කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත


කාර්යාලයෙන් වැඩක් කරවා ගන්න එන අයගෙන් සංතෝෂ මුදල් ගන්න රජයේ සේවකයකුට අපූරු පාඩමක් ඉගැන්වූ අයකු පිළිබඳ කතාවක් දකුණේ කාර්යාලයකින් ඇසේ.      

මිනිහා කාක්කෙකි. කාගෙන් හෝ ජරාවක් පගාවක් නොගත්තොත් ඔහුට නින්දනම් නොයන්නේය. කාර්යාලයට වැඩක් කර ගැනීමට එන ඕනෑම අයකු සමග කුලු‍පග වන්න යන්නේ ඔහුට මිනිත්තුවකි. දෙකකි. නොමිලයේ රාජකාරී කර දිය යුතුවුවත් ඔහු ඒ වැඩය සඳහා මිලක් නියම කරන්නේය.

එසේ නොවුණහොත් එම වැඩ කර ගන්න යන කාලය පිළිබඳව ඔහු ඒ අයට කියන්නේය. මේ නිසාම බොහෝ අය කාලය ඉතුරු කර ගැනීමට ඔහුට ජරාවක් පගාවක් දී සිය කාර්ය කර ගනිති.

ඔහු නොවේ කවදාවත්ම ජරාවක් පගාවක් අතට ගනුයේ. ඔහු ඒ සඳහා අපූරු සරල ක්‍රමයක් භාවිතා කරන්නේය. ඒ සිය කාර්යාලයට ටිකක් දුරින් ඇති තේ කඩයක් තෝරාගෙන ඇත්තේය. තමා නියම කරන ජරාව පගාව තියන්නේ එතනය. ඔහුගේ මේ සරල ක්‍රමය ගැන නොදන්නා කෙනකු නැති තරම්ය.    

එදා ඔහු වැඩක් කරවා ගන්න ආ කොලු‍වකු සමග විනාඩියට දෙකට මිතුරුවූවේය. වැ‍ඩේ කර දුන්නේය. ගාන නියම කළේය. ඒ ගාන තිබිය යුතු තැනද කොල්ලාට කීවේය. ඒ සමගම අර තේ කඩයට කොල්ලා ඉදිරියේම දුරකතන ඇමතුමක් දුන්නේය. මම දැන් මල්ලී කෙනෙක් එවනවා. එයා කියයි කරන්න ඕන දේ. ඒ විදිහට කරන්න යයි කීවේය.

ඒ අනුව කොල්ලා අර තේ කඩයට ගියේය. මුදලාලී අසවල් මහත්තයා තියපු මුදල්වලින් මට රුපියල් දාහක් ඉල්ල ගන්න කිව්වා. හා ඔව් ඔව් ඒ මහත්තයා මට දුරකතන ඇමතුමක් දුන්නා. මෙන්න රුපියල් දාහයි කියා මුදලාලි කොල්ලා අතට මොනරා දික්කළේය. කොල්ලා මිටෙන් හළ මොනරකු මෙන් ඉගිලී ගියේය.

හවස වැඩ ඇරී තේ කඩයට ආපසු කොල්ලා දුන්නු රජ ගේම අසා දැන් ඔහු ජරාව පගාව ගන්න වෙන ක්‍රමයක් ගැන සිතමින් ඉන්නේය.