වළපල්ලට ගිය රටවල්

 

 අද හඳුන්වා දෙන්නේ යුරෝපයේ තවත් රටක් වූ සර්බියාවයි. නැතහොත් සර්බියා ජන රජයයි. මා මේ ලියන්නේ අතීතයේ මාෂල් ටිටෝ පාලනය කළ යුගෝස්ලෝවියාව ගැනය. නොබැඳි සමුළුවේ පතාක යෝධයෙකු වූ ටිටෝ යුගෝස්ලෝවියාව පාලනය කරද්දී එනම් වසර 40 කට පෙර බෙල්ග්‍රේඩ් ගිය ගමන මට ජීවිතයේ කිසිදාක අමතක නොවේ. ලෝකයේ රටවල් 80 ක විශිෂ්ටම ලේඛකයින් 80 දෙනෙකු සමග එහි මා ගත කළ කාලය පිළිබඳ විස්තරය වෙනම කතාන්දරයකි.  


සෞභාග්‍යය පළා ගිය සර්බියාව   


​ෙනාබැඳි සංවිධානය දියාරු වී ගි​යේය. ලෝක​ෙය් වෙනත් බල කඳවුරු වලට බෙදී ගියේය. කොමියුනිස්ට් වාදය තුරන් වූ සමහර රටවල් විශ්මයජනක ලෙස දියුණු විය. තවත් සමහර රටවල් කෑලි කෑලි වලට කැඩී බිඳී විනාශ මුඛයට පත්විය. හොඳම උදාහරණය මේ කියන සර්බියාවයි. අතීත ශ්‍රී සෞභාග්‍යය ඈතට ඈතට පලා ගොස් ඇති තවත් දේශයකි සර්බියාව. පුරවැසියන්ගෙන් ලක්ෂ 18 ක් ඉතා දිළිඳු ජීවිත ගෙවන සර්බියාව අද ලෝකයෙන් කොන් වූ රටකි.   


ලක්ෂ 18 ක් කුස ගින්නේ   


සර්බියාවේ මුළු ජනගහනයෙන් සියයට 25 ක් හෙවත් පුරවැසියන් ලක්ෂ 18 ක් එදාවේල පිරිමසා ගන්නේ ඉමහත් ආයාසයකිනි. මෙතරම් ජන සමූහයක් දරිධ්‍රතාවයෙන් පෙළෙද්දී එහි පාලකයින් රජ සැප විඳින්නේ රට සූරා කමිනි. මේකත් පවුල් පිටින් එක් වී මහජන දේපළ හොරකම් කරන අවාසනාවන්ත දේශයකි. ඉන්න හිටින්න කන්න බොන්න නැතිව දුක් විඳින ජනතාව නිතරම ගංවතුර හා භූමි කම්පා උවදුරු වලට ද මුහුණ දීම කොතරම් අභාග්‍ය සම්පන්නද?   


අයි.බී.එන්.ඒ. හෙවත් ඉන්ඩිපෙන්ඩන්ට් බෝල්කන් නිව්ස් ඒජන්සි මාධ්‍ය ජාලය 2019 සැප්. 1 දා මාධ්‍ය වාර්තාවක සඳහන් කර තිබුණේ සර්බියාවේ පස් දෙනෙකුගෙන් යුත් පවුලක මාසික ආදායම යුරෝ 130 ක් පමණ වෙන බවත් මෙම උදාහරණයම රටේ වත්මන් තත්ත්වය පිළිඹිබු කිරීමට ප්‍රමාණවත් බවයි.   


ජ්‍යෙෂ්‍ඨ පුරවැසියන් සඳහා ක්‍රමානුකූල සුබ සාධන වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක නොවන යුරෝපයේ තවත් රටක් ලෙස සර්බියාව 2018 ජනවාරි 17 දා සර්බින් මොනිටර් පත්‍රය සඳහන් කර තිබුණි. 1991 සිට 2001 වර්ෂය දක්වා පැවති යුද වාතාවරණය තුළින් රට නැත්තටම නැති විය. යුද්ධය නිම වීමෙන් පසු ව ද එක්සත් ජාතීන්, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යුරෝපා සංගමය ආදී ජාත්‍යන්තර ආයතන රටට යුරෝ හා ඩොලර් කෝටි ප්‍රකෝටි ගණනින් පොම්ප කළත් බලයට පත් වූ පාලකයෝ ඒවා පිල්ලි ගැසුවා විනා රට හා රටේ ජනතාව වෙනුවෙන් වැය නොකළහ. සර්බියාවද පරිහානියට පත් වූයේ මේ නිසාය. මේ සර්බියාවේ ජනතාව 2020 ඡන්දයට සූදානම් වන අවධියයි.   


හන්ගේරියාව, රුමේනියාව, බල්ගේරියාව, උතුරු මැසිඩෝනියාව, ඇල්බේනියාව සහ කොසෝවෝ යන රට වලට මැදිව සර්බියාව පිහිටා ඇත. විශාලත්වය ව.කි.මි. 88361 ක් හෙවත් ව.සැ. 34116 කි. ජනගහනය ලක්ෂ 70 කට මදක් වැඩිය. (69,63,764). ලොව 111 ස් වැනි විශාල රටයි. ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුසික්ය. අගමැති අනා බර්නාබික්ය. 1989 දී ස්ලොබඩාන් මිලොසෙවික් පාලනය සියතට ගෙන රට විනාශ කළේ​ය. මිලොසෙවික් පාලනය බිඳ වැටීමෙන් පසුවද රට ඉදිරියට ගියේ නැත.   


ජනපතිට කළ පව් පළ දුන් හැටි   


මානුෂික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම යුද අපරාධ සිදු කිරීම ආදී ​චෝදනා රාශියක් යටතේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙහි ඔහුට එරෙහිව නඩු පවරන ලදී. 2006 මාර්තු 11 දා හේග් නුවර ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සිරමැදිරිය තුළ මෙලොසෙවික් අවසන් හුස්ම හෙළුවේ කළ පව් පළ දෙමිනි.  


ඇල්බ්නියා​ෙව් ගරිල්ලා කැරලිකරුවන් කොසෝවෝ සහ යුගෝස්ලෝවියා හමුදා අතර සිදු වූ සටන් වලින් ලේ ගංගාවක් බවට පත් වූ සර්බියා දේශයට තවමත් නවෝදය උදා වී නැත. ඊට මූලික හේතුව බල ලෝභී පාලකයින් පවුල් පිටින් සංවිධානය වී පොදු ජනතාවට ජාත්‍යාලය දේශප්‍රේමීත්වය නමැති සීනි බෝල කන්නට දී තමන් යුද්ධය වවා ගෙන කෑමට පටන් ගැනීම නිසාය. 2003 වර්ෂයේදී මේ රටේ පීඩිත ජනතා පිබිදීම කොතරම් ද කිවහොත් අගමැති ෂොරාන් සින්සික් මරා දැමීමේ සිද්ධිය පෙන්වා දිය හැක. 

 
​ෙමහි අද තරුණ අසහනය උග්‍ර වී තිබේ. තරුණ තරුණියන් අතුරින් රැකියා නැති වූවන්ගේ සංඛ්‍යාව සියයට 42 ක් පමණ වේ. යුරෝපා සංගමය මෙහි සංවර්ධන කටයුතු සඳහා වසරකට යුරෝ බිලියන 1.5 ක ආධාර ලබා දෙන නමුත් එම මුදල් ජනතා සුබ සෙත තකා වැය කරන බවක් නොපෙනෙන බව බෝර්ගන් ව්‍යාපෘති වාර්තාවක සඳහන් වේ. සර්බියන් මොනිටර් වාර්තාවක සිරස්තලය වූයේ සර්බියාව යුරෝපයේ දරිද්‍රතා ලැයිස්තුවේ මුලට යන්නයි. මේ රටේ ද වැඩිපුරම ඉන්නේ පාලකයින් දෙන දේශප්‍රේමී සීනි බෝල කන ජනතාවය.   
2017 මැයි 3 දා බෝල්කන් ඉන්සයිට් මාධ්‍යය සර්බියාවේ යථා ස්වභාවය පිළිබඳ විශ්ලේෂණාත්මක වාර්තාවක් පළ කර තිබුණි.   


සර්බියාවේ දේශපාලනය සහ දේශපාලකයින්ගේ හොර මැර වංචා පිළිබඳ දීර්ඝ විස්තරයක් එම වාර්තාවට ඇතුළත්ය. අවංක දේශපාලකයින්ට මේ රටේ බලයට පැමිණීමට ඉඩ නොලැබෙන බවද, වංචනිකයින් සිදු කරනුයේ ඉවක් බවක් නැතිව රට හා ජනතාව උකසට තබමින් රාජ්‍ය දේපොළ අවභාවිතා කිරීම බවද උදාහරණ රාශියක් ඇතිව මේ ලිපියෙන් කරුණු දක්වා ඇත.   


හිටපු ආරක්ෂක ලේකම් ඇලෙක්​සැන්ඩර් වුලින් තම බිරිඳගේ අම්මා හෙවත් නැන්දම්මාගේ නමට බෙල්ග්‍රේඩ් නුවර ෂේන් ගඟ අසබඩ මහල් නිවාස සංකීර්ණයක් පවුම් 2,05,000 ක මුදලකට මිලයට ගැනීමේ සිද්ධිය සර්බියාවේ මෑත කාලයේ මහත් ආන්දෝලනයට පාත්‍ර වූ වංචාවක් බව එරට ඇතැම් මාධ්‍ය කියයි. මෙම සිද්ධියත් සමග හිටපු ආරක්ෂක ලේකම්වරයා සිදු කළ විවිධ වංචාවන් දැන් එළියට එමින් පවතී. මේ රටේ ද සිදු වන්නේ වංචාවක් සිදු වූ විට බලධාරියාට තනතුර අහිමි වීම පමණකි. බොහෝ විට ඔවුන් දැරූ තනතුර අනුව ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවේ. සොරකම් කළ මුදල් හා දේපොළ පරිහරණය කරමින් මේ බලධාරීහු ජීවිතාන්තය තෙක් යහතින් දිවි ගෙවති.   
බෙල්ග්‍රේඩ් නගරාධිපති සින්සාමලි විසින් රජයේ මුදලින් ෂේන් ගඟ අසබඩ ඉදි කළ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක් තම පවුලේ අය සහ හිතවතුන් අතරේ නොමිලේ බෙදා දුන් අයුරු තවත් සිද්ධියකි. බොහෝ රට වල ජනතාවගෙන් වැඩිපුරම ඡන්ද ලබා ගන්නේ මෙවැනි හිරිකිතයකින් තොරව මහජන මුදල් ගසා කන දේශපාලකයින්ය. මේ ලිපි පෙළ ආරම්භයට වඩා අවසාන​ෙය් දී විවිධ රටවල වංචනික දේශපාලකයින්ගේ වගතුග හුවා දැක්වීමට මා පෙලඹුණේ මේ දූෂිතයින් මහ පොළවට බරක් වී ඇති නිසාය. බෙල්ග්‍රේඩ් නගරාධිපතිගේ බැංකු ගිණුම් 45 ක තිබූ මුදල් පිළිබඳවද මාධ්‍ය වාර්තා පළ විය.   


පුරපතිගේ හතු වගාව.   


2017 මැයි මාසයේදී රජයේ ඉහළම බලධාරීන්ගේ අතකොළුවක් වූ මේ නගරාධිපතිවරයා පවුම් මිලියන 300 කට වැඩි වටිනාකමකින් යුත් නිවාස හිතවතුන්ට බෙදා දෙමින් මුදල් සොරකම් කළ හැටි මනාව හෙළි කරන ලද්දේ 2018 පෙබ. 27 දා පැරඩයිස් පේපර්ස් මාධ්‍යයයි. ඔහු බෙල්ග්‍රේඩ් නුවර අසල අක්කර 10 ක ඉඩමක සිදුකළ හතු වගා ව්‍යාපෘතියෙන් ගසා කෑ අයුරු ද එම මාධ්‍ය වාර්තාවෙහි සඳහන් විය. සිදු වූයේ කුමක්ද? යථෝක්ත ඉඩම රජයට පවරා ගැනීම පමණකි. වළපල්ලට ගිය හැම රටකම සිදු වෙන්නේ මේවාය. ඒ රට වල පොදු ජනතාව කුසට අහරක් නැතිව සුසුම් හෙළමින් මේවා දෙස බලා ගෙන සිටි. මා හැම ලිපියකම ලිව්වා මෙන් මේ සියලුම දේශයන්හි නීතිය හරහට හිටින්නේ නැති බැරි එකාට එරෙහිව පමණකි.   


මේ කියන සර්බියාවේ දේශපාලකයින් පොලිසිය හා නඩු කාරයින් එකට සංවිධානය වී හොරකම් කරද්දී ජනතාවට කාගේ පිහිටක්ද? මේ රට වල බොහෝ දේශපාලකයින් කරන්නේ පිටරට බැංකු වල සේප්පු පුරවා දැමීමය. සෞඛ්‍ය ඇමති ස්ලටිබෝ ලොන්කාර් වෛද්‍යවරයෙකුට පගාව දී රෝහලට ඇතුළත් කළ තම විරුද්ධවාදියෙකුට විශ එන්නතක් විද මරා දැමීමේ චෝදනාව එල්ල විය. එහෙත් සෞඛ්‍ය ඇමතිට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීය. මේ රටේ ද බලධාරීන්ට එක නීතියකි. පොහොසතුන්ට තවත් නීතියකි. පෑගෙන පොඩි වෙන මිරිකෙන පීඩිත පොදු ජනතාවට තවත් නීතියකි. මේ වළපල්ලට ගිය හැම රටකම පාහේ එහෙමය. 2013 සිට 2018 දක්වා සර්බියාවේ සිදු වූ මහා පරිමාණයේ රාජ්‍ය මුදල් අවභාවිතාවන් පිළිබඳ සිද්ධීන් රාශියක් 2018 දෙසැ. 30 දා ද ඉන්ඩිපෙන්ඩන්ට් පත්‍රයේ වාර්තාවක පළ විය.   

 

 


දේශපාලන හොරුන්ට අත දෙන අධිකරණය.   


2015 දෙසැ. 26 දා හිටපු ඇමැතිවරු 3 ක්, මන්ත්‍රීවරුන් 15 ක් පොලිස් නිලධාරීන් පරිපාලන නිලධාරීන් ඇතුළු 80 දෙනෙකුට එරෙහිව දූෂණ ​චෝදනා එල්ල විය. මින් දඬුවම් ලබා දුන්නේ 39 දෙනෙකුට පමණකි. දේශපාලකයින් කිසිවෙකු නීතියේ රැහැනට හසු නොවීය. දේශපාලන හොරු අධිකරණයේ පිහිටෙන් මුදවා හරින ලදී. මෙවැනි රටවල් අගාධයට යන්නේ නැතිව වෙන කොහේ යන්නද?   


දේශපාලන පක්ෂ 30 ක ජනතාව අගනුවරට රැස් වී ‘වුසික් හොරා’ ‘වුසික් හොරා’ යනුවෙන් සටන් පාඨ කියමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් ඇරඹුවත්, ඉන් පලක් නොවීය. 2018 මාර්තු 20 දා මේ රටේ දූෂණය වංචාව මුලිනුපුටා දැමීමේ නව නීති සංග්‍රහයක් එළි දැක්වූවත් එය නීති පොත් වලට පමණක් සීමා වී ඇති බව පෙනේ. මේ රටේ ද දේශපාලන හොරු අල්ලන බවක් හෝ දේශපාලන හොරුන්ට දඬුවම් කරන බවක් නොපෙනේ. 2019 මාර්තු 19 දා ඒ.පී. වාර්තාවක සඳහන් වූයේ මැද පෙරදිග අරාබි වසන්තය මෙන් සර්බියාවේ බෝල්කන් වසන්තය යනුවෙන් ජනතා පිබිදීමක් හටගෙන ඇති බවයි.   


2018 පෙබරවාරි 23 දා සර්බියාවේ විරුද්ධ පක්ෂ නායක බොර්කෝ ස්ටෙපනොවික් දස වධ දී ඝාතනය කිරීමේ සිද්ධිය තුළින් සර්බියාවේ ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් එල්ල විය. එහි ප්‍රජාතන්ත්‍රවාදයට කණ කොකා හඬද්දී ප්‍රජාතන්ත්‍රවාදය සුරකින බවට ප්‍රතිඥා දී ජනතාවගේ කර මතින් බලයට පැමිණි පාලකයන් මාධ්‍ය නිදහස ද නැති කරමින් යකා නටන අයුරු මම දුටුවෙමි. වසර 40 කට පෙර මෙම රටේ අගනුවර ෂේන් ගඟ අසබඩ මා තරුණ අවධියේ ගත කළ සොඳුරු අවධිය ද මගේ සිහියට නැගේ.   

 

 

සිරි හීන්පැල්ල
 නිව්‌යෝර්ක් නුවර සිට ලියයි