මොරගොල්ලාගම සිසිර කැලේගම
අසරණකමට පිළිසරණක් වන්නට ගිය අවස්ථාවේදී මතුකර ගත් සැකයක් නිසා කාන්තාවක අතරමං වූ පුවතක් පොල්පිතිගම අවට ගම්බද පෙදෙසකින් අසන්නට ලැබුණි.


ගම්බද පෙදෙසක සිට රාජ්‍ය සේවාවට යන එන විවාහක කාන්තාවකි.


ඇයගේ නිවෙස පිහිටා ඇත්තේ  ප්‍රධාන මාවතේ සිට කිලෝමීටර් පහක් පමණ දුරකින් යුත් අතුරු මාවතකය. ඇය සේවය කරන්නේ නිවෙසේ සිට කිලෝමීටර් 40 ක් පමණ දුරකින් යුත් රාජ්‍ය ආයතනයක ය.


සැමියාට මෝටර්රථයක් හා යතුරුපැදියක් තිබේ.


මේ නිසා සැමියා ඇය විටෙක ප්‍රධාන මාවතේ බස් රථයක් කරා රැගෙන ගොස් ඇරලයි. නැතිනම් සේවා ආයතනයටම ගෙනයයි. 
සේවය නිමවා එන විටෙක නගරයට හෝ ආයතනයටම හෝ ගොස් ඇය නිවෙස කරා ගෙන එයි.


වෙනදා සැමියාගේ වාහනයෙන් ප්‍රධාන මාවතටත්, සේවා ආයතනයටත් ආව ගිය ඇයට තෙල් අර්බුදය හමුවේ අතුරු මාවතින් ප්‍රධාන මාවතට හෝ යාමට දැන් ක්‍රමවේදයක් නැත.


ඒ සැමියාගේ වාහනවලට තෙල් නැති නිසාය.


මේ නිසා ඇය මහ මඟට බැස්සේ කාගේ හෝ පිහිට පතා කිලෝමීටර් පහක දුර ගෙවා ප්‍රධාන මාවතට යාමටත් එතැන් සිට බස් රථයක නැගී සේවා  ස්ථානය කරා යාමටත් ය.


ඇය නිවෙස ඉදිරිපිට පාරේ සිටියාය. 


වාහනයක් පැමිණ එහි නතර විය. කාන්තාවෝ කීප දෙනෙක් ද එහි සිටිති.


ඇය යා යුතු ගමන ගැන ඔවුනට පැහැදිළි කළාය.


ඇය වාහනයට ගොඩකර ගැනීමට තරම් ඔවුහු කාරුණික වූහ.


ඒ සමඟම සැමියා අවට සිට ඔහුගේ දුරකථනයෙන් යන වාහනය වීඩියෝ කරන්නට විය.


ගිය වාහනය ගියාටත් වඩා වේගයෙන් ආපස්සට විත් නැවතත් නතර වුණි.


“ඇයි අපේ වාහනය වීඩියෝ කෙරුවේ” ඔව්හු ප්‍රශ්න කළහ.


“මේ මගේ නෝනා, ඇය වාහනයේ ගිය නිසා මං අපේ ආරක්ෂාවටයි එහෙම කෙරුවේ” ඔහු කීය.


“නැති කරදර දා ගන්න ඕනෑ නැහැ. නෝනාගේ ආරක්ෂාවට ඔයා ගාවම තියාගන්න. නෝනා බහින්න” කියා ඔවුහු ඇයව එළියට දමා  නික්ම ගියහ.


“තමුසේ කරපු වැඩේ බලනවා. මට ඒ වාහනෙන් කන්තෝරුවටම යන්න තිබුණා ”යැයි කියූ ඇය යා යුතු ගමන නොගොස් අමනාපයෙන් මෙන් නිවාඩුවක් දමන බව පවසා ගෙට ගොඩවුණලු.