සැමියාගේ ලෝබකම නිසා  බිරිඳට සිය හොඳම මිතුරියගේ දියණියගේ විවාහ උත්සවයට සහභාගි වීමට නොහැකි විමේ අපූරු  සිද්ධියක් වාර්තා වෙයි.
ඔහු කන්ද උඩරට ප්‍රදේශයේ  ගම්මානයක පදිංචි මැදි වියේ පසුවන මෙන්ම  මැදි ආදායම් ලබන මධ්‍යම පාන්තික ව්‍යාපාරිකයෙකි.  ඔහුගේ  බිරියද අසල ගම් පළාතක පදිංචි වැදගත්  පවුලක කාන්තාවකි. සැමියාට මුදල් හදල් යහමින් තිබුණ ද ඔහුගේ උපන් ලෝබකම නිසා එම මුදල් වියදම් කරන්නේ අරපරිස්සමෙනි. අරපරිස්සමින් කිව්වත් අත්‍යවශ්‍ය දේකට පවා ඔහු මුදල් වියදම් කරන්නේ බාගෙටය. ඒ මුදල් ඉවර වෙතැයි ඇති බිය නිසාය. දරුවන් දෙදෙනකුද සිටින මෙම පවුලේ දරුවන්ද සිය පියාගෙන් අධ්‍යාපන කටයුතු සඳහාද මුදල් ඉල්ලා ගන්නේ ගලකින් පට්ටයක් ගන්නා මෙනි.
මේ අතර පසු ගිය දිනෙක බිරිය ගේ හොඳම මිතුරියගේ දියණියගේ විවාහ උත්සවයට පවුලේ සියලු‍ දෙනාට ආරාධනා කර තිබුණේය. මෙම විවාහ උත්සවය පැවැත්වෙන්නේ නගරයේ ප්‍රධාන හෝටලයකය. ඒ සඳහා එසේ මෙසේ යා නොහැකිය. එක පැත්තකින් තෑග්ග සඳහා විශාල මුදලක් වැය කළ යුතුය.
ඊටත් වඩා බිරියගේ ඇඳුම් සඳහාද වැය කළ යුතුය. තමාට නම් තියෙන එකක් හැඳ ගෙන යා හැකිය. බිරිඳටත් එසේ ඇඳ ගෙන යන ලෙස ඔහු උපදෙස් දුන්නේය. තම සැමියාගේ හැටි දන්නා බිරිය තමන් සතුව ඇති සියලු‍ සාරි ඇඳුම් අවුස්සා  තරමක් හෝ ගමනට සුදුසු ඇඳුමක් තෝරා ගත්තාය. විවාහ උත්සවයට තව දින කිහිපයක් තිබෙන නිසා සියල්ල සුදානම් කර තබා සුපුරුදු දින චර්යාව කරමින් කාලය ගත විය. 
විවාහ උත්සවය දිනයේ උදේ ගමනට සූදානම් වන විට බිරියට සිය පාවහන් මතක් විය . සිය  පාවහන් යුගල මේ  උත්සවයකට යාමට සුදුසු නොවන නිසා ඇඳුම් මෙන් නොව කෙසේ හෝ සෙරෙප්පු ජෝඩුවක් මිල දී ගෙන එන ලෙස සැමියාට කීවේ අවශ්‍ය මිම්මද ලබා දෙමිනි. සැමියා නිවසේ ඇඹරී ඇඹරී එහේ මෙහේ කැරකී කැරකි සිටියත් විකල්පයක් නොවීය. 
ඒ නිසාම බිරියට   සෙරෙප්පු  ජෝඩුවක්  මිලදී ගැනීම සඳහා  නගරයට ගියේය. නගරයට ගිය ඔහු එක් වරම වෙළඳ සලකට ගොඩ නොවී කීයක් හෝ අඩුවෙන් මෙම සෙරෙප්පු  ජෝඩුව මිල දී ගැනීමට උත්සාහ කළේය. නගරයේ සෑහෙන වෙලාවක් ඇවිදීමෙන් පසුව  හමු වූ වෙළඳ සලකට ගොඩ වී සෙරෙප්පු ජෝඩුවක මිල ඇසුවේය.


ඔහුට හීන් දාඩිය දැම්මේය. වචනයක්වත් කතා නොකර වෙළඳ සලෙන් එළියට පැන ගත් ඔහු පදික වේදකාව  දිගේ ගමන් කරද්දී  පාර දිගේ විවිධ භාණ්ඩ විකිණීමට තබා තිබෙනු ඔහු දුටුවේය. ඒ අතර  විවිධ  වර්ගයේ සෙරෙප්පු ද විය. එහි මිලද ඉතා අඩුවෙන්  සටහන්ව තිබිණ. ඒ ගැන විමසා බැලූ ඔහු ‘මේක හොඳයිනෙ’ කියා එම සෙරෙප්පු ජෝඩුව මිල දී ගෙන හනිකට නිවසට පැමිණියේය.
සියලු‍ ඇඳුම් ඇඳ ගෙන සැමියා සෙරෙප්පු ජෝඩුව ගෙන එන තුරු මඟ බලා සිටි බිරිය  නිවසේ කඩුල්ල ළඟටම පැමිණ සැමියාගෙන් සෙරෙප්පුව ඉල්ලා ගත්තේය. නිවස තුළට ගෙන ගොස් එය  සිය පාදවලට දමා බැලු‍වේය. එවිට  ඇයට දෙවියන් සිහි විය. සැමියා මිල දි ගෙන ඇවිත් ඇත්තේ පාවිච්චියෙන් ඉවත් කළ සෙරෙප්පු ජෝඩුවකි. එය තරමක් පොලිෂ් කර තිබිණ. සෙරෙප්පු දෙක වෙනස්ය  පයට කෙසේවත්  පැලඳිය නොහැකිය. දැන් වේලාවත් ගත වී තිබේ. නැවත නගරයට ගොස් පැමිණ මඟුල් උත්සවයට යාමට ද වේලාවක් නැත . බිරිඳ පුප්ප පුප්පා සිය සැමියාට දෙස් තියන්නට වූවාය. “තමුසෙගේ  ලෝබකම හින්දා මට මගේ හොඳම යාළුවගේ දුවගේ මගුල් ගෙදරවත් යන්න බැරි වුනානේ කියමින් ඇය ඇඳුම් මාරු කර  ගත්තේ  විවාහ උත්සවයට යාමේ අදහස අත් හැර ගනිමිනි.

හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්