කුඩ්ඩෙකු වෙළඳසලකට සිදු කළ අපූරු සොරකමක්  පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ  බල මාළුවලට ප්‍රසිද්ධ නගරයකින් අසන්නට ලැබේ. 
පාසලක් ආසන්නයේ පිහිටි පොඩි වෙළඳසලකි. එය පවත්වාගෙන ගියේ කාන්තාවකි. ඒ ගේදොර වැඩකරන අතරතුරය. කවදාවත්ම සොරකමක් සිදු නොවූ නිසාම ඇය මේ වෙළඳසලේ ඉදිරිපස දොර විවෘත කර නිවස තුළට ගියාය.
මේ වෙළඳසල දැමූ දා සිට එය එසේමය. දොර ඇර තිබුණත් කිසිම කෙනෙක් වෙළඳසල තුළට නොපැමිණියහ. වෙළඳසල් හිමිකාරිය එහි නොපෙනෙන්න සිටි සෑම අවස්ථාවකදීම මෙයට එන සෑම කෙනාම  කළේ වෙළඳසල තුළට අනවසරයෙන් නොගොස් ඇයට කතා කොට අවශ්‍ය ද්‍රව්‍ය මුදලට ලබාගැනීමය.
ඒ නිසාම වෙළඳසල් හිමිකාරිය කිසිදු බියක් සැකක් නොමැතිව වෙළඳසල ඇර දමා නිවස තුළට ගොස් ගෙදර දොරේ වැඩ කළාය. කාලයක්ම මේ විදිහට මේ වෙළඳසල පවත්වාගෙන ගියාය. එදා ද ඇය වෙළඳසලේ ඉදිරිපස දොර විවෘත කොට ගෙදර දොරේ වැඩ සඳහා නිවස තුළට ගියාය. ඒ පුරුද්දටය. ටික වේලාවකින් ඇය වෙළඳසලට පැමිණියේ නිකමට මෙන්ය. ඒත් වෙළඳසල තුළ වෙනසක් නොදුටුවාය.

භාණ්ඩයක් මිලදී ගැනීමට මේ වෙළඳසලට කාන්තාවක එනුයේ මේ අතරය. අදාළ භාණ්ඩය ලබාදී ඒ සඳහා ගත් මුදල අයකැමි ලාච්චුවේ දැමීමට වෙළඳසල් හිමිකාරිණිය සූදානම් වූවාය. හත් දෙයියනේ මුදල් දමා තිබූ ලාච්චුව දක්නට නොවීය. ඇයට දෙවියන් සිහිවිය. එදා දවසේම වෙළඳාම් කළ මුදල් සේරම එහිය. කිසිදු මුදලක් අස්කර නොගත් බව සිහිවූ විට ඇයගේ දෙනෙතට කඳුළු කැට දෙනෙතින්ම කඩා ගෙන වැටුණේ ඉබේටමය. 
මේ හොරකම පිළිබඳව කියන්න ඇය පොලීසියට ගියාය. පොලීසියත් හොරා අල්ලන්නට උත්සාහ ගත්තත් එය ගඟට කැපූ ඉනිමෙනි. පලක් නොවූවේය. අවසානයේදී වෙළඳසල ආසන්නයේ ලදු කැලෑවක තිබී වෙළඳසලේ මුදල් දැමූ ලාච්චුව හමුවූවේය. එහි සත පහකුදු නොවීය. දැන් සිදුව ඇති දෙය සක්සුදක්සේ පැහැදිලිය. පස්සේ දී මේ සොරකම සිදු කොට ඇත්තේ ගමේ කුඩුකාරයකු බව වෙළඳසල් හිමිකාරිනියට දැන ගන්න ලැබුණේය. ඇය තාමත් කල්පනා කරනුයේ තමන්ට නොදැනෙන්න සිය වෙළඳ සලේ මේස ලාච්චුව  කුඩ්ඩා ගෙන ගියේ කොහොමද කියාය. වෙළඳසල් හිමිකාරිණිය ඔහු සොයනුයේ සොරකම් කළ මුදල ලබා ගැනීමට නොව සොරකම සිදු කළ අයුරු දැනගැනීමටය.

කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත