මින්නේරිය ජනතාවගේ ආත්මීය නායකයාව සිටි සී.පී.ද සිල්වා මහතා 1970 මහ මැතිවරණයේ දී පරාජයට පත්වූයේ කෘතහස්ත පුවත්පත් කලාවේදියෙකු මෙන්ම දේශපාලනඥයකු වූ රත්න දේශප්‍රිය සේනානායකයන්ටය. ලද ජයග්‍රහණය නිසා සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය එතුමාට කළගුණ දැක්වූයේ ක්‍රම සම්පාදන හා ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමති ධූරය ලබා දෙමිනි. එහි ඇමතිනිය සිරිමාවෝ මැතිනිය වූවාය.


නියෝජ්‍ය ඇමති ධූරයෙන් පුද ලද රත්න දේශප්‍රිය සේනානායක මහතා මින්නේරිය නගරයට පැමිණියේ පාක්ෂිකයන්ට කෘතගුණ දැක්වීමටය. එතුමා හිඟුරක්ගොඩ නගරය දක්වා කැඳවාගෙන ගියේ දැවැන්ත පෙළපාළියකිනි. මින්නේරිය නගරයේ සිට නාගලකන්ද විදුහල දක්වා මාර්ගයේ පිරුණු ජනතාව බාල්දි වලින් අසල වූ යෝධ ඇළෙන් ජලය ගෙන පාර සෝද සෝදා ඔව්හු එතුමා හිඟුරක්ගොඩ නගරය දක්වා කැඳවාගෙන ගියහ.


ඒ එදා දේශපාලකයන්ට ජනතාව තුළ තිබුණු ගරුත්වයයි. එවන් ගරුබුහුමන් ලද දේශපාලනඥයෝ අද වෙනවිට දේශපාලුවා මගෝඩිස්තුමා ආදී වශයෙන් හැඳින්වීමට ජනතාව පෙළඹී සිටිති. අද වෙනවිට දේශපාලකයා මෙන්ම දේශපාලනය ද සාමාන්‍ය ජනතාවට වහකදුරු මෙන් වී ඇත.


අතීතයේ සිටි දේශපාලකයා තම පෞද්ගලික ලාභ අපේක්ෂාවන්ට වඩා ජනතා අපේක්ෂාවන්ට මුල්තැන දුන්නේය. දේශපාලනය සැබෑ සමාජ සේවයක් ලෙස සැලකු ඔව්හු අවංකව තම යුතුකම් කොටස ඉටු කළහ.


අද ප්‍රාදේශීය සභාව 1977 වර්ෂය දක්වා ගම් සභාව විය. අද ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා එවක ගම්සභා නියෝජිතයා විය. සාමාන්‍ය ගැමි ජනතාව ඔහු හැඳින්වූයේ මැම්බර් මහතා නමිනි. අද ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා වැටුප් දීමනා යතුරු පැදි ඇතුළු විවිධ වරප්‍රසාද දීමනා භුක්ති වින්ද ද එකල ගම්සභා නියෝජිතයෙකුට මේ කිසිදු වරප්‍රසාදයක් නොවීය. ගම් සභාවේ සභාපතිවරු එහේ මෙහෙ ගියේ ලංගම බස් වලිනි. සභිකයන් බහුතරයක් පාවිච්චි කළේ පා පැදිය.


එකල ගම්සභා ධුරය ගරු සේවයක්ම විය. අපරාධකාරයන් දූෂිතයන් මත්පැන් අලෙවිකරුවන් එකල ජනතාව කිසි විටෙක තම නියෝජිතයා ලෙස පත්කර නොගත්හ.
ගම්සභා පාලනය පැවැති සමයේ දී මීට වසර 52 කට පෙර මින්නේරිය ගම් සභාව වෙනුවෙන් තරගකොට ගම්සභා නියෝජිතයෙකු ලෙස පත්වූ මින්නේරිය එකේ කණුව පල්ලේවෙල පදිංචි අසූ හය හැවිරිදි වන්නිනායක මුදියන්සේලාගේ මුදියන්සේ මහතා අදටත් මහජනතාවගේ ගෞරවාරදයට පාත්‍රවී ඇති ආදර්ශමත් හිටපු ගම්සභා නියෝජිතයෙකි.
මින්නේරිය සිය ජන්ම භූමිය කරගත් මුදියන්සේ මහතා අදටත් ගොවිතැන් කරන පා පැදියෙන් දිනකට සැතපුම් ගණනාවක් ගමන් කරන නිරෝගී ධෛර්ය සම්පන්න පුද්ගලයෙකි.
1967 දී මෙන්ම 1970 දී ද සභිකයන් 18 දෙනෙකුගෙන් යුතු මින්නේරිය ගම් සභාව නියෝජනය කළ මුදියන්සේ මහතා වත්මන් ප්‍රාදේශීය සභා නියෝජිතයන්ට ආදර්ශයක් ගතහැකි ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ​ෙයකි. තම දරුවන් පස්දෙනා ඔහු ගිය පාරේ ​නොගිය ද ඔහුගේ නැගණියගේ බාල පුතා අද හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිය.
මේ හිටපු ගම්සභා නියෝජිත ඩබ්.එම්.මුදියන්සේ මහතා සමග කළ කතාබහකි.


කොහොමද පාසල් කාලේ මතකය?


ඒ 1940 විතර. මින්නේරිය නාගලකන්ද පාමුල තියෙන විහාරස්ථානයේ හාමුදුරු නමක් හිටියා. ඒ වන විට වයස 70 - 75ක විතර ඇති. උන්වහන්සේ හවසට අවට ගෙවල්වලට වැඩම කරලා කීව මම පාසලක් දාන්න යන්නේ ළමයි එවන්න කියලා.


ආයේ පහුවෙනිදත් ගෙවල් වලට වැඩම කරලා ළමයින්ට නාරංබික් ලොසින්ජර දීලා ඔළුව අතගාලා ඉස්කෝලේ එන්න කියලා කිව්වා.


සුමංගලරාම පන්සලේ පාසල පටන් ගත්තා. ළමයි 35 දෙනෙකු විතර හිටියා. පී.ඩබ්ලිව්.ඩී. එකේ වැඩකළ දෙමළ අය​ගේළමයි තුන් හතර දෙනෙකුත් ආවා. මුලින්ම අපට ඉගැන්නුවේ සද්ධාතිස්ස කියලා ගුරුතුමෙක්. එතුමා පාචනේ හැදිලා මැරුණා.


ඊට පස්සේ උගන්නන්න කෙනෙක් නැතිව ඉන්න කොට හාමුදුරුවෝ මින්නේරිය හන්දියේ කඩයක් කරපු ආරච්චිඅප්පු මුදලාලිට මේ විස්තරේ කීවා. පස්සේ මුදලාලි කීවා අපේ ගමේ උගත් පුතෙක් ඉන්නවා එයා එක්ක එන්න බලන්නම් කියලා.


පස්සේ ඒ සර් ආවා. කටුපොත ජේ.ඩී. ප්‍රේද්‍රිස් අප්පුහාමි ඒ සර්ගේ නම. මල් හතට ඉගැන්නුවා.


මේ කාලේ මින්නේරිය වාරිමාර්ග කාර්යාලයේ තිබුණේ හිඟුරක්ගොඩ පාරේ මින්නේරිය නගරයට කිට්ටුව. වාරිමාර්ග කාර්යාලය මින්නේරිය වැව් ඉවුරට ගෙන ගියාට පස්සේ පාසල වාරිමාර්ග කාර්යාලය තිබුණ තැනට ගෙනිච්චා. මම පහේ පන්තිය දක්වා ඒ පාස​ෙල් ඉගෙන ගත්තා. අපි ඉගෙනගන්න කාලේ ගොඩනැගිල්ලක කණුවක් කඩාගෙන වැටිලා ගෑනු ළමයකු​ෙග් කකුලක් කැඩුණා. ඒක පත්තරෙත් ගිහිල්ලා තිබුණා. අද නාගලකන්ද මහා විද්‍යාලය කියලා හඳුන්වන්නේ එදා හාමුදුරුවෝ ආරම්භ කරපු පාසල. මේ කතාව හුඟක් දෙනෙක් දන්නේ නෑ.


හිඟුරක්ගොඩ මින්නේරිය ප්‍රධාන පාරේ ඒ කාලේ තාර දාල තිබුණේ නෑ. එ්ක ගුරු පාරක්. දෙවැනි ලෝක මහා යුද්ධ කාලේ කොච්චි මිනිස්සු ලොරි වලින් ගෙවල් ඇද්දා හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර හදන්න.


උදේට කොච්චි මිනිස්සු හබරණ යනවා පාන් ගේන්න. අපි ඒ අය ආපහු එනකොට පාර අයිනේ ඉදළ වී (V) අකුර පෙන්නනවා. එතකොට වී සිගරටුයි පාන් රත්තලක් දෙකකුයි දාලා යනවා.


ඒ කාලේ බටුකොටුවට ඉතාලි කාරයන්​ගේ කඳවුරකුත් තිබුණා.


ඔබ දේශපාලනය ආරම්භ කළ හැටි?


පොල්වත්ත විදානෙ මහත්තයා එතකොට මින්නේරිය කොට්ඨාසයේ මැම්බර් මහත්තයා. එයා මට දේශපාලනයට එන්න කියලා කතා කළා. මම බෑ කීව. පස්සේ සී.පී.ද සිල්වා පණිවුඩයක් එවල තිබුණා. මම ගියා. එතන මින්නේරිය ගම් සභාවේ හිටපු සභාපති විලියම් බණ්ඩාර මහත්තයත් හිටියා. සී.පී.ද සිල්වා මහත්තය එයාට කීවා සතියක් ඇතුළත මට පක්ෂ සාමජිකත්වය දෙන්න කියලා.


මට ලැබුණේ අංක 13 කොට්ඨාසය. බෝතලකරවංගුව සිට මින්නේරිය දක්වා 1967 දී පැවැති ගම් සභා මැතිවරණයෙදී මින්නේරිය කොට්ඨාසයට 5 දෙනෙක් තරග කළා. එක්සත් ජාතික පක්ෂයෙන්. විජේ බණ්ඩාර මහතා ලංකා සම සමාජ පක්ෂයෙන් සුමනසේන මහතා ස්වාධීන දෙන්නෙක් ඇල්බට් කුරේ හා විජේසිංහ මහත්වරු. නාගලකන්ද ඉස්කෝලෙ තමා මැතිවරණය තිබ්බේ. ඡන්ද ලකුණට ඡන්දේ දැම්මේ. ඒ ඡන්දෙන් මම දිනුම්.


වසර 3 කට පස්සේ 1970 නැවත ඡන්දයක් තිබුණා. මම ශ්‍රී.ල.නි.ප යෙනුත් පොඩි මහත්තයා එ.ජා.පයෙනුත් තරග කළේ. ඒ පාරත් මම දිනුම්.


ගම් සභිකයනට වැටුප් දීමනා ලැබුණා ද?


ඒ දවස්වල අපිට වැටුප් දීමනා ලැබුණේ නෑ. ගරු සේවයක් කළේ. සභා රැස්වීම් වලට ගියහම බනිස් ගෙඩියකුයි කිරි තේ එකකුයි දෙනවා. කොට්ඨාසයට වගකියන මන්ත්‍රීවරු තමා හිටියේ. මාසයකට සැරයක් රැස්වීම් තිබුණා. අපේ ගම් සභාවේ මන්ත්‍රීවරියක් හිටියා ඒ.සී.සී කුරේ මහත්මිය. ඇය අකල් මරණයකට ගොදුරු වුණා.


ඒ දවස්වල සභිකයනට කොන්ත්‍රාත් දුන්නා. නමුත් අපි කළේ නෑ. අපි වෙනත් කෙනෙකුට දෙනවා. ඒ අයගෙන් අපි ශත පහක්වත් අරගෙන නෑ. අනිත් අය ගැන මම දන්නේ නෑ. මම අරගෙන නෑ.


ඔබේ මූලිකත්වයෙන් සිදු වූ සංවර්ධන වැඩ?


මින්නේරිය මහජන පුස්තකාලය හැදුවේ මගේ කොටසේ. විවෘත කළේ මෛත්‍රීපාල සේනානාය මැතිතුමා. පටපිළිකන්ද පුස්තකාල වත්ත මැදින් තියෙන පාර මම හැදුවේ. පාරක් හදන්න වැය වුණේ රුපියල් හාරදාහක් පන්දාහක් වගේ මුදලක්.


දුම්රිය පොළ හන්දියේ බස් මගී ආවරණයක් හැදුවා. දැන් ඒක එතන නෑ. කඩලා දාලා.


මින්නේරිය මහරත්මලේ පන්සලේ බෝධිය මං හිටෙව්වේ. වාන් ඇළේ තිබුණු බෝධිය ගෙනැවිත් රෝපණය කරලා කුඩා බුදු පිළිමයක් ගෙනත් තැන්පත් කරලා මිනිස්සුන්ට වඳින්න පුදන්න හදලා දුන්නා. ඒ හරියට මහ රත්මලේ කියලා නම දැම්මෙත් අපි

.
මම වීසි එකේ ඉදිද්දි තමයි මින්නේරිය එකේ කණුව මරණාධාර සමිතිය පිහිටවූවේ.


මින්නේරිය තිබුණු ගම් සභාව 1988 ජේ.වී.පී. එකෙන් පිච්චුවා.


1977 ගම් සභාව විසිරෙව්වා. ආර්.ප්‍රේමදාස මහතා පළාත් පාලන ඇමති වුණාට පස්සේ ගම් සභා විසිරෙව්වා. ඊට පස්සේ තිබුණු ඡන්ද වලට අපි ඉදිරිපත් වුණේ නෑ.
එකේ කණුව පල්ලෙවෙල පාර හැදුවේ මම. මිනිස්සු දවල් 12 වෙනකම් ශ්‍රමදානයෙන් වැඩ කරනවා. වැඩ කරන අයට පාන්පිටි රාත්තල් තුන ගණනේ දුන්නා. කච්චේරියෙන් තමයි පිටි ලැබු​ෙණ්.


1956 මම කසාඳ බැන්දා. 1957 ගංවතුර එද්දී බිරිඳ ගොකරැල්ල ගෙදරට ගිහින් අැරලල මම ආපසු ආවා. සී.පී.ද සිල්වා මහත්තයා ගමේ ඔක්කොම කට්ටිය මින්නේරිය වැව් බැම්ම මතට එක්කගෙන ගියා. හැමෝටම පාන් පිටි දුන්නා රොටි කන්න. සී.පී.ද සිල්වා මහත්තයා රෑ එළිවෙනකම් කොට කලිසමකුත් ඇඳගෙන මිනිස්සුත් එක්ක හිටියා.
ගම් සභාවට වාහන තිබුණේ නෑ. සභාපති විලියම් බණ්ඩාර මහතාත් මොරගස්වැව ඉඳලා බස් එකේ ආවා ගියේ. අපි පා පැදි වලින් තමයි ආව ගියේ. අදටත් මම හැම තැනම යන්නේ පා පැදියෙන්.


ඒ දවස්වල වී මිල අඩු වුණාට මිනිස්සුන්ට ආර්ථික වශයෙන් අමාරුකම් තිබුණේ නෑ. මිනිස්සු බොහොම සරල චාම් ජීවිතයක් ගත කළේ. මුදල් පස්සේ හඹා ගියේ නෑ. මනුස්සකම මිනිස්සු ගාව පිරිලා ඉතිරිලා තිබුණා.


ගම් සභිකයෙකු ලෙස සේවය කරද්දි අමතක නොවන සිදුවීම්?


මින්නේරිය රජ ඇළ - එකේ කණුව යා කරන අද ගැමුණු මාවත කියන පාර කපද්දී බේලින් පුංචි බණ්ඩාගේ ගේ ගාවින් එහාට පාර කපන්න දුන්නේ නෑ. පුංචි බණ්ඩා කීවා එතනින් පාර කපන්න දෙන්න බෑ කියලා. එතන ඔහු පාර හරහා වැටක් ගැහුවා.


ඊළඟ සභාවාරයේදී මම සභාපතිට කීවා පාරක් කැපුවා කෙළවරට යන්න ඉඩ දෙන්නේ නෑ. මට කම්කරුවෝ පස් දෙනෙක් දෙන්න කියලා.


ඊට පස්සේ මම කම්කරුවෝ ගෙනත් බලෙන් පාර කැපුවා. බේලින් පුංචි බංඩා එවිට කොට තුවක්කුවක් අරන් ආවා. මම කීවා වෙඩි තියන්න රට ගම වෙනුවෙන් වැඩ කරන්න හොරකම් කරන්න මංකොල්ල කන්න නෙමේ කියලා. මං දිහා ටික වෙලාවක් බලන් ඉදල බේලින් තුවක්කුවත් අරන් අාපහු ගියා.


ඔබේ උපන් දිනය?


මා ඉපදුනේ 1932 පෙබරවාරි 05 මින්නේරියේදී

 

 

හිඟුරක්ගොඩ සුනිමල් හේවගේ