ජීවිතය යහ මගට ගැනීමට නිවැරදි මග පෙන්වීමක් අවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.   


අංගොඩ කුඩා බුත්ගමුව එම්.ඒ. ජයසිරි මහතා ලියා එවු කතාවකි.   

උෟරන් මැරීමේ පාපයට ජීවිතයෙන් වන්දි ගෙවයි   


දශක හතරකට පමණ ඉහතදී බස්නාහිර පළාතේ නාගරික ප්‍රදේශයක වාසය කළ සෝමදාස සුළු වෙ​ෙළඳාමක නිරත වූ අයෙකි. සිය බිරිඳ සමගින් දුකසේ දිවි පෙවෙත ගත කළ අතර වෙළෙදාම තුලින් අපේක්‍ෂා කළ අන්දමේ සාර්ථකත්වයක් නොලද හෙයින් මාංශ අලෙවිය කෙරෙහි සෝමදාසගේ සිත වඩාත් බැඳුණි. 

 
ඒ අනුව ඌරන් කිහිපදෙනෙකුම මිලදී ගත් ඔහු තම ගෙවත්ත තුළ උන් රඳවාතබා සතියකට වරක් ඌරෙකු බැගින් මරණයට පත් කළේය. එම මස් ගෙන ගොස් අලෙවි කිරීමට ද හෙතෙම පියවර ගත්තේය. ඉල්ලුම් කරන පිරිස් ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙත්ම මරා දමන ඌරන් ප්‍රමාණයද ඉහළ නැංගේය.   


එ් දෙදිනකට එක් ඌරෙකු වශයෙනි. මේ හේතුව මත සෝමදාස හට ‘‘උෟරු සෝමේ’ යනුවෙන් නමක්ද පට බැදුණද වාසි දායක කාලයක් ද එමගින් උදාවුණි. සෝමදාසගේ ගෙවත්ත එළිමහන් ස්ථානයක පිහිටා තිබිම අනුව එහි සිදුවන දෑ පැහැදිලිව දැක ගත හැකිව තිබිණ.   


හෙතෙම පොලු මුගුරු ආදිය ගෙන තළා පෙළා කෲර වධ හිංසා පමුණුවමින් උෟරන් මරා දමන ආකාරය පිළිබඳව අසල් වැසියන් තුළ ඇතිවී තිබුණේ බලවත් අප්‍රසාදයකි. එසේ වුවද වසරකට ආසන්න කාලයක් ඉදිරියට පවත්වා ගෙන යැවිණ.   
දින කිහිපයක සිට ඌරන්ගේ ළතෝනි හඩ අසන්නට නොලැබුණෙන් ඇසල්වැසියො ඒ ගැන විමසිලිමත් වූ අතර එක් අවස්ථාවකදී දක්නට ලැබුණේ ඉන් පෙර නුදුටු අන්දමේ දර්ශනකයි. එනම් සෝමදාස ඌරෙකුගේ ගමන් විලාශය පිළිබිඹු වන අයුරින් සෙමින් සෙමින් තම ගෙමිදුලෙහි ඇවිද යන අන්දමය, කිහිපවරක්ම හෙතෙම එම ක්‍රියාවෙහි යෙදුණ අතර අතැම් විට ඇඳිවත රහිතව එලෙස ගමන් කිරීමටද ඔහු පුරුදුව සිටියේය.   


සෝමදාස කෙරෙහි අනුකම්පා කළ ඇතැම්හු ඔහු ඉන් වළක්වා ලන්නට පියවර ගත්තේ ඉණ වටා පටියක් දමා ඇඳි වත් සකසාලීම මගිනි. සියල්ල එතෙකින් අවසන් නොවූ අතර නොයෙක් විට බියෙන් තැති ගත් ස්වරූපයක් පළ කළ සෝමදාස ගෙමිදුලෙහි ඔබ මොබ යමින් විලාප නගන්නට ද පටන් ගත්තේය.   
අනේ එපා අම්මෝ මට බැරියෝ අයියෝ පිච්චෙනවෝ යනාදී වශයෙන් එලෙස ළතෝනි දෙන්නට වූ සෝමදාස වරෙක කුඩා දරුවෙකු මෙන් හඬා වැළපෙන්නට වූයේය. මේ අයුරින් සති තුනක පමණ කාලයක් වධ වේදනා විඳි සෝමදාස දිනක් ගෙමිදුලෙහි ඇද වැටී සදහටම නෙත් පියාගත්තේය.   
මුදලට ගිජුවී ඌරන් රාශියක් මරා දැමූ පාපයට සෝමදාස එලෙස අකාලයේ තම ජිවිතයෙන් වන්දි ගෙව්වේය.   

 



අම්බලන්තොට හේමාල් ගමගේ මහතා ලියා එවූ කතාවකි.   

හොර ඔප්පු මගින් ඉඩම් කොල්ලකෑ පාපය පලදෙයි.   


සියදෝරිස් එම ගම්මානයට පිටස්තරයෙකි. කුලී වැඩ කරමින් ජීවත් වූ ඔහු කල්යාමේදී එක් නිවසක නිත්‍ය පදිංචි කරුවා විය. එහි වුයේ වැන්දඹු කතකි. ඇයට මාට්ටු වූ සියදෝරිස් නිත්‍යනුකුලව ඇය ආවාහ කරගත්තේය.   


ඇය සතු ධනයක් උපරිම ඵල නෙළා ගන්නට සිතූ සියදෝරිස් නගරයෙන් කඩකාමරක් කුලියට ගෙන එහි සිල්ලර කඩයක් ආරම්භ කළේය. එය දියුණු වනු බලා සතුටු වුවා පමණක් නොව කඩ කුලී ගෙවීම මග හැරීමට ද පිඹුරුපත් සැකසීය.   


කඩ කාමරයේ අත්තිවාරමේ ගල් දිගු කලක් තිස්සේ එක එක ගලවා ඉවත් කරමින් එම හිඩැස ගඩොල් හා සිමෙන්ති බදාම යොදා පුරවත්නට විය. වසර ගණනාවක් මෙසේ කළ පසු කඩ කාමරයේ අත්තිවාරම ගඩොලින් ඉදි කළ බව සනාථ කිරීමට සියදෝරිස්ට නිරායාසයෙන් සාක්‍ෂියක් නිර්මාණය විය.   


සිය​දෝරිස් සැබෑ කඩ හිමියාට බදු මුදල් ගෙවීම පැහැර හැරියේය. මුලදී එසේ බඳු මුදල් ඉල්ලු විට පසුව දෙන්නම් කියා කීවද තවත් කලක් ගිය පසු නෑ. මම කොහොමවත් දෙන්නේ නෑ කියමින් බලහත්කාරයෙන් රැඳී සිටියේය. ‘‘එහෙනම් මට කඩේ අාපහු ඕන’’ කඩ හිමියා කීය. ‘‘මම කඩේ දෙන්නේ නෑ පුළුවන් දෙයක් කරන්න. සියදෝරිස් කීය.   
ඒ අනුව කඩ හිමියා සියදෝරිස්ට එරෙහිව නඩු පැවරීය. වසර කීපයක් නඩුව ඇදී ඇදී ගිය අතර සියදෝරිස්ට අවාසි වී ගෙන එන බව දිටිය. එම ඉඩම් කෑල්ලට ඔප්පු දෙකක් තිබුණි. එකක් කඩ හිමියාගේ නමටය. අනෙක සියදෝරිස්ගේ නමට එය ව්‍යාජ ඔප්පුවකි. සියදෝරිස්ගේ නිතිඥයා මගින් පැමිණිලි පාර්ශ්වයෙන් විමසා සිටියේ අදාළ කඩ කාමරයේ අත්තිවාරම යොදා ඇත්තේ ගල් වලින්ද ගඩොල්වලින් ද යන්නයි. ඔවුන්ගේ පිළිතුර වු​යේ ගල් වලින් යන්නය.   
සියදෝරිස්ගේ නිතීඥයා තර්ක කළේ ගල් නොව ගඩොල් වලින් අත්තිවාරම දමා ඇති බවයි. එය සනාථ කර දැක් වීමට අත්තිවාරම හාරා බලන ලෙසද සිය නීතිඥයා මගින් සියදෝරිස් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. අධිකරණය එම ඉල්ලීමට ඉඩ දුන්නේය. අධිකරණය කළ පරික්‍ෂණයේ දී හෙළි වුයේ අත්තිවාරම ගඩොල් භාවිතයෙන් ඉදිකරණ ලද බවයි. නඩුවෙන් සියදෝරිස් ජයගත් අතර ‘‘ගොඩ පෙරකදෝරුවා’’ යන අන්වර්ථනාමයක්ද ඔහුට පට බැදුණි.   


ජයග්‍රහණයෙන් උත්තේජනය ලද සියදෝරිස් සිය කපටි බුද්ධිය මෙහෙයවා අනුන් සතු තවත් ඉඩම් කිහිපයක් හොර ඔප්පු සාදා තමන් සතු කර ගැනීමට සමත් විය.   
අයුක්තිය හා අසාධාරණය කෙටි කලකට සුවය ළගා කළ ද එහි පැවැත්මද කෙටි කලකට පමණි. එය සැබෑවක් කරමින් සියදෝරිස්ගේ බහින කලාව එළඹුණි. ව්‍යාජ ඔප්පුවකින් අත්පත් කරගත් ඉඩමක පොල් කැඩීමට තවත් අයෙකු සමග ගිය සියදෝරිස් එක් වරම සිහිසුන්ව බිම ඇදවැටුණි. අනෙක් තැනැත්තා වහා දිව විත් නිවැසියන්ට පුවත සැල කළේය.   
ඔවුන් පැමිණ සියදෝරිස් ඔසවා ගෙන විත් රෝහල් ගත කළ අතර අංශ භාග රෝගය සුව කිරීමට වෛද්‍යවරුන් ගත් උත්සහය සඵල නොවීය. ඔහුගේ රෝගය සුව කිරීම සඳහා අයුතු ලෙස ඉපැයූ ඉඩකඩම් විකිණී ගියේය. ධනය සිදී ගියේය. කඩ කාමරයේ කුඩා කුටියකට සියදෝරිස්ගේ දිවිය සිර විය. මරණය ළං වූ විට අතීතයේ කළ පව් කම් සිහි වීමෙන් හේ නිතරම කෑ මොර දෙන්නට විය. නොපැහැදිලි වචන අතරින් ඇසෙන්නේ මෙබදු වදන් වැලකි.   


අනේ ස්වාමීනි, මම නිවැරදියි, නිර්දෝෂයි, එ කල්හි ඔහු උසාවියේ විනිසුරුවරයාට පිළිතුරු දුන් ආකාරය විය යුතුයි. ඔය සියදෝරිස්ට කරපු පව් පල දීල යැයි ඔහුගේ අතීත කෙරුවාවල් දන්නා අය කීහ.   

 



අකුරැස්ස පහළ මලිදුව චිත්‍රානන්ද ගුණවර්ධන මහතා ලියා එවූ කතාවකි.   

වනයට වින කළ පාපය වනයේදීම විඳවූ හැටි   


මීට බොහෝ කලකට ඉහත ඇත දුෂ්කර පසල් දනව්වක ඒ කාලයේ හැටියට ඉතා සුව පහසු දිවියක් ගත කළ අයෙක් විය. නමින් ගුණසෝම වුවත් ඔහුව මිනිස්සු හැඳින්වූයේ කැලෑ ගුණේ නමිනි. කිසිවෙකුගේ බහකට කන් නොදුන් ගුණසෝමගේ එකම අරමුණ මුදල් රැස්කිරීම විය. ඉක්මනින්ම පෝසතකුවීම සඳහා ඔහු තෝරා ගත්තේ සමාජ විරෝධී මෙන්ම නීති විරෝධි ක්‍රියාවන්මය.   


ගම කෙළවර වූ වනාන්තරයේ වටිනා ගස් කපා ඉරා ලී විකිණීමෙන් සහ එහි සිටි වන සතුන් දඩයම් කර මස් විකිණීමෙන් ගුණේ ගේ අතමිට සරුවූයේ බලා සිටියදීමය. ලැබෙන ආදායමෙන් ඒ කාලයේ හැටියට හොද නිවහනක් තනා වාහන ද මිලදී ගෙන සුඛෝපභෝගී දිවියක් ගත කිරීමට ගුණසෝමට වාසනාව පෑදිණි.   
අතමිට සරු කළ ඔහු වටා එකතු වන පිරිස් ද වැඩි වූහ.   


වැඩිපුරම එක් වුයේ ඔහු වැනිම අය වීම නිසා ගුණේගේ කටයුතු වලට එය ඉතා පහසුවක් විය. ඒ නිසා ගුණසෝම ධනයෙන් මෙන්ම බලයෙන් ද අගතැන් අයෙකු විය.   
ගුණේ ගේ මේ නීති විරෝධී ක්‍රියාවලට එතරම් අභියෝගයක් ද එල්ල වූයේ නැත. නීති තිබුණද අද මෙන් එදා ඒවා පිළිබඳ සොයා බැලීමක් නොවීණ තමාට එරෙහි විය හැකි කිසිවෙකු ගමේ අසලකවත් නොවීමත් ගුණේගේ වාසියටම හේතුවිය. මිල මුදල් යහමින් ඇති අයට සමාජයේ හැම තැනකින්ම ලැබුණේ ඉතා උසස් පිළිගැනීමකි. මේ නිසාම කැලෑ ගුණේ සත් ගුණවත් ප්‍රභූ වරයෙකු වුයේ නිරායාසයෙනි.   


ඕනෑම අයෙකුගේ නිවසකට අවශ්‍ය වන දැව අවශ්‍යතාවකදී නිතැනින්ම සිහියට ආවේ කැලෑ ගුණේය. අවශ්‍ය දැව සඳහා ලී තුණ්ඩුව ලබා දුන් සැණින් දින කීපයක් ඇතුළත අවශ්‍ය ආකාරයටම අවශ්‍ය තැනටම ලී තොගය ලබාදීම ගුණේට මහා ලොකු දෙයක් නොවීය. එසේම ගමේ නිවැසියකුගේ ඕනෑම උත්සවයකට දඩ මසක් අවශ්‍ය වූ විට කළ යුත්තේ ගුණසෝමට මතක් කිරීමට පමණි. ඇණවුම නිසි කළට නිසි තැනට.   
කාලය ගෙවෙද්දී ගම කළෙවර වූ මහ වනය කෙමෙන් සිහින්ව යන්නට වුයේ වනස් පතීන් දිනපතා බීමට පතිත වෙමිනි. ගම්මුන්ට කළ හැකි එකම දෙය වු​යේ සුසුම් හෙලීම සහ රහසේම දෙවියන් යැදීම පමණි.   


එසේ වුවද සොබාදම් මාතාවට නම් තවදුරටත් මෙයට ඉඩදිය නොහැකි වුවාක් මෙනි. ඔහුගේ මේ අමන ක්‍රියාවන්ට එතරම් දිග ආයුෂක් නැති බව පසක් කර දෙන්නට තීරණය කර තිබුණේ කිසිවකුටත් නොදැනීමය.   


එදිනද කැලෑ ගුණේ වනගත වූයේ ඔහුට ලැබුණු ලී තුණ්ඩුවකට අවශ්‍ය ලී තොගයක් කපා ගැනීමටය. තම ගෝල බාලයන් සහ අවශ්‍ය උපකරණ රැගෙන ඇණවුමට සරිලන ගසක් සොයා ඇවිද යද්දී නෙත ගැටුණ දැවැන්ත වනස්පති වෘක්‍ෂය දැක දෙනෙත් දීප්තියෙන් බැබළිනි. එය ඔහුගේ ඇණවුමටද වැඩි දැව තොගයක් ලබා ගත හැකි එකක් විය.   
එහෙත් එය කපා ගැනීම එතරම් පහසු කාර්යයක් නොවන බව ගුණේට වැටහුණේ ගස තිබුණේ ප්‍රපාතාකාර බෑවුමක වීම නිසාය. ගස බෑවුමට ගියහොත් කිසි සේත් ගත නොහැක. එහෙත් ඒ කිසිවක් ගුණේට අදාළ නැත. ඔහු ගෙන ගිය දැවැන්ත කඹය ගසේ කෙළවර ගැට ගසා අනෙක් කෙළවර තවත් එවැනිම ගසක ගැට ගැසීමෙන් අනතුරුව ගස කැපීම ගෝලයකුට පැවරීය.   


කපන අතරතුර ගස ඇද කඹය අනෙක් ගසට තද කර ගැනීම ගුණේම පවරා ගත්තේ එය හරියටම කළයුතු වූ නිසාය. කරුමයක මහත දැවැන්ත වෘක්‍ෂය රඳවා ගැනීමට ගු​ෙණ්ගේ කඹයට හයියක් නොවීය. එකවරම මහ හඬක් නංවමින් ගුණේ කඹය අදින තැනින්ම කඹය කැඩී ගියේ විදුලි වේගයෙනි.   


කැඩුණ කඹය කෙළවර ගුණේගේ ඇගේ එතී වේගයෙන් පැද්දී බෑවුමේ තිබූ විශාල ගල් පර්වතයක වැදුණේ කිසිවකුටත් කිසිවක් සිතා ගැනීමටවත් ඉඩ නොතබා අසුරු සැණිනි.   
කඹය සමග ගොස් ගලේ වැදුණ ගුණේගේ හිස පොඩි පට්ටම් වී ලෙයින් නැහැවීණි කෙදිරියකටවත් ඉඩ නොතබා ඒ වන විටත් ගුණ් මෙලොව හැරගොස් තිබුණේ ඉතා ශෝචනීය අයුරිනි. අදමිටු පව්කම් වලට කාගෙන් නැතත් සොබා දහමෙන් හෝ මෙලොවදීම දඩුවම් ලැබෙන බවද මින් පසක් විය.   

 


මෙබඳු කතා ඔබත් දන්නේනම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.   

සකස් කළේ 
ප්‍රසන්න සංජිව තෙන්නකොන්