සෙත් සාන්තියක් කර ගැනීමකට දේවාලයකට ගොස් කපුවකුගෙන් පේනයක් අසා තම බිරිය  අහිමි වූ අයකු කපුවාට ඇඳිවත ඔසවා දේවාලය ඉදිරියේදී බැණ වැදුණු සිද්ධියක්  අකුරු දෙක තුනකින් හඳුන්වන ගමකින් වාර්තා වේ. 
මෙම දේවාලයේ කපුවා  බොහෝ දෙනා ගේ ප්‍රශ්න ගැටලුවලට දෙවියන් ලවා ආශිර්වාද කරමින් සහන ලබාදුන් බව කියති.
අණවින කපමින් ශාන්ති කර්ම කිරීම ඇතුළු සේවා ලබාදෙන බැවින් එක්තරා පුද්ගලයකු තමන්ට සෙත් ශාන්තියක් කර ගැනීමට එහි ගොස් ඇත. 
මෙම ශාන්තිය කරගැනීමට ඔහු අදහස් කළේ තමාටත් තම බිරියටත් එකම දරුවාටත් දේවාශීර්වාදය ලබාගැනීම සඳහාය. 
මන්දයත් ඉතා හොඳ සාමකාමී පවුල් ජීවිතයක් ඔවුන් ගත කර තිබුණු බැවින් එය තවදුරටත් සාර්ථක කර ගැනීම සඳහා අපල තිබේදැයි සොයා බලා ඒවා දුරුවීම සඳහා ආශිර්වාද කර ගැනීමට ඔහු මෙසේ කපුවා හමුවීමට ගොස් තිබිණි.   
රුපියල් දහසක පඬුරු සහිත පූජාවට්ටියක් බාරගත් කපුවා ආවේශවී සේවා දායක නර පණුවා අමතමින් මෙසේ කියා ඇත. 
‘‘“දරුවා ආවේ සහනයක් බලාපොරොත්තුවෙන් එහෙම නේද? ස්ත්‍රී ප්‍රාණයක් ගැන පෙන්නුම් කරනවා... සූනියම් දේවතාවුන් වහන්සේ කියනවා මෙම දරුවාට ස්ත්‍රී ප්‍රාණකාරියක් විසින්  ඉතාමත් බලගතු  වශීයක් දීලා තමන් වසඟයකට ගත් බව... තේරුණාද?”‍


මේ කතාව ඇසූ පේනය අසන්නට පැමිණි පුද්ගලයාගේ ඉහමොළ රත්වී ගියේය. තම බිරිය  විසින් ඉනා බෙහෙතක්දි අල්ලා ගත් බව කී බැවින්  ඔහුට ඒ ගැන සැකයක් ඉපදී තමන් ඒ ගැන  තවත් විස්තර අසන්නට විය. 
කාන්තාවගේ ලේ වලට ජීවම් කර ඒවා තමාගේ  කෑමට දාලා තියෙන්නේ... මේක කපන්න බලගතු දේව පූජාවක් කරන්නට ඕනෑ! ”‍යැයි පැවසූ කපුවා එම වශී බන්ධනය කැපිය හැකි බවද කියා තිබිණි. 
සසලවී ගිය සිතින් යුතුව නිවසට පැමිණි ඔහුට තම බිරිය ගැන තිබුණු ආදරේ කෙමෙන් නැතිවී ගොස් දැඩි කෝපයකින් පසු විය. 
එතැන් සිට ගතවී ඇත්තේ සතියකටත් අඩු කාලයකි. 
ඉතා කෙටි කාලයකදී තම සැමියාගේ වෙනස්වීම ඉවසා ගත නොහැකි වූ බිරිය ඔහු සමග රණ්ඩු සරුවල් ඇති කරගත්තාය. ඔහුට අනියම් සබඳතාවයක් ඇතැයි සිතා ඇය දරුවාද රැගෙන සිය මාපියන්ගේ නිවසට ගොස් තිබිණ. 
බිරියත්  දරුවාත් අතහැර ගිය ඔහු සිත් වේදනාවෙන්  යුතුව මේ පිළිබඳ මිතුරකුට පවසා ඇත. ‘‘මොන බොරුද ඔයා කපුවට රැවටිලා! ගාන කපා ගන්න තමයි ඔය මිනිහා ඕක පච කෙලින්න ඇත්තේ”‍ යැයි මිතුරා විසින් ඔහු දැනුම්වත් කිරීමෙන් පසුව සත්‍යය අවබෝධ වූ ඔහු  කපුවා හමුවට ගොස් ඇඳිවත ඔසවා බැණ වදිමින් “‘‘බොරුකාරයා! කපටියා.! උඹට මං බය නෑ! උඹට පුළුවන් දෙයක් කරපන්”‍ යැයි බැන වැදී ඇති බව දැනගන්නට ඇත.

හිඟු‍රාණ නවරත්න සමරතුංග