​ලෝකයේ වළපල්ලට ගිය  රටවල් පිළිබඳව විග්‍රහයක්   

 

 

 

රටක් මර උගුලක හිරවීම ඛේදජනකය. එවිට එහි ජනතාව මකර කටට වැටේ. අගාධයකට තල්ලු වේ. පොළව යට ගිනි කඳු බුර බුරා නැගෙන්නේ හැම මොහොතකමය. කවදා හෝ ගිනි කඳු කුඩා සිදුරකින් එළියට පැන මහා විනාශයක් සිදුකරයි. ලොව වළපල්ලට ගිය රටවල ජනතාවගේ පීඩනයත් මෙහෙමය. ජනතාවගේ පීඩනය පිටාර ගලන්නේ රටක් වළපල්ලට ගියාට පසුවය. මේ ලිපි පෙළ ලොව වළපල්ලට ගිය රටවල් කීපයක් පිළිබඳ විශ්ලේෂණයකි. ඇතම් රටවලට කණකොකා හඬන්නට පටන් ගෙන තිබේ.   


මෙය කාබාසිනියා වූ දේශයන් ගැන කෙරෙන විග්‍රහයකි. මේ මගේ වි​ෙද්ශ අත්දැකීම් සම්භාරයක එක් පැතිකඩකි. අද ලොව ආපස්සට ගිය රාජ්‍යයන් ප්‍රපාතයට ඇද වැටී ඇත්තේ කෙසේ ද? සමහර රටවල් අවීචි මහා නරකාදියටත් වඩා අන්තය. මීට හේතු කවරේ ද? ඊට බලපෑවේ ස්වාභාවික විපත් පමණක්ම ද? දේශපලාකයන්ගේ අනුවණකම් ඊට හේතුව ද?   


අැවිදින ඇටසැකිළි   


එවැනි රටවල ජනතාව යෙදී සිටින්නේ ජීවන අරගලයකය. ඔවුහු නඟන්නේ මර හඬය. දුක් අඳෝනාය. ශෝක සුසුම්ය. එම සමාජ තුළ අැවිළෙන්නේ දුක් ගින්දරය. බඩ ගින්දරය. ඔවුන්ගෙන් බහුතරය ඇවිදින ඇටසැකිළිය. රෝග බිය නිසා පන අදින මනුෂ්‍ය ජීවිත හැමතැනය. එම භූමි තුළින් සුන්දර දසුන් අතුරුදන් වී හමාරය. ඔවුන් දරිද්‍රතාවයේ පත්ලටම ඇද වැටී අවසන්ය. මොවුන් උත්සාහ කරන්නේ තවත් තත්පරයක්වත් පන නළ ගැට ගසා ගැනීමටය.   


රට හැදීම හා රට කෑම   


මේ රාජ්‍යයන් අගාධයට ඇද වැටුණේ බලය ලබා ගැනීමට වෙර දැරූ සහ බලය ලබාගත් දේශපාලකයන්ගේ අදූරදර්ශී ක්‍රියා නිසාය. අත්තනෝමතික ප්‍රතිපත්ති නිසාය. ඔවුහු දූෂණයට, වංචාවට, අල්ලසට, හොරකමට, ඥාති සංග්‍රහයට මුල් තැන දුන් නිසාය. ඔවුහු රට යකාට යන්නට ඉඩ දී රටේ ධනය සූරා කෑහ. එවැනි දේශපාලකයන් මුදල් මඩිස්සල ගහමින් සුර සැප වින්දේ ජනතා ප්‍රශ්න යට කරමිනි. ඔවුන්ට මහ පොළවේ මිනිසුන් සමඟ උරෙන් උර ගැටීමට අවශ්‍යතාවක් නොවීය. සමස්ත ජාතියක ප්‍රශ්න ඔවුන්ට අමතකය. රටවාසින්ගේ හීන සැබෑ කරන්නට ඔවුන්ට අවශ්‍යතාවක් නොවීය. ඔවුහු ජනතාව පිට පැටවෙන බර සැහැල්ලු කරනවා වෙනුවට ඒ බර දෙගුණ තෙගුණ කළහ.   


‘තමා දකින සමාජ වෙනස තමාම වෙන්න’ යයි මහත්මා ගාන්ධි කිව්වේය. මේ කියමන පිළිපදින්නේ දේශපාලකයන්ගෙන් කීයෙන් කී දෙනා ද? ජනතාවට යහපතක් කරන්නේත් දේශපාලකයන්ය. ජනතාවට කොඩිවිණයක් වෙන්නේත් ඔවුන්මය. මේ අනුව රට හැදීම මෙන්ම රට කෑම සිදු කරන්නේ ද මේ අමුතු සත්තුය. වළපල්ලට ගිය රටවල් මෙන්ම වළපල්ලට යමින් පවතින රටවල් රාශියක් ද අද ලොව පුරා ඇති බව කිව යුතුය. එවැනි රාජ්‍යයන් රාශියකට යාමට පසුගිය වසර 40ක පමණ දීර්ඝ කාල සීමාවක් තුළදී මට අවස්ථාව ලැබිණි. එම සංචරයන්හිදී මා අැසූ දුටු දේවල් රාශියක් මීට ඇතුළත්ය.   


හයිටිය ලෝකයේ දිළිඳුම රට නොවේ. එහෙත් මේ ලිපි පෙළ මා ආරම්භ කරන්නේ හයිටි රාජ්‍යයෙනි. ඊට හේතුව වෙන්නේ එය ලොව වළපල්ලට ගිය රටවල් මෙන්ම දුප්පත් රටවල් 50ට ඇතුළත් වන නිසාම නොව එය ‘මිහිපිට අපායක්’ වන නිසාය. මා සතියක කාලයක් එම අපායේ ගත කළ නිසාය. අපායට ගුවනින් ගිය ගමන මට කිසිදාක අමතක නොවේ. එය බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, ඇමෙරිකාව, රුසියාව, ඕස්ට්‍රේලියාව වැනි රටවලට ගිය ගමන්වලට වඩා​ වෙනස්ය.   


හයිටිය හැරුණ විට කොන්ගෝව, සෝමාලියාව, සිම්බාබ්වේ, ලයිබීරියාව, ඉතියෝපියාව, එරිත්‍රියාව, සූඩානය, මධ්‍යම අප්‍රිකාව, නයිගර්, උගන්ඩාව, මලාවි, ඇතුළු රටවල් රාශියක් දැනට අමන දේශපාලකයන් විසින් විනාශ කර අවසන්ය. මේ රටවලට මේ කපේදී ගොඩ ඒමට හැකි වෙන්නේ ද? එ්වා ද වළපල්ලට ගිය රටවල්ය.   


සුරපුර සිට අපායට   


ඇමෙරිකාවේ නිව්යොර්ක් පුරයේ සිට හයිටි ජනරජයේ ​පෝර්ට් ඔ ප්‍රින්ස් (Port Au Prince) අගනුවරට ගිය ගමන සුරපුර සිට අපායට ගිය ගමනකට සමානය. එය මිහිපිට අපායකි. අත කපා, ඇඟිලි කපා, බෙලි කපා මුදු, ඔරලෝසු, මාල පැහරගෙන පළායන හොරුන් පිශාචයන්ගෙන් පිරුණ ජනරජයකි හයිටිය. එය ජනතාවගේ රජයක්ම නොවේ. ගහලයන්ගේ යකුන්ගේ ක්‍ෂේම භූමියකි. එහි සිටි සහ දැනට සිටින බොහෝ දේශපාලකයන්ගේ තිරිසන් ක්‍රියා ඇස් පනාපිට දක්නට ලැබේ. ඔවුහු මනුස්සකම අමතක කළ දේශපාලකයන්ය. රටට බරක් වූ දේශද්‍රෝහීන්ය.   


උතුරු අත්ලාන්තික් සාගරය සහ කැරිබියන් මුහුද (Caribbean Sea) තීරයේ පිහිටි මේ හයිටිය කැලෑ නීතිය රජ කරන තවත් රටකි. කොටින්ම නීතියක් නැති රාජ්‍යයන්ගෙන් එකකි. දීර්ඝ කාලයක් තිස්සේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව මෙහි රඳවා සිටින්නේ මේ නිසාය. රටේ සාමය රැකීමටය. නීතිය ස්ථාපනය කිරීමටය. එහෙත් මේ දක්වා මෙහි රැකුණු සාමයක් නැත. ක්‍රියාත්මක වුණ නීතියක් නැත. මෙය නීතිය වළපල්ලට ගිය ජනරජයකි. අවාසනාවන්ත රටවැසියන්ගෙන් පිරුණ නරකාදියකි. අදූරදර්ශී දේශපාලුවන්ගේ ක්‍ෂේමභූමියකි. ශාපය ලැබූ දේශයකි.   


මෙහි රටවැසියන්ගෙන් සියයට 95ක්ම කළු ජාතිකයන්ය. සියයට 5ක් සුදු ජාතිකයන්ය. මේ සියයට 5ට බ්‍රිතාන්‍ය, ප්‍රංශ හා ස්පාඤ්ඤ ජාතිකයන් ඇතුළත්ය. 1804 ජනවාරි 1 දා හයිටිය ප්‍රංශයෙන් නිදහස ලබා ගත්තේය. ඒ මීට වසර 218කට පෙරය. ඒ දීර්ඝ කාල සීමාව තුළදී රට පෙරට ගියේ නැත. ගියේ ආපස්සටය. වළපල්ලටය. මේ රට ඒ වළෙන් යළි ගොඩ එන පාටක් නැත. දැන් නම් රට නැත්තටම නැති වෙලාය. දේශපාලකයෝ රටේ සාරය උරා බී අවසන්ය.   


 මෙහි විශාලත්වය වර්ග කිලෝමීටර 27,750 කි. ජනගහණය එක්කෝටි අටලක්ෂයකි. (1,08,47,334). ක්‍රිස්ටෝපර් කොලොම්බස් 1492 වර්ෂයේදී මුලින්ම ගොඩබැස්ස රට මේ හයිටියයි. ලතින් අමෙරිකානු රටවලින් මුලින්ම නිදහස ලැබූ මේ කියන හයිටිය කාබාසිනියා කළේ වසර 200ක් තිස්සේ මේ රට පාලනය කළ දේශපාලකයන්ය. ප්‍රංශ ආධිරාජ්‍ය මඟින් ඈත අතීතයේ පාලනය කළ මේ රටේ උක් වගාව සඳහා අප්‍රිකානු රටවලින් කළු ජාතික වහලුන් මෙහි ගෙන එන ලදී. එම කළු ජාතිකයන්ගේ සිහින දේශය බවට පත්වුණේ මේ හයිටියයි.  

 

පාපයේ දේශය   


ලොව දූෂිතම රටවලින් මුල් තැනක් අද හිමිවී ඇත්තේ හයිටියටයි. මිහිතලය මත ඇති අතිබිහිසුණුම, භයංකාර, මරණය තුරන් කරගත් ‘පාපයේ දේශය’ හයිටි ජනරජයයි. The Most Dangerous Place On Earth යනුවෙන් ජනමාධ්‍යයන් මේ රට හඳුන්වනු ලබයි. මෙහි ජීවත්වන රට වැසියන්ගෙන් බහුතරය දිනකට ලබන ආදායම ඩොලර් 2කට අඩුය. මෙහි ජනතාවට දහදුකය, වේදනාය. ඔවුන් වගුරන්නේ කඳුළු ගංගාය. පාලකයන්ට දේශපාලකයන්ට සැපය, සනීපය. ඔවුන්ගේ නම් ජීවිත ගොඩය. ස්වභාව ධර්මය ද හතුරුකම් කරන්නේ මෙහෙම රටවලටය. මෙහෙම රටවල රටවාසීන්ටය.   


හයිටියේ පාලකයන්ට ජනතාව ඉගැන් වූ පාඩම   


මෙතෙක් බලයට පත්වූ පාලකයන් මේ රටේ ජනතාවට තම අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා සටන් කිරීමට නිදහස දුන්නේ නැත. හැම පාලකයෙක්ම රට පාලනය කළේ යකඩ හස්තයකිනි. ඔවුහු මහජන මතය සත පහකට මායිම් නොකළහ. ජනතා හඬ තුට්ටුවකට නොසැලකූහ. ජනතා පිබිදීම් හෙවත් රජය පෙරළා දැමීමේ කුමන්ත්‍රණ 32ක් පසුගිය වසර 200 තුළදී හයිටියේ සිදුවිය. ඒ සියල්ල පාලකයන් විසින් මැඩපවත්වනු ලැබූහ. ඔවුහු ජනතා මතයට පයින් ගැසූහ. මේ මෙහි ඉතිහාසයෙන් බිඳක් පමණකි. හයිටිය ඝන අඳුරේ ගිලී ගියේ මෙහි පාලකයන් ජනතාවට බොරු බණ දේශනා කළ නිසාය. හරියට පාන් නැත්නම් කේක් කාපල්ලා කිව්වා වගේය.

දේශපාලකයන්ගෙන් මෙහි ජනතාවට ලැබුණ සුගතියක් නැත.   


වසර 200කට වැඩි කාලයක් තිස්සේ ජනාධිතිවරු 41 දෙනකු හයිටිය පාලනය කළහ. මින් ජනාධිපතිවරුන් 21 දෙනකු පදවියෙන් නොරපා හරින ලද්දේ ඥාති සංග්‍රහයට සහ දූෂණයට මුල් තැන දෙමින් ක්‍රියා කරමින් ජීවිතාන්තය තෙක් පාලන බලය සියතෙහි රඳවා ගැනීමට ඔවුන් කටයුතු කළ නිසාය. හයිටියේ ප්‍රථම ජනාධිපති වූ ඩී. ජීන් ජැක්ස් (D. Jean Jacques) (1804-1806) ජනතාව විසින් මරා දමන ලදී. දෙවැනි ජනාධිපති වූ ක්‍රිස්ටෝපර් හෙන්රි (1807-1820) ජනතා විරෝධය මධ්‍යයේ දිවිනසා ගත්තේය. ඔහු වසර 13ක් තිස්සේ රට පාලනය ක​ෙළ් මහජන දේපොළ කොල්ලකමිනි. තුන්වැනි ජනාධිපති වූ පේෂින් ඇලෙක්සැන්ඩර් (1807-1818) වසර 11ක් පදවිය හෙබවීය. ඔහු කාර්යාලය තුළදීම මිය ගියේය. ඒ අධික රුධිර පීඩනය නිසාය. ඒ රටේ පීඩනයට පත්වූ ජනතාවගේ ආවේගය උත්සන්න වීමේ ප්‍රතිඵලයකි.


හයිටි ඉතිහාසයේ වැඩිම කාලයක් ජනපති පදවිය හෙබවූයේ එහි සිව්වැනි ජනාධිපති වූ බොවර් ජින් පියරේය. ඒ අවුරුදු 25කි. ඔහු ද දූෂිතම පාලකයෙකි. ඔහු ද ජනතාව විසින් පදවියෙන් නෙරපා හරින ලදී. 1915 දී මාස 5ක පමණ කාලයක් ජනපති පදවිය හෙබවූ සෑම් විල්බර්න් දූෂණ චෝදනාවලට වරදකරු වී එල්ලා මරා දමන ලදී. මෑත යුගයේ හයිටිය පාලනය කළ ජනපතිවරුන්ගෙන් දූෂිතම පුද්ගලයා ජීන් බර්ට්‍රන්ඩ් ඇරිස්ටයිඩ්ස්ය. (Jean Bertrand Aristides) ඔහු තුන් වරක් ජනපති පදවියට පත්විය. අවසාන වරට 2001 සිට 2004 දක්වා එම පදවිය හෙබවීය.   


ජනපති නෙරපූ හැටි   


තවදුරටත් එම පදවියෙහි රැඳී සිටීම සඳහා සියලු උත්සාහයන් ගනු ලැබුවත් ජනතා පිබිදීම හමුවෙහි ඔහු රට අතහැර ගියේය. නැතහොත් ජනතාව ජනපති මැඳුර වටලා ඔහු පදවියෙන් නෙරපා හරිනු ලැබීය. ඉවක් බවක් නැතිව මහජන මුදල් ගසාකමින් ඒකාධිපතියකු මෙන් ඔහු ක්‍රියා කළේය. හයිටිය නරකාදියක් බවට පත්වුණේ එවැනි හොර තක්කඩීන් පාලන බලය ලබා ගැනීම නිසාය.   


සෙනසුරු අපලය   


පියාගෙන් පුතාට හයිටියේ පාලන බලය හිමිවීම ද එම රට අගාධයට වැටීමට එක් හේතුවක් විය. 1957 සිට 1971 දක්වා හයිටිය පාලනය කළේ ප්‍රංශුවා ඩුවලියර්ය. ඔහුගෙන් පසු ඔහුගේ පුත්‍රයා වූ ජින් ක්​ෙලා්ඩ් ඩුවලියර් 1971 සිට 1986 දක්වා රට පාලනය කළේය. පුත්‍රයා ජීවිතානත්ය දක්වා ජනපති තනතුරේ රැඳී සිටීමට හැකිවන අයුරින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරවා ගත්තේය. මේ පිය-පුතු පාලනය හයිටියේ අඳුරුම කාල පරිඡ්චේදයකි. එම කාල සීමාව තුළදී රජයට එරෙහිව නැගී සිටි 60,000කට වැඩි පිරිසක් ඝාතනය කරන ලදී. එය හයිටියේ අඳුරුම කාල පරිච්ඡේදයකි.   


හයිටි පාලකයන්ගේ පැටිකිරිය   


හයිටිය ඇමෙරිකාවට නුදුරුම රටක් වුවත් ඊට මේ තත්ත්වය අත්වීම සංවේග ජනකය. ලෝක ආහාර වැඩපිළිවෙළ (WFP) සහ එක්සත් ජාතීන් (UN) ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරී වූයේ නැතිනම් අද හයිටියක් නැත. හයිටිය (Haiti) සහ ඩොමිනිකන් දේශය (Dominican Republic) අතීතයේ එකම රටකි. පසුව හයිටි සහ ඩොමිනිකන් වෙන්වූ රාජ්‍යයන් දෙකක් බවට පත්විය. අද ඩොමිනිකන් රාජ්‍යය ඉතා දියුණු තත්ත්වයට පත්වී තිබේ. ඩොමිනිකන් ජනරජය අද සංචාරකයන්ගේ පරාදීසයකි. මේ රටවල් දෙක අහසට පොළොව වගේය. හයිටියේ සිට ඩොමිනිකන් දක්වා දේශ සීමාව පසුකර ගොඩබිමින් යද්දී මට සිතුනේ අපායේ සිට සුරපුර පේනතෙක් මානයට පැමිණියා හා සාමානකමකි. ඩොමිනිකන් ජනරජය හයිටියෙන් වෙන්වී ස්වාධීන රටක් බවට පත් වුණේ 1844 දීය.   


හයිටිය වළපල්ලට ගියේ මෙහෙමය   


විෂබීජ පැතිර යාම හේතු කොටගෙන හයිටියේ මියයන අයගේ සංඛ්‍යාව එන්න එන්නම වැඩි වෙමින් පවතී. වසරකට මැලේරියාවෙන් 30,000කට වැඩි පිරිසක් මියයති. එච්.අයි.වී. (HIV) වයිරසයෙන් මියයන සංඛ්‍යාව ද අධිකය. ළමා මරණ සංඛ්‍යාව අධික වෙමින් පවතී. සෞඛ්‍ය සේවාවන් ඉතා අසතුටුදායකය. රට පුරා ඇත්තේ රෝහල් සුළු සංඛ්‍යාවකි. ඒවා හරක් මඩු වගේය. වෛද්‍ය ප්‍රතිකාර සඳහා මුදල් අය කරනු ලබයි. ක්ෂය රෝගයට රටවාසීන් ගොදුරු වී හමාරය. ලිංගික ආශ්‍රිත රෝග හැම තැනකමය. පාචනය, කොළරාව, වකුගඩු රෝගවලින් ජනතාව පෙළේ. ඩෙංගු මදුරුවන්ගේ රජදහනකි. රටේ පාලකයන්ට දේශපාලකයන්ට මේවා පෙනෙන්නේ නැත. පිරිසිදු ජලය නොමැති වීම ලෙඩ රෝග පැතිරී යාමට ප්‍රධාන හේතුවකි. හයිටියේ වැඩි වශයෙන් සිටින්නේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලට මුල්තැන දෙන රටවැසියන්ය.   


මෙහි ළමයින්ගෙන් සියයට 60ක් පමණ පාසල් ​ෙනායයි. තිබෙන පාසල් රාශියක්ම පාලනය කරනුයේ ආගමික සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන හා පුද්ගලික ආයතන මගිනි. ඒවායෙහි මුදල් අය කරනු ලබයි. ජනතාවට සෞඛ්‍ය හා අධ්‍යාපන පහසුකම් ලබාදීමට දේශපාලකයන් හා පාලකයන් ක්‍රියා නොකරයි. මෙහි කැලෑ කැපීම ද සීග්‍රයෙන් සිදුවෙයි. හැම තැනම විකිණීමට ඇත්තේ දර ගොඩවල් සහ අඟුරුය. කැලෑ කැපීම හේතු කොටගෙන රට විනාශ වෙමින් පවතී. ස්වභාවික සෞන්දර්යය තුරන් වෙමින් පවතී. දේශපාලකයන්ට මේවා නොපෙනේ. ඔවුන් ද මේවාට සම්බන්ධය. මේ වන සංහාරය මැඩපැවැත්වීමට නීති රීති ගෙන ඒමට පාලකයන් උනන්දු නැත. හයිටි ජනරජය එහි දේශපාලකයන් විසින් විනාශ කරන්නේ මෙහෙමයි.   


ලොවට ණය වී රට වැනසූ පාලකයෝ   


පෝර්ට් ඕ ප්‍රින්ස් අගනුවර එළුවන්, ඌරන්, හරකුන්, කුකුළන් දෙනෝ දහක් එහි මෙහි යන මහමග තබාගෙන මරා පාරවල් දිගේ සතුන්ගේ ලේ පෙරී ගලා යද්දී තරාදිවලින් මස් කෑලි කිරා විකුණන දර්ශනය මා දුටු අශෝබනම දසුනකි. බාලවියේ පසුවෙන ගැහැනු ළමයින් ගණිකා වෘත්තියෙහි නිරත වී සිටින අයුරු මෙහිදී දකින සුලභ දර්ශනයකි. හැම තැනම ගඳ ගහන කුණු කඳුය. මදුරුවන්ගෙන් පිරිණු කුණු වළවල්ය. කාණුය. රටේ බල්ලන් සහ වඳුරන් වඳවී අවසන්ය. බල්ලන් සහ වඳුරන් පවා ආහාරයට ගැනීමට මෙහි රටවාසීහු පුරුදු වී සිටිති. බල්ලන් බහුල වශයෙන් සිටින්නේ ලංකාව ප්‍රමුඛ විවිධ රටවල් මඟින් මෙහි පවත්වාගෙන යන එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අයත් හමුදා කඳවුරු තුළය.   


හයිටි ජාතිකයන් බුර බුරා සපා කෑමට සැරසෙන මේ බල්ලන් හමුදා කඳවුරුවල සිටින හමුදා භටයන් සපා කන්නේ නැත. ඔවුන්ට බුරන්නේ ද නැත. මගී ප්‍රවාහන සේවයට රජය සම්බන්ධ නැත. ලොරිවල තට්ටු පිට තට්ටු ගසා පොල් පැටෙව්වාක් මෙන් මගින් ප්‍රවාහනය කරනු ලබයි. දුම්රිය සේවයක් ඇත්තේම නැත. මුහුදු වෙරළ තීරය ඉතා අපිරිසිදුය. එහි ඇත්තේ දකුණු කොරියාව ඇරඹූ එකම ඇඟළුම් කම්හල පමණකි.   


මකර කටේ දිවි ගෙවන ධන කුවේරයෝ   


ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රමුඛ විවිධ මූල්‍ය ආයතනවලින් ලබාගන්නා අරමුදල්, ආධාර සහ ණය යටතේ පන නළ ගසාගෙන සිටින හයිටි ජනරජය අද ණය බරින් මිරිකී සිටින රටකි. මේ ආධාර හා ණය මුදල්වලින් වැඩි කොටස වැටෙන්නේ පාලකයන්ගේ, ඔවුන්ගේ පවුල්වල අයගේ, නිලධාරීන්ගේ හා දේශපාලකයන්ගේ සාක්කුවලටය. ඕනෑම රටක අයකුට වීසා නැතිව ඇතුල්විය හැකි රටකි හයිටිය. මේ රටට ඇතුල්වීමට අයකරන මුදල් ඩොලර් 10කි. ආයුධ සන්නද්ධ ශ්‍රී ලංකා යුද හමුදාවේ ආරක්ෂාව යටතේ මා හයිටියට ඇතුල් වුණේ ද ​ෙඩාලර් 10ක් ගෙවීමෙන් පසුවය.   


හයිටියේ ඇතුල් පැත්ත ගැන සඳහන් කරන විට සඳහන් කළ හැක්කේ එහි කොටසක දැවැන්ත මහා මැඳුරු තනාගෙන ඉමහත් වටිනාකමින් යුත් සුඛෝපභෝගී වාහන මෙන්ම හෙලිකොප්ටර් හා ගුවන් යානා තම සන්තකයෙහි තබාගෙන, සුරසැප විඳින කොටසක් ද සිටින බවයි. මෙසේ සුරසැප විඳින්නේ රට පාලනය කරන ලොකු ලොක්කන්ය. දේශපාලකයන්ය. ඔවුන්ගේ පවුල්වල උදවිය හා ඔවුන් සමඟ සබඳතා පවත්වන ව්‍යාපාරිකයන්ය.   

 


ඊළඟ ලිපියෙන් විස්තර කෙරෙන්නේ මේ අපායේ දිවි ගෙවන ධන කුවේරයන් හා ස්වභාවික විපත්වලින් හයිටියට සිදුවී ඇති හානිය ගැනය. ලංකාවටත් මේ තත්ත්වය අත්වේ ද?   

 

 

 


(තවත් කොටසක් ලබන සතියේ)   

 

 

 

සිරී හීන්පැල්ල නිව්යෝර්ක් නුවර සිට ලියයි