බස් රථයේ ගමන් කිරීම සඳහා ටිකට් පතක් ලබාගැනීමට තිබූ රුපියල් සීයක මුදල යාචකයකුට දී බස් රථයේ ගමන් කිරීම සඳහා වෙනත් අයකුගෙන් මුදල් යදින්නට සිදු වූ පුද්ගලයකු පිළිබඳ සිදුවීමක් කන්ද උඩරට ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
ඔහු කන්ද උඩරට ප්‍රදේශයේ එක්තරා ගම්මානයක පදිංචි මැදි වියේ පුද්ගලයෙකි. ඔහු තම ගම්මානය ආසන්නයේ පිහිටි කුඩා නගරයට පැමිණියේ නිවසට අවශ්‍ය බඩු මුට්ටු ගෙන යාමටයි.
නගරයට පැමිණ අවශ්‍ය බඩුභාණ්ඩ ලබා ගැනීමෙන් පසුව බස් රථයට අවශ්‍ය ප්‍රමාණයට රුපියල් 100 ක මුදලක් ඉතිරි කර ගෙන ඔහු බස් රථයට ගොඩ විය. ජංගම දුරකථනයට දැඩි ලෙස ඇබ්බැහි වි සිටි ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ දෑ නරඹමින් බස් රථයේ වාඩි වී සම්පූර්ණ අවධානය ඒ දෙසට යොමු කර සිටියේය. මේ වන විට බස් රථයෙන් ටිකට්පතක් ලබාගැනීම සඳහා වන රුපියල් 100 ක මුදල ඔහු සිය අතේම තියා ගෙන සිටියේය.
මෙම පුද්ගලයා ජංගම දුරකථනයේ එල්ලී බස් රථයේ වාඩි වී සිටින අවස්ථාවේ බස් රථයට ගොඩ වූ යාචකයකු ඔහු වෙත අත දිගු කළේය. ඔහු බස් රථයේ කොන්දොස්තර මහතා පැමිණ ටිකට් කඩන බව සිතා ඔහු දෙස නොබලාම රුපියල් 100 ඔහු වෙත දිගු කළේය. එම රුපියල් සියය ලබාගත් යාචකයා ක්ෂණයකින් මාරු වී ගියේය.
මෙලෙස විනාඩි කිහිපයක් ගතවීමත් සමඟ බස් රථයේ කොන්දොස්තර මහතා පැමිණ ටිකට් ලබාදීමට පටන් ගත්තේය. ටික වේලාවකින් මෙම පුද්ගලයා අසලට ද පැමිණ ටිකට් ගන්නා ලෙස ඉල්ලා සිටියත් ඒ වන විටත් ජංගම දුරකථනයේ එල්ලී සිටි ඔහු “මං සල්ලි දුන්නේ” යැයි එක් වරම පැවසීය.
අන්දුන් කුන්දුන් වූ කොන්දොස්තර මහතා “මං මේ දැන් නේ ටිකට් කඩන්නේ. කොයි වෙලාවෙද ටිකට් ගත්තේ” යැයි ඇසිය. මේ කතා බහ පසුපස අසුනේ සිටි මගියාගේ ද කන වැකුණු අතර ඔහු පස පස සිට සියල්ල බලා ගෙන සිටි නිසා සිදු වූ සියල්ල හෙළි කළේය.
ඒ බව ඇසූ මෙම පුද්ගලයා ලැජ්ජාවෙන් ඇඹරෙන්නට වූ අතර වෙනත් මුදල්ද ඔහු අත නොවීය. අවසානයේ ඔහුට ටිකට් පතක් ලබා දීමට බස් රථයේ සිටි මගීන් ඉදිරිපත් වුවද ගමේ බස් රථය වූ බැවිනුත් කොන්දොස්තර මහතා ද ඔහු හොඳින් හඳුනන නිසාත් මුදල් ගැන නොතකා ඔහුට ටිකට් පතක් ලබාදීමට පියවර ගත්තේය.
හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd