ඔහු අලූත්ම වෑන් රථයක හිමිකරුය. පසුගිය දිනක මහාචාර්යවරයෙක් පවුලේ උදවිය සහ හිතවතුන් සමඟ මෙම වාහනයෙන් උතුරේ සංචාරයක නිරතවිය. මෙම වාහනයම තෝරා ගැනීමට හේතුව වූයේ එහි ගාස්තුව සාධාරණ වීමත්, රියැදුරු මහතාද ලංකාවේ  ඕනෑම පාරක් දන්නා බව කීමත්ය. අනුරාධපුරයට පැමිණි ඔවුහු විවේකයක් ගැනීම සඳහා නැවතුනහ. අනුරාධපුයේ වටරවුම් විශාල ප‍්‍රමාණයක් ඇති බැවින් පාරවල් දන්නා බව කිව් රියැදුරු මහතාට උතුරු දකුණ මාරුවී, යාපනයට යන මාර්ගය කාටත් හොරා අසල සිටි අයකුගෙන් දැන ගැනීමට  සිදුවිය. යාපනයේ සිරි නැරඹූ ඔවුහු ”කයිට්ස්” බලා පිටත්වූහ. මාර්ගය අසල කළපුවේ ඉස්සන් අල්ලන කොටු දක්නට ලැබුණු අතර මහාචාර්යවරයාගේ බිරිය ඒවා  මොනවාදැයි විමසුවාය.  ”මැඩම් ඔය ඉස්සෝ අල්ලන කොටුනේ” රියදුරු මහතා පැවසීය. අර මැඩම්ට පේනවද ඒ තමයි ඉස්සෝ කොටුවල හිරවෙලා ඉන්න ඉස්සෝ”. ඔහු තවත් පැහැදිලි කරමින් කීය. ”ඇත්තටම ඒ ඉස්සෝදැයි ඇය දැස් විදහාගෙන විමසුවාය. මහාචාර්යවරයාද කුතුහලෙන් එදෙස බැලීය. ”අපි ළඟට යමු” ඇය කීවාය. රියදුරු මහතා ඉස්සන් පැහැදිලිව දැකගත හැකිවන පරිදි වාහනය තවත් කිට්ටු කළේය. ඉස්සන් කොටුවල හිරවීතිබුණේ ඉස්සන් නොව පාසි, තණකොළ සහ කුණුරොඩුය. ”ෂෝක්  ඉස්සෝ ටික ආශාවේ බැහැ” මහාචාර්යවරයාගේ බිරිය  සිනහවෙමින් කීවාය. රියදුරු මහතාට සිනහගිය අතර මහාචාර්යවරයා ඉවත බලාගෙන කට කොනින් සිනාසෙනු දක්නට ලැබිණි.