවක් හේතුවෙන් එම යුවළගේ අනාගත අපේක්ෂා සුන්නද්දූලිවී යන්නට ගොස් එම පාර්ශ්ව දෙකේ බුද්ධිමතුන්ගේ මැදිහත් වීමෙන් එය නැවත යථා තත්වයට පත්වූ පුවතක් මිණිපුර ප‍්‍රදේශයේ ගම්මානයකින් වාර්තාවිය.
ඈත එපිට ගම්මාන දෙකක තරුණයකුගේ හා තරුණියකගේ කල වයස හරි ගියෙන් මඟුල් කපුවකුගේ මාර්ගයෙන් ගෙනා මංගල යෝජනාවකට දෙපාර්ශ්වයේම කැමැත්ත පළ කරනු ලැබීය.
එයට සුදුසු දින හා වේලාවක් නියම කරගන්නා ලදි. එම යෝජනාව අනුව සිංහල චාරිත‍්‍රයට මුල් තැනක් දෙමින් එම වැඩිහිටියෝ පළමුව තරුණයාගේ පාර්ශ්වයේ පිරිස තරුණියගේ නිවස බලා පැමිණියහ.
පැමිණෙන මෙම ආරාධිත ආගන්තුක ඥාතීන් පිළිගැනීමට හා එම යෝජනාව පිළිබඳව කතා බහකර ගැනීමට තරුණියගේ ළඟම ඥාතීන් කීප දෙනකුටද ආරාධනා ලැබි තිබිණි. නියමිත දින නියමිත වේලාවට තරුණයා සමඟ දහ දෙනකුගෙන් පමණ සමන්විත ඥාති පිරිසක් තරුණියගේ නිවසට පැමිණියේ ඉතාමත් සතුටිනි.
පැමිණි ආගන්තුක ඥාති පිරිස ගෞරවයෙන් පිළිගැනීමෙන් අනතුරුව තේපැන් සංග‍්‍රහයක් ද ඥාති පිරිසට පිළිගන්වනු ලැබීය. තේ පැන් සංග‍්‍රහයෙන් පසු පිරිසක් නිවසේ මිදුල අසල සකස් කර තිබූ ස්ථානයකට ගොස් මත්වතුර සාදයකට එක්වූහ. මත්වතුර පානය නොකරන පිරිස විවිධ කතා කියමින් තවත් තැනක සිටියහ. දිවා ආහාරයෙන් පසුව කුඩා මංගල සභාවක් පවත්වන්නට යෝජනා වුයේ දෙපාර්ශ්වයේ කරුණු කතා බහ කිරීම සඳහාය.
මෙහිදි අනාරාධිතව මත් වතුරෙන් මත් වී නැගී සිටි තරුණියගේ මාමා කෙනකු කතාව ආරම්භ කළේ කඩා හැලෙන සරමද ඔසව ඔසවාය. එය සිනහා උපදවන කරුණක් වී තිබිණි. අපි මේ මංගල කටයුත්තට කැමතියි. හැබැයි අපි කියන්නේ අපේ කෙල්ල ඇහැට කනට පෙනෙන හරිම ලස්සන කෙල්ලක්. ඒවාගේ ලස්සන කෙල්ලක් මේ ගම් හතකවත් නැහැ. මේවාගේ කෙල්ලක් ගන්න පින් කරන්න ඕනේ. හැබැයි ඒ පින අපිට වැඩක් නැහැ. අපේ කෙල්ල ඕනේ නම් අපි කියන දෑවැද්ද කොල්ලාගේ පැත්තෙන් අපිට දෙන්න ඕනේ. මොකද මේ කොල්ලා ඒ තරම් ලස්සන නැහැ. පාට අනුව කෙල්ලට ගැළපෙන්නේ නැහැ. එහෙම කැමති නම් අපි කෙල්ල දෙනවා. මොකද කියන්නේ.
ඔහු එසේ කියනවාත් සමඟම තරුණයාගේ ගමෙන් පැමිණි පිරිස දැඩි අපහසුතාවට පත් වූ අතර එහිදී නැගී සිටි වැඩිහිටියකු පැවසුවේ මේ මංගල්‍යය කතා කරපු කපු මහත්තයා ඔය වගක් අපිට කිව්වේ නැහැනේ. එහෙම කිව්වා නම් අපි මේ ගමන එන්නෙත් නැහැ. අපිට සල්ලි දෑවැදි දීලා කෙල්ලෝ ගන්න ඕනේ නැහැ. නැගිටපල්ලා අපිට ඕන ලෙල්ලක් නැහැ. අපි යන්ට යමු. යැයි ඔහු පවසනවාත් එක්ක තරුණයා ඇතුළු කණ්ඩායම මංගල සභාවෙන් නැගිට එයින් ඉවත්ව යන්න සූදානම් වූ විට. තරුණියගේ වැඩිහිටි ඥාතියකු පැවසුවේ මේ බේබද්දා ඔහොමම තමයි. මොනවා හරි කටේ හලාගත්තොත් ගිය තැන නානවා. හාගන්නවා. ඔය මිනිහා කියන දේ අහන්න එපා. අපි මේ ගැන කතා කරලා තීරණයකට එමු. යැයි ඔහු පවසනවාත් සමඟ මේ කතා බහ අසාගෙන පිටත සිටි තරුණයකු පැමිණ මත්වතුරෙන් මත් වී ඒ වෙන විටත් හිස මේසයක් මත තබා ගෙන දොඩවමින් සිටි වැඩිහිටියාට බැණ බැණ පිටතට රැගෙන ගියේය. නැවත පිරිස එක්වී කළ කතා බහෙන් මංගල්‍යය තීරණය කර ගැනීමට හැකි වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd