ඔහු  වඩු මඩුවල ගෘහ භාණ්ඩ පොලිෂ් කිරීම සහ පුටු විවීම වැනි රැකියා කරමින් ජීවත් වූ අතර බිරිය සහ දියණිය  ගමෙන් පිටව ගොස් වසර ගණනාවක් ගත වී තිබිණි. 
එම හේතුවෙන් වයස අවුරුදු හැත්තෑවක් පමණ වූ ඔහු තනිකඩ දිවියක් ගත කළ අතර,  තරුණයකු මෙන් කොට කලිසමක් හැඳ  පාපැදියකින් නිතර එහෙ මෙහේ ගමන් කළේය. තනිකඩ ජීවිතයේ නිරස වූ ඔහු දිනක් හිතවත් තරුණයකුට කතාකර තමන්ට ගැළපෙන කාන්තාවක් විවාහය සඳහා සොයා දෙන ලෙස පැවසීය. 
‘‘ඕක සුළු දෙයක්නේ”‍ කී තරුණයා තමන්ට ඒ සඳහා කිසියම් ගාස්තුවක් ද ඉල්ලා ඇත. පුටු වියන්නා ඊට එකඟ වී  එදිනම සතුට සැමරීම සඳහා නගරයේ අවන්හලකට ගොඩ වැදී ඇත.  එහිදී මධු විතෙන් සප්පායම් වූ ඔවුන් බිරියානි ආදී රස මසවුලු‍ කෑමෙන් පුටු වියන්නාට රුපියල් තුන්දහසක් පමණ බිලක් ගෙවන්නට සිදුවිය. 
ටික දිනක් ගත වෙද්දී තරුණයා මුණගැසුණු සෑම විටම ‘‘තාම කෙනෙක් හමුවූණේ නැද්දැයි”‍ ඔහු ප්‍රශ්න කර ඇත.  ”‍කලබල වෙන්න එපා! ඕවා ආවට ගියාට කරන්න බැහැ! හෙටම මම තැනක් බලන්න යනවා”‍ යැයි තරුණයා කීය. 


එදිනද ඔවුන් දෙදෙනා පෙරසේම අවන් හලට ගොස් ඇති පදම් කා බී  තෘප්තියට පැමිණ ඇත. 
මේ අතර එම තරුණයා මෙයින් ගැලවීමට උපායක් කල්පනා කර  නගරයේ සිට කිලෝමීටර් තුනක් පමණ දුරින් ඇති ගමක සිටි කාන්තාවක්  මේ සඳහා යොදා ගැනීමට තීරණය කළේය. 
ඒ අනුව ඇගේ නිවසට ගිය ඔහු ඒ අවට පදිංචි නැති පුද්ගලයකුගේ බොරු විස්තර අසාගෙන  ඇගේ නිවසට ගොඩ වැදී ඇත. 
ආලින්දයේ තිබුණ වැල් කැඩුණු කවිච්චියක් දැක  ”‍ආන්ටි මේ කවිච්චිය පැත්තක දාලා තියෙන්නේ ඇයි? කොච්චර වටිනවද”‍ කියා අගය කරන්නට විය. 
‘‘අනේ පුතේ ඕක වියාගන්න කෙනෙක් නැහැනේ”‍ කාන්තාව කීවාය. 
‘‘හෙටම මම මිනිහෙක් එවන්නම් ...සුපර් වැඩ්ඩෙක් ඉක්මනට ලස්සනට වැඩේ කරයි.... මිනිහා වැඩි ගානක් ගන්නෙත් නෑ! වැඩේ කළාට පසුව සුළු ගානක් දෙන්නයි!”‍ 
කියා නිවසෙන් පිටවීය.
පසුව විවාහ යෝජනාව කළ වයසක මනාලයා වෙත ගිය ඔහු මෙසේ කීය. ”‍ඔයාගේ පින තමයි. වෙලාව හොඳයි! ලස්සනයි. තරමක් වයස ගියත් කෙල්ල වගේ කොට ගවුම් අඳින්නේ තනිකඩයි හෙටම  යන්නැයි”‍ කීය. 
‘‘හැබැයි ගිය ගමන් මඟු‍ල් තුලා කතා කරන්න එපා! ඒ ගෙදර තියෙනවා  වැල් කැඩුණු කවිචිචියක්.  ඒක වියලා ඉවරවෙලා දවස් දෙක තුනකට පස්සේ ඔයාගේ අදහස කෙළින්ම කියන්නෑයි”‍ තරුණයා ඔහුට උපදෙස් දී ඇත.
තරමක් මෝඩ පුද්ගලයෙකු පුටු වියන්නා  එම කාන්තාවගේ නිවසට තම පාපැදියෙන් ගිය අතර කාන්තාව දුටු විටම ඔහු වශීකෘතවිය. 
‘‘පුටු වියන එක්කෙනා නේදැයි කී ඇය  ඔහු නිවසට කැදෙව්වාය.
ඉන් පසු වැඩේ කතා කරගත් අතර, පසුවදාම ඔහු නගරයට ගොස් කවිච්චය විවීමට අවශ්‍ය සීන්තටික් වැල් ගෙනැවිත් වැඩේ ආරම්භ කළේය. 
නියමිත වෙලාවට තේ පානය හා දිවා ආහාර ආදිය ලැබුණු අතර,  මොහු ඇගේ අතින් සැකසුණු තේ සහ ආහාර මෙන්ම  ඇගේ අතින් සැකසෙන කෑම  අගය කරමින් කතා කළේය. 
ඇයද ඒ කතා අසා සිනාසෙමින් තරුණීයක් මෙන් ප්‍රතිචාර දැක්වූවාය. 
දින තුනකට පමණ පසුව කවිචිචිය වියා නිමවී ගනුදෙනුව කතා කරන අවස්ථාව පැමිණියේය.  පුටු වියන්නාට එය තම යෝජනාව ඉදිරිපත් කිරීමට සුදුසු අවස්ථාව මෙය බව හැඟු‍ණි. ‘‘නංගි මම ඔයාට කැමතියි ඔයා වගේම මමත් තනි කඩයෙක් ”‍ කියා උම්මා එකක් දෙන්නට සූදානම් වෙත්ම 
‘‘වනචරයා මම හිතුවා උඹේ මනමාලකමින්ම ඔය වගේ මිනිහෙක් කියලා! යැයි කී ඇය කොස්සක් අතට ගනිද්දී දෑත් එකතුකර ‘‘අනේ මට සමාවෙන්න”‍ කියා එළියට පැන පුටු වියන්නා පාපැදියේ නැගී පිම්මේ ගිය බව කියති. 
මේ අතර ඔහුට මඟුල කතා කිරීමට මැදිහත්වූ තරුණයා මොහු දකින සෑම විටකම මගහැරීමට විදියක් නැතුව දෑන් ගමෙන් පිටව ගොස්  සිටින බව දැනගන්නට ඇත.

හිඟු‍රාණේ නවරත්න සමරතුංග