පෙම්වතා තමන්ගේ හොඳම මිතුරියගේ අතින් අල්ලාගෙන අල්ලාප සල්ලාපයේ යෙදෙමින් තුරුළු වී මල්වත්තක ගමන් කරන අයුරු සිහිනයෙන් දැකීමෙන් බලවත් සේ සිත්තැවුලට පත් තරුණියක පසු දිනම එම සම්බන්ධයට තිත තැබූ පුවතක් හසලක ප‍්‍රදේශයෙන් වාර්තා විය.
දුම්බර කඳුපාමුල පිහිටි එක්තරා නගරයකට නුදුරු ගමක පදිංචි පෞද්ගලික ආයතනයක සේවය කරනු ලබන ඇය 24 හැවිරිදි වියේ පසුවෙන රූමත් තරුණියකි. ඔහුද 26 හැවිරිදි වියේ පසුවෙන පෞද්ගලික ආයතනයක රැකියාවක් කරනු ලබන තරුණයෙකි.
බස් නැවතුමකදී අහඹු ලෙස හමුවී දැන හඳුනා ගෙන ජංගම දුරකතන අංක හුවමාරු කර ගැනීමෙන් පසු මොවුහු දෙදෙනා කෙටි කලකින්ම පෙම්වතුන් බවට පත්ව සිටිති.
දුරකතනයෙන් පෙම් බස් දොඩනවාට අමතරව සතියකට වරක් හෝ දෙකක් හමුවී තොරතුරු කතා බහ කිරීමට ද ඔවුහු අමතක නොකළහ. ඇතැම් අවස්ථාවල ඇයගේ හොඳම මිතුරියද මේ හමුවීම්වලට සහභාගි වූවාය. ඇය ද රූමත් තරුණියකි. මොවුන් දෙදෙනාගේ සබඳතාවට ඔවුනොවුන්ගේ වැඩිහිටියන්ගේද ආශිර්වාදය ලැබී තිබිණි.
මේ අතරේ දිනක් රාත‍්‍රියේ ඇය දුටු සිහිනය ඇයගේ සිත පාරවන බියකරු දසුනක් විය. එම සිහිනයෙන් ඇය දුටුවේ සිය පෙම්වතා තමන්ගේ හොඳම මිතුරිගේ අතින් අල්ලාගෙන අල්ලාප සල්ලාපයේ යෙදෙමින් තුරුළු වී මල්වත්තක ගමන් කරන අයුරුය. එම සිහිනය දැකීමෙන් පසු ඇය අවදිවී සිහිනය පිළිබඳව ආවර්ජනය කරමින් දැඩි සේ සිත්තැවුලට පත්ව ඉකිගසමින් හඬන්නට වූවාය. මේ හැඬුමට ඇයගේ කාමරයට අසල කාමරයක නිදාගෙන සිටි මවද පැමිණ විමසීමේ දී ඇය තමන් නරක සිහිනයක් දුටු බව පවසා තිබේ. එහිදී මව පවසා ඇත්තේ ඉතිපිසෝ ගාථාව සිහිපත් කර නැවත නිදාගන්නා ලෙසය.
එසේ පවසා මව කාමරයෙන් පිටව ගියත් ඇයට නින්දක් ආවේ නම් නැත. රැය පහන් වනතුරු නිදිවර්ජිතව සිහිනයේ තොරතුරු කල්පනා කරමින් සිටි ඇය අවසානයේ තීරණයක් ගත්තේ මේක සැබෑ වුණොත් තමන් මහත් අපහසුතාවකට පත්වීමට ඉඩ ඇති හෙයින් මෙම සබඳතාවට දැන්ම තිත තැබිය යුතු බව සිතමිනි.
සිහිනයෙන් දැඩි සේ සිත්තැවුලට පත් ඇය පසුදින සේවයට නොගිය අතර, සිය පෙම්වතාගේ දුරකතනයට දිගු පණිවිඩයක් යවමින් සඳහන් කළේ තමන්ලා දෙදෙනා සමග එක්ව මෙතෙක් ගොඩනැගූ සුන්දර අනාගතයට මෙතැන් සිට තිත තබන බවත් තමන්ට වඩා සුදුසු පෙම්වතියක් ලැබේවායි ප‍්‍රාර්ථනා කරන බවත් මෙම නැවතුමට හේතුව තමන්ගෙන් නොවිමසන ලෙසත් මින් මතු තමන්ට ඇමතුම් නොගන්නා ලෙසත් සටහන් කර ඔහුගේ අංකය ද විසන්ධිකර තිබේ.
මෙදින සේවයට නොපැමිණීම ගැන මිතුරියන් කීප දෙනකු විමසන විට ඇය හැඬූ කඳුළෙන් තමන් දුටු සිහිනය පිළිබදව ඔවුන්ට පවසා ඇති අතර ඔවුන් පවසා ඇත්තේ සිහිනයක කතාවක් විශ්වාස නොකරන ලෙසත් මෝඩ නොවන ලෙසත්ය. පසුව මිතුරියන්ගේ මැදිහත්වීමෙන් පෙම්වතාව ද ගෙන්වාගෙන කරුණු පහදා දීමෙන් පසු නැවතත් පෙර සේ මිතුදම පවත්වාගෙන යෑමට ඇය කැමති වුණාලු.
හසලක සුනිල් ඒකනායක

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd