සනීපාරක්ෂක තුවා පැකට්ටුවකින් අසනීප වාර්තා කරන්නට රෝහල් ගත වූ පුවතක් කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පිටිසරබද ගමක වෙළඳසලකින් අසන්නට ලැබුණි.
අප කියන සිල්ලර බඩු කඩේ මුදලාලි වනාහි මැදිවිය ඉක්මවා ගිය අඹු දරුවන් සිටින තැනැත්තකු වුවද, බවලත් උදවිය දකින විට ”ඇඟ පත කසන” ගතියක් ඔහුට තිබෙන බව මුදලාලි හාමිනේ හොඳ හැටි දැන සිටියාය. ඒ නිසාම ඕ තොමෝ තම ස්වාමිපුරුෂයාගේ ගමන්මල්ල නොසිතූ මොහොතක හිටිගමන් විමර්ශනයට ලක් කළ අවස්ථා ඕනෑ තරම් ඇත .
එක දවසක් මනමාල මුදලාලි ඉතාම ඕනෑකමින් ඇලුම් කරන තරමක රූමත් කතක් ඔහුගේ කඩයට ගොඩවී ඔහු සමග අල්ලාප සල්ලාපයේ යෙදෙමින් ලොකු බඩු මල්ලක් මිලට ගත්තාය. බඩු මල්ල රැගෙන ඇය මුදලාලිගෙන් සමුගෙන ගියාය.
ඇයගේ ගමන් ලාලිත්‍යය සහ නිතඹ දෙස රුව ඈතට බොඳ වී යනතුරුම මුදලාලි මහතාගේ ඇස් දෙක රූමත් කතගේ අඟපසඟවල ඇලී තිබුණි.
මොහොතකින් මුදලාලිට එම කාන්තාව අමතක කර ගිය පාර්සලයක් නෙත ගැටුණි. ඔහු වහාම එය ඔහුගේ ගමන් මල්ලට ඔබා ගත්තේ කඩය වසා ගොම්මන් යාමේ තම නිවසට යන විට අතරමග හමුවන එම කාන්තාවගේ නිවසට ගොඩවැදී අමතක වී ගිය පාර්සලය බාරදී ඇය සමඟ වැඩි හිතවත්කමක් ගොඩනගා ගැනීමේ අරමුණිනි.
එදින ගොම්මන් යාමයේ ඇයගේ නිවස ඉදිරිපිටින් යන විට එම නිවසට අසල්වැසියන් කීප දෙනෙකු පැමිණ මිදුලේ ඈ සමග කතා කරමින් සිටි නිසා ඔහු හෙට උදයේ ආපසු එන විට දෙන්නම් යන අදහසින් කරබාගෙන ඔහුගේ ගෙදරට ගියේය.
නිවසේ සිටින ඔහුගේ භාර්යාව හෙවත් “ඔඩිට් මැනේජර්” එදින රාත්‍රියේ හිටිගමන් තම සැමියාගේ ගමන් මල්ල පරීක්ෂණයට භාජනය කළාය. එහි අඩියේම ඔබා තිබුණු පාර්සලය අතට ගත් බිරිඳ එය ලෙහා බැලුවාය.”දෙයියන්ට ඔප්පු වෙච්චාවේ”කිව්වා සේ එහි තිබුණේ කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා පාර්සලයකි.
බිරියගේ හරස් ප්‍රශ්න හමුවේ මුදලාලි අවංකව පිළිතුරු දුන්නත් එය පිළිගැනීම බිරිය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් “‘‘වළං මුට්ටි”ප්‍රහාර හමුවේ මුදලාලිට දින කීපයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබාගැනීමට සිදුවූ බව දැනගන්නට තිබේ.
කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd