(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
නෝනා යයි සිතා නෑනාගේ ඇඟ මතට පැන නොසිතූ අකරතැබ්බයකට මුහුණ දුන් සැමියකු පිළිබඳව දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


ඉර බැස යමින් තිබියදී සිය නිවෙසේ සාලයේ තිබූ ක්‍රියා විරහිත විදුලි පහන පිළිබඳව ඔහුගේ මතකයට ආවේය. නැතහොත් ඊයේ වගේම අදත් ඊට බිරිඳගේ නාහෙන් ඇඬීම ඔහුට සිහිපත් විය.


බිම සිට විදුලි පහන සෑදීමට ඔහුට උස මදි බව පෙනුණි. ඒ සඳහා මේසයක් ගත්ත ද එයත් උස මදි වීම නිසා ඔහු මේසය උඩට පුටුවක් ද තබාගත්තේය. එම උස විදුලි පහන සෑදීමට හොඳටම ප්‍රමාණවත් විය. එහෙත් එය අඩමාන බව දුටු හෙයින් ඒ අවස්ථාවේ නෑනාත් සමග කුස්සියේ පිළිසඳරක යෙදී සිටි බිරිඳට කතා කළේ පුටුව ටිකක් අල්ලා ගැනීමටය.


පළමු වර කතා කළ විට බිරිඳ සිටියේ නෑසූ කන් ඇතිවය. ඒ නිසාම ඊළඟ පාර ඔහු ටිකක් හඬ නගා බිරිඳට කතා කළේය. “එනවා එනවා” යයි කියමින් තමා සමග කතා කරමින් සිටි නැගණියට කීවේ “අනේ නංගි ගිහිල්ලා අයියාගේ පුටුව ටිකක් අල්ලා ගන්න” ලෙසය.


ඒ අනුව නෑනා ඔහු සිටි පුටුව අල්ලා ගත්තේ ඔහු උඩ බලාගෙන වැඩෙහි යෙදී සිටියදීය. සිය නෝනා පුටුව අල්ලා ගත්තේ යයි සිතූ ඔහු බිය නැතිව කාර්යය නිම කර බහින්නට සූදානම් වූයේ තමන් තදින් කතා කිරීම නිසා අමනාපයෙන් ඇතැයි සිතූ බිරිඳට පුංචි පහේ විහිළුවක් ද කරමිනි. උඩ බලා සිටීම නිසා ඔහුගේ දෑස නිලංකාර වී තිබිණි.


පුටුව උඩින් මේසයට බට ඔහු බිරිඳ යයි සිතා නෑනාගේ ඇඟට පැන්නේ බිමට බැසීමටය. වෙනදා මෙවැනි විහිළුවක් කළ විට නෝනා ඔහුට වැටීමට නොදී අල්ලා ගත්ත ද එවැන්නක් සිදු නොවීය. සිදු වූයේ දෙදෙනාම එක පොදියේ දඩෝං ගා බිමට ඇදවැටීමය.


මේ මහා ශබ්දය ඇසී කුස්සියේ සිටි නෝනාත්, කාමරවල සිටි දරුවන් දෙදෙනාත්, ඉස්තෝප්පුවේ සිටි නැන්දම්මාත් දිවගෙන ආහ. නෑනාත් ඔහුත් දෙදෙනාම බිම පෙරළී සිටියහ.


“අනේ බලන්න මේ අයියා මගේ ඇඟට පැන්නානේ” යි නෑනා බේරීමට කීවාය.


“අනේ මම හිතුවේ නෝනා කියලනේ. ඒකනේ මේ වගේ විහිළුවක් කරන්න ගියේ” යයි ඔහු කීවාය.


“ඔව් ඔව් අයියා ඔය වගේ විහිළු මටත් කරනවා. පැටලිලා තමයි ඕක වෙන්න ඇත්තේ” යයි කියමින් බිරිඳ ඔහු බේරාගත්ත ද නෑනා තවම ඔහුට හරියට මුහුණ දෙන්නේ නැතිලු.